වාර්තා අතරට ගිය රමේෂ්ගේ කඩුලු දඩයම

367

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තාවට හිමිකම් කියූ ඩිල්රුවන් පෙරේරා සතු වාර්තාව සම කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

දකුණතින් පිට දඟපන්දු යවන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන රමේෂ් මෙන්ඩිස් මෙම තරගය සඳහා සහභාගී වූයේ ටෙස්ට් 50 කඩඉමට පිවිසීමට තවත් කඩුලු 4ක් පසු පසින් සිටිමින්. පළමු ඉනිමේ දී කඩුල්ලක් පමණක් දවා ගන්නා රමේෂ් දෙවැනි ඉනිමේ දී Curtis Campherගේ කඩුල්ල දවා ගනිමින් තම අර්ධ ශතක කඩුල්ල වාර්තා කළා. එම ඉනිම අවසන් වන විට රමේෂ් ලකුණු 76කට කඩුලු 4ක් දවා ගෙන සිටියා.

රමේෂ් මෙන්ඩිස්ගේ කඩුලු දඩයම
ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය O M R W Econ Ave SR
1 එංගලන්තය ගාල්ල 26.0 1 96 2 3.69 48.00 78.0
2 බංග්ලාදේශය පල්ලෙකැලේ 59.0 9 189 6 3.20 31.50 59.0
3 බ. ඉ. කොදෙව් ගාල්ල 48.0 6 139 7 2.89 19.85 41.1
4 බ. ඉ. කොදෙව් ගාල්ල 59.2 14 136 11 2.29 12.36 32.3
5 බංග්ලාදේශය Chattogram 45.0 10 119 0 2.64
6 බංග්ලාදේශය Mirpur 25.0 2 73 1 2.92 73.00 150.0
7 ඔස්ට්‍රේලියාව ගාල්ල 32.4 0 122 4 3.73 30.50 49.0
8 ඔස්ට්‍රේලියාව ගාල්ල 48.0 3 164 3 3.41 54.66 96.0
9 පාකිස්තානය ගාල්ල 46.0 2 120 3 2.60 40.00 92.0
10 පාකිස්තානය ගාල්ල 51.1 13 148 9 2.89 16.44 34.1
11 අයර්ලන්තය ගාල්ල 34.3 4 116 5 3.36 23.20 41.1

2021 ජනවාරි 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගන්නා රමේෂ් මෙන්ඩිස් මෙම වාර්තාවේ සම අසුන්වලට පිවිසෙන්නේ ටෙස්ට් තරග 11කට ක්‍රීඩා කරමින්.

ඊට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ දකුණතින් පිට දඟපන්දු යැවූ ඩිල්රුවන් පෙරේරා ද මේ වෙනුවෙන් වැය කර තිබුණේ තරග 11ක් පමණයි.

මේ වන විට ටෙස්ට් තරග 43කට සහභාගී වෙමින් ඉනිම් 78ක දී කඩුලු 161ක් ලබා සිටින ඩිල්රුවන් පෙරේරා තම කඩුලු 50 සම්පූර්ණ කරන විට ක්‍රීඩා කරමින් සිටියේ 21 වැනි ඉනිමයි. රමේෂ් මෙන්ඩිස්ට ද ඒ සඳහා වැය වන්නේ ඉනිම් 21ක් වීම විශේෂත්වයක් වන අතර දෙදෙනා ම මෙම කඩඉමට පිවිසෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඩිල්රුවන් තම කඩුලු 50 දවා ගැනීම වෙනුවෙන් පන්දුවාර 493.4ක් වැය කරද්දී රමේෂ් වැය කරන්නේ පන්දුවාර 341.4ක් පමණයි. එමෙන් ම ඩිල්රුවන් මේ කඩඉමට පිවිසීමේ දී ප්‍රතිවාදීන්ට ලකුණු 1473ක් ලබා දෙද්දි රමේෂ් ලබා දෙන්නේ ලකුණු 1306ක් පමණයි.

ඩිල්රුවන් පෙරේරාගේ කඩුලු දඩයම
ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය O M R W Econ Ave SR
1 පාකිස්තානය Sharjah 17.0 1 71 1 4.17 71.00 102.0
2 බංග්ලාදේශය Mirpur 30.5 2 154 5 4.99 30.80 37.0
3 බංග්ලාදේශය Chattogram 67.0 11 174 5 2.59 34.80 80.4
4 දකුණු අප්‍රිකාව ගාල්ල 72.4 9 241 8 3.31 30.12 54.5
5 දකුණු අප්‍රිකාව එස්. එස්. සී. 85.5 35 129 8 1.50 16.12 64.3
6 පාකිස්තානය ගාල්ල 59.5 7 205 7 3.42 29.28 51.2
7 පාකිස්තානය එස්. එස්. සී. 30.0 2 109 2 3.63 54.50 90.0
8 පාකිස්තානය ගාල්ල 34.1 3 153 4 4.47 38.25 51.2
9 බ. ඉ. කොදෙව් පී. සරා Oval 31.2 7 65 4 2.07 16.25 47.0
10 ඔස්ට්‍රේලියාව පල්ලෙකැලේ 27.0 4 73 1 2.70 73.00 162.0
11 ඔස්ට්‍රේලියාව ගාල්ල 38.0 9 99 10 2.60 9.90 22.8

රමේෂ්ගේ කඩුලු දඩයමේ දී ඉනිමක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් වාර්තා වන අතර තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථාවක් ද ඊට වාර්තා වෙනවා.

ඩිල්රුවන් මේ වෙනුවෙන් කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 4ක් වාර්තා කරද්දී, තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථාවක් වාර්තා කරනවා.

රමේෂ් මෙතෙක් දවාගෙන ඇති කඩුලු 51න් කඩුලු 44ක් ම දවාගෙන ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වීම තවත් විශේෂත්වයක් වන අතර ඊට අමතර ව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 6ක් සහ බංග්ලාදේශයේ දී කඩුල්ලක් ලෙසින් දවා ගනිමින් මෙම ලැයිස්තුව සකසනවා.

ඩිල්රුවන්ගේ කඩුලු 50න් කඩුලු 39ක් මෙරට ක්‍රීඩාංගණවල දී ලබා ගන්නා ලද අතර එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 24ක්, කොළඹ SSC පිටියේ දී 10ක්, කොළඹ පී. සරා Oval පිටියේ දී 4ක් සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 1ක් ලෙසින් දැක්වෙනවා.

ඩිල්රුවන් 2016 වසරේ අගෝස්තුවේ දී මෙම වාර්තාව තබන විට 34 වැනි වියේ පසු වූ අතර ඊට වසර 7කට පසුව එම දක්ෂතාව ඒ ආකාරයෙන් ම රමේෂ් විසින් නැවත ලියැවෙන්නේ 27 වැනි වියේ පසු වන ගැටවරයෙක් ගේ දක්ෂතාවක් ලෙසයි.

ලොව වේගවත් ම ටෙස්ට් කඩුලු අර්ධ ශතකලාභියා

රමේෂ් මෙන්ඩිස් සහ ඩිල්රුවන් සම අසුන් වෙන්කර ගත් මෙම වාර්තාවේ ලෝකෙට ලොක්කා වන්නේ ඔස්ට්‍රේලියාවේ දකුණතින් මද වේගපන්දු යැවූ Charlie Turner. ඔහු මෙම වාර්තාවට හිමිකම් කියමින් මේ ගත වෙන්නේ 135 වැනි වසරයි.

1887 ජනවාරියේ ටෙස්ට් වරම් හිමි කර ගන්නා Charlie Turner, 1888 අගෝස්තුවේ දී කඩුලු 50 කඩඉමට පිවිසෙන විට ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරග 6ක ඉනිම් 10ක් පමණයි. ඒ වෙද්දී ඔහු 26 වැනි වියේ පසු වූ නාඹර තරුණයෙක්.

ඔහු ඒ සඳහා කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 8ක් වාර්තා කර තිබුණ අතර තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 2ක් ද ඒ අතර වෙනවා.

1895 දී ටෙස්ට් තරග දිවියෙන් සමුගන්නා Charlie Turner ඒ වෙද්දී ටෙස්ට් තරග 17ක ඉනිම් 30ක දී කඩුලු 101ක් ලබා සිටියා. මේ සියලු දක්ෂතා එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි වාර්තා වෙන්නේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<