T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

76
Handscomb

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත. ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි අවලංගු කර ඇති පසුබිමක මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ද තරමක අවිනිශ්චිත තත්ත්වයකට පැමිණ තිබුණි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පිතිකරු පීටර් හෑන්ඩ්ස්කොම්බ් පැවසුවේ මේ වසරේ අග භාගයේ දී විස්සයි විස්ස ලෝක කුසලානය සැලසුම් කර ඇති පරිදිම පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

“ඉන්දියාවට 2020 T20 ලෝක කුසලානය පවත්වන්න පුළුවන්”

දකුණු ආසියානු උප මහාද්වීපයේ කොරෝනා වයිරස් අර්බුදය ලිහිල් වුවහොත් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට..

ඕස්ට්‍රේලියාව තුල ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩා මේ වන විට අත්හිටුවා ඇත. ලොව පුරා රටවල් 16ක් සහභාගි වන ලෝක විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඉදිරියට යනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද පසුගිය දා අවධානය යොමුකර තිබුණි. ඕස්ට්‍රේලියාවේ දැඩි සංචාරක සීමාවන් නිසා තරගාවලිය පැවැත්වීම පිළිබඳව සැක පහළ කර තිබේ.

නමුත් වයිරසය පාලනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව යම් සාර්ථක පියවර රැසක් ගෙන ඇති අතර එරට ජාතික රග්බි ලීගය සහ ඕස්ට්‍රේලියානු ප්‍රධාන තරග නැවත ආරම්භ කිරීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් තිබේ. 

“මේ මොහොතේ අපි වෙනත් ක්‍රීඩා නැවත පටන්ගන්න උත්සාහ කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ පාපන්දු කණ්ඩායම අවම වශයෙන් පුහුණවීම් සඳහා හෝ නැවත පැමිණීමට බලාපොරොත්තු වන බව දැකීම සතුටක්” යැයි හෑන්ඩ්ස්කොම්බ් පසුගිය දා මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසීය.

“ඔවුන් මැයි, ජුනි-ජූලි මස අවසානයේ දී ඔවුන්ගේ තරගාවලි ආරම්භ කිරීමට උත්සාහ කරාවි. එමඟින් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාවට ලොකු ආදර්ශයක් ලබා දෙනවා. අපේ ග්‍රීෂ්ම කාලයේ තරග සඳහා එළඹීමට එය හොඳ පූර්වාදර්ශයක් වේවි.” 

විස්සයි විස්ස තරගාවලියේ ජාත්‍යන්තර ස්වභාවය දේශීය ක්‍රීඩා තරගවලට වඩා සංකීර්ණ තරගාවලියකි. ඒ බව හෑන්ඩ්ස්කොම්බ් ද පිළිගත් අතර තරගාවලිය පැවැත්වීමේ ලකුණු ධනාත්මක බව ද ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් ද විශ්වාස කළේ මෙම ලෝක මට්ටමේ තරගය ප්‍රමාද වී හෝ වසා දැමූ දොරවල් පිටුපස (closed doors) හෙවත් සංවෘත ක්‍රීඩාංගණ තුල හෝ පැවැත්වීමට හැකි වනු ඇති බවයි. 

“මම හිතන්නේ අපි විස්සයි විස්ස ලෝක කුසලානය පවත්වන්න උත්සාහ කළ යුතුයි. ඒ සඳහා මාසයක්, මාස දෙකක්, මාස තුනක්  හෝ කල් දැමිය හැකි ඕනෑම තරමක් කල් දැමිය යුතුයි” යනුවෙන් ෆින්ච් මෙල්බර්න් හි SEN ගුවන් විදුලියට පසුගිය බදාදා (23) පැවසීය.

තහනම ඉවත් කරන්න මලික්ගෙන් ආයාචනයක්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සලීම් මලික් තමන්ට ජීවිතාන්තය දක්වා පනවා ඇති ක්‍රිකට්..

“නමුත් අපට සජීවී තරග විකාශනය දියුණු කර ගත හැකි තාක් කල් ක්‍රීඩාංගණ සංවෘත වුනත් නැතත්, ප්‍රේක්ෂකයන් සිටියත් නැතත්, එය ක්‍රීඩකයන්ට කිසිදු වෙනසක් ඇති කරනු ඇතැයි මම හිතන්නේ නෑ.” 

මෙම කොරෝනා වයිරසය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන අර්බුදයකට ලක්ව ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් විශේෂ සම්මන්ත්‍රණ කැඳවීමක් පැවැත්වීමට නියමිතය. 

වයිරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාව දිගින් දිගටම විදෙස් ගුවන් ගමන් සඳහා බාධක පැනවුවහොත් ඉන්දියාවට ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයිය හැකි බව හිටපු ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් පසුගිය දා යෝජනා කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<