අනූහයේ මල්ලිලාව බලාගත්ත ලොකු අයියා – අර්ජුන රණතුංග

6725

2018 වසරේ දී තමාගේ සහ තම බිරිඳගේ ව්‍යාපාරික පන්තියේ ගුවන් යානා ආසන තම කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට අවශ්‍ය විවේකය ලබා දීම උදෙසා ඔවුන්ට පරිත්‍යාග කළ විරාත් කෝලි පිළිබඳව පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණි.

කෝලිගේ එම ක්‍රියාව පිළිබඳව ලියැවුන ප්‍රශස්ති සටහන්, නිසදැස්වලින් ඒ දිනවල සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගියේය. ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සමාජ මාධ්‍ය පිටු තුළ මේ සිදුවීම මහත් සේ උත්කර්ෂයට නගා තිබුණි.

නමුත් ඉන් වසර 25කට පමණ පෙර කණ්ඩායමේ සගයන් තම නිවසේ නතර කරගෙන, ඔවුන්ට ආහාර පාන සපයා දී ඔවුන්ව රැකබලාගෙන ලෝක කුසලානයක් මව්බිමට දායාද කළ නායකයෙකු අපට සිටි බව ඒ බොහෝ දෙනාට මතක තිබුණේ නැත.

1995 වසරේ අවසන් භාගය වන විට ඔට්ටු තබන්නන් විසින් ශ්‍රී ලංකාවට 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට තිබෙන අවස්ථාව දක්වා තිබුණේ 66:1ක් වශයෙනි. ඉන් මාස කිහිපයකට පසුව තම කණ්ඩායමේ සගයන් පිරිසත් සමඟින් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදාතුර දැවැන්තම පෙරළිය සිදු කරමින් ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කර ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට අර්ජුන රණතුංග නම් ඒ අසහාය නායකයා සමත් විය.

අර්ජුන නොවන්නට ටෙස්ට් කඩුලු 800ක් දවාගත් මුරලිදරන් කෙනෙකු ශ්‍රී ලංකාවට ඉතිරි වේ දැයි යන්න සැක සහිතය. ඒ 1995 වසරේ මුරලිට පන්දුව දමා ගැසීම පිළිබඳව චෝදනා එල්ල වූ විට ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මුරලිව ආරක්ෂා කළේ අර්ජුන නිසාය.

අර්ජුන ඒ සිදුවීම සිහිපත් කරන්නේ මේ අයුරින්ය..

වර්තමානයේ වගේ නොවෙයි. 1996 දී ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට හැකියාව තිබුනෙ ක්‍රීඩකයින් 14 දෙනෙකු විතරයි. කණ්ඩායම තෝරා ගැනීමේ දී අපට ලොකු ගැටලුවක් තිබුණා. මොකද ලෝක කුසලානයට මාස කිහිපයකට කලින් ඕස්ට්‍රේලියාවෙදි මුරලිට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල වුනා. ඔහු නැවතත් ඒ තත්ත්වයට පත්වුනොත් අපට ඉතිරි වන්නේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණයි. ඒක විශාල අවදානමක්.

නමුත් ඒ මතභේදය අතරතුරදි අපේ කණ්ඩායමේ සුහදතාවය මම හොඳින්ම දැක්කා. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්න ගිහින් හිටපු සංචිතයේ සියල්ලන්ම මුරලිට සහයෝගය ලබා දුන්නා. මුරලි නැතිව කණ්ඩායමට නායකත්වය දෙන්නෙ නැහැ කියන එක මම තේරීම් කමිටුවට කිව්වා. අපි ඒ ගැන විවාද කළා. නමුත් අවසානයේ තේරීම් කමිටුව මට ඔහුව සංචිතයට ඇතුළත් කිරීමට ඉඩ දුන්නා.

ලෝක කුසලාන ජයග්‍රහණයක් වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවුවද ඒ සඳහා අර්ජුන පැමිණි ගමන සේද යහනාවක් මතින් පැමිණි එකක් නොවේ. පසුකාලීනව ක්‍රිකට් ලෝකයේ ලොක්කන් වූ ලෝක පූජිත ක්‍රීඩකයන් පිරිසක් පොඩ්ඩන් අවධියේ සිට රැක බලා ගනිමින් ඔහු ආ කටුක ගමන් මග දෙස හැරී බලන විට අර්ජුන මුහුණ දුන් අභියෝගවල තරම අපට සිතා ගත හැකිය.

ඒ කටුක ඉතිහාසය දෙස අර්ජුන හැරී බලන්නේ මෙලෙසිනි.

මං එක පැත්තකින් හරි වාසනාවන්තයි. මට අවුරුදු 18ක් වගේ ඉස්කෝලෙ යන කාලෙදිම මට ජාතික කණ්ඩායමට එන්න හැකි වුණා. මම ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ වර්ණපුර, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, වෙත්තමුණි වගේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයොත් එක්ක. ඒ කාලෙදි මට තේරුණා අපිට අඩුපාඩු හුඟක් තිබුනත්, ඒ ගැන කතා කරන්න කෙනෙක් හිටියෙ නෑ කියන එක. පස්සෙ මම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් වුනාම කවදාවත් ක්‍රීඩා සමාජ තරග අතහැරියෙ නැහැ.

මට මතකයි මම එංගලන්ත සංචාර නිමා කරල සිකුරාදා උදේ හතරට පහට කොළඹට ඇවිත් කෙළින්ම එස්. එස්. සී. පිටියට ගිහින් ක්‍රීඩා සමාජ තරගවලට සහභාගී වෙනවා. මොකද ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට මට ඕන කරල තිබුණා අනෙක් කණ්ඩායම්වල ක්‍රීඩකයො කොහොමද අපිත් එක්ක ක්‍රීඩා කරන්නෙ කියල බලාගන්න.

>>වමත් කණ්ඩායම හා දකුණත් කණ්ඩායම; කවුරු දිනයි ද?

එකල ක්‍රීඩා සමාජ තරගාවලියේ ප්‍රමිතිය ඉතා උසස් තලයක පැවති නිසා ක්‍රීඩකයන් බොහෝ පිරිසකට යොවුන් වියේ දී ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි විය. එසේම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජ තරගාවලිය තුළ ක්‍රීඩා කිරීම නිසා තරගාවලියේ තරගකාරී බව ද ඉතා ඉහළ මට්ටමක තිබුණි.

එකට සෙල්ලම් කරන කොට අපිට ක්‍රීඩකයගෙ මානසිකත්වය වගේ දේවල් තේරෙනවා. ඊට පස්සෙ තරගය ඉවර වුනාම අපි එකට ඉඳගෙන කතා කරනවා. එතනදි මම දැක්කා පිට පළාත්වල ගොඩක් දක්ෂ ක්‍රීඩකයො ඉන්නවා, එයාලට අවස්ථාවක් ලබා දුන්නොත් අපිට ලෝකය ජයග්‍රහණය කරන එක ඒ තරම් අමාරු වෙන්නෙ නෑ කියන එක.

ඒ කාලෙ පිට පළාත්වලින් ආපු අයට නවාතැන් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා. මමත් එහෙම කරන්න ලොකු හැකියාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. නමුත් මම විවාහ වෙන්න කලින් මගේ අම්මගෙ ගෙදර ක්‍රීඩකයො 10ක් 12ක් එකට නැවතිලා ඉඳල තියෙනවා. ඒ හිටපු අයගෙත් කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ. සාලෙ පැදුරු දාල තමයි හිටියෙ. අම්ම හදල දෙනවනම් පරිප්පුයි, සම්බෝලයි, පානුයි අපි කනවා. කවුරුත් තව දේවල් ඉල්ලන්නෙ නැහැ.

වර්තමානයේ පවත්නා මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීම සඳහා 90 දශකයේ හා ඉන් පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ඉතා විශාල කැපකිරීමක් සිදු කළ බව අර්ජුනගේ ඉහත ප්‍රකාශ වලින් අපට වටහා ගත හැක. වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් හට සුඛෝපභෝගී දිවි පැවැත්මක් උරුම වී තිබෙන්නේ එම පැරණි ක්‍රීඩකයන් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ අප්‍රමාණ වූ කැපකිරීම් වල ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙම ඉන්න කොට අපි ක්‍රිකට් කතා කරනවා, ක්‍රිකට් වීඩියෝ බලනවා, තියෙන ප්‍රශ්න කතා කරනවා. ඒ හරහා අපිට පුළුවන් වුනා ක්‍රිකට් සංස්කෘතිය වෙනස් කරන්න. ඒ වෙද්දි අපිට ඉංග්‍රීසි කතා කරන ප්‍රශ්නයත් තිබුණා. මම ක්‍රීඩා සමාජයට යන කාලෙදි මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා මාව කොන් වෙලා තිබුණා. පස්සෙ අපි ක්‍රිකට් ක්‍රීඩාවෙ භාෂාව සිංහල බවට පත් කළා. අපි සිංහලෙන් ක්‍රිකට් කතා කරන්න ගත්තා. අපි තරග වලට යනකොට, කණ්ඩායම් රැස්වීම් වල සිංහලෙන් කතා කරන්න ගත්තා. 

මම අවුරුදු 24න් නායකත්වය දරනකොට මට තේරුණා හුඟ දෙනෙක් කතා කරන්නෙ නෑ කියන එක. මොකද මුල් දවස්වල අපි වුනත් හරි බයයි ඉංග්‍රීසියෙන් කතා කරන්න වරදින නිසා. පස්සෙ මම සිංහලෙන් කතා කරන්න ගත්තම ඒක වෙනස් වුනා. අලුත් පොඩි ළමයි හුඟක් හොඳ අදහස් අපිට දෙන්න පටන් ගත්තා. ඒ හරහා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නායකයෙක් විදිහට මම කළේ හැමෝම කියන දේ අහන් ඉඳලා අවසාන තීරණේ මම ගන්න එක.

මේ වෙනස්කම් එක්ක අපි ගමේ හිටපු දරුවන්ට ජාතික කණ්ඩායමට, කනිෂ්ඨ කණ්ඩායමට එන්න දොරවල් ඇරියා. අද වුනත් පිට පළාත්වලින් ළමයි ඇවිත් ජාතික කණ්ඩායමට ඇතුල්වෙනවා. ඒකට මූලික අඩිතාලම අපිට දාන්න පුළුවන් වුන නිසා ඒ දිහා බලලා මම ගොඩක් සතුටු වෙනවා. ඒ ක්‍රමවේදයෙන් තමයි අපිට 96 දී ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න අඩිතාලමක් ආවෙ.

අර්ජුන අභියෝග කළේ වෙනත් රටවල් වල ක්‍රිකට් කණ්ඩායම් වලට පමණක් නොවේ. ඔහු ජාතික කණ්ඩායමට පැමිණි මුල් අවධියේ පටන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව තුළ ආධිපත්‍යය පවත්වා ගෙන ආ එක්තරා පැලැන්තියකට ද අර්ජුන අභියෝග කළේය.. ඒ අභියෝගයන් නිසාම ඇතැම් අවස්ථාවල කණ්ඩායමේ තම ස්ථානය මෙන්ම නායකත්වය පවා අහිමි කරගන්නට ඔහුට සිදු විය.

ඔහු ඒ පිළිබඳව සිහිකරන්නේ මෙලෙසිනි..

“මේවා කරන්න ගිහින් මං කීපාරක් එළියට ගියා ද? (සිනාසෙමින්) 88 නායකත්වය දරලා 89 එළියට ගියා. ඊළඟට 91 ලෝක කුසලානයට කලින් මාව නායකත්වයෙන් අයින් කළා. සමහර සංචාරවලට මාව ගෙනිච්චෙ නැහැ. නමුත් මාව අයින් කරන්න හදන කොට, මට ප්‍රශ්න එන කොට මේ රටේ ප්‍රේක්ෂකයො මාත් එක්ක හිටියා. මාධ්‍ය මාත් එක්ක හිටියා. එක් වතාවක් මාව සංචාරකයකින් ඉවත් කරල ඊට පස්සෙ තිබුණ දේශීය තරගාවලියේ දී මම ද්විත්ව ශතක දෙකක් එක්ක ලකුණු 1000ක් ගත්තා.

මට මතකයි ඉස්සර එස්. එස්. සී. එකේ සෙල්ලම් කරද්දි මම සීයක් ගැහුවට පස්සෙ නරක පාරක් ගැහුව ගමන් ප්‍රේක්ෂකයො එළියෙ ඉඳන් කෑගහනවා. ඒ විදිහට මාව ලකුණුවලට තල්ලු කරපු වෙනම කට්ටියක් හිටියා. නමුත් 1991 වසරෙ මම නායකත්වය භාරගත්තම මම ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා මේක මට ඕන විදිහට කරන්න දෙන්න, නැත්නම් මම කරන්නෙ නැහැ කියලා. ඒ ගොල්ලන්ට ඒකට එකඟ වෙන්න සිද්ධ වුනා. ඊට පස්සෙ අපිට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයොත් එක්ක එකතු වෙලා සැලසුම් හදලා ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනා.”

>>වෙඩි උණ්ඩයට පවා නොසැලුණු තිලාන් සමරවීර

අර්ජුන එස්.එස්.සී කණ්ඩායමට ඇතුළත් වූ මුල් අවධියේ එම ක්‍රීඩා සමාජයේ මුල් පුටුවක් හෙබවූ අයෙක් “අපට එස්. එස්. සී. ක්‍රිඩා සමාජය තුළ සරම් ජොනියන් අවශ්‍ය නැහැ” යනුවෙන් පැවසූ බව කියැවේ. එහි දී ඔහු සරම් ජොනියෙකු ලෙසින් ආමන්ත්‍රණය කර ඇත්තේ අර්ජුනටයි. මේ ප්‍රකාශය පිළිබඳවත්, පසුකාලීනව තමා එස්. එස් .සී. ක්‍රීඩා සමාජයේ සංස්කෘතිය වෙනස් කළ ආකාරය පිළිබඳවත් අර්ජුන සිහි කරන්නේ මෙලෙසිනි.

නෑ ඉතින් ඒක සාධාරණ කියමනක්. ( සිනාසෙයි..) මමත් ඉතින් ගමකින් ආපු, මරියකඩේ ඉස්කෝලෙකට (ආනන්ද විද්‍යාලය) ගිය කෙනෙක්. හැබැයි ඉතින් මම ක්‍රිකට් ගහන දිහා බලලා මාව එස්. එස්. සී. එකට අරන් ගියෙ මයිකල් ද සොයිසා යි සුනිල් වෙත්තමුණියි දෙන්නා. ඊට පස්සෙ රන්ජිත් පණ්ඩිතගේ, පණ්ඩු ලියනගේ කියන ආදී ආනන්දීයයන් අපිව හුඟාක් හොඳට බලාගත්තා.

ඒ වෙද්දි ඒකෙ කතා කළේම ඉංග්‍රීසියෙන්. කවුරුත් සිංහලෙන් කතා කරන අය හිටියෙ නෑ. ඒ දවස්වල එස්. එස්. සී. එකට කවදාවත් ගමක ක්‍රීඩකයෙකුට එන්න හැකියාවක් තිබුනෙ නෑ. නමුත් පසුකාලීනව අපි ඒ තත්ත්වය වෙනස් කළා. මම එස්. එස්. සී. සංස්කෘතිය වෙනස් කරල රස්තියාදු සංස්කෘතියක් ඒක ඇතුළට ගෙනාව කියල ඒ වෙනස් කිරීම ගැන මට තවමත් දොස් කියන පරිණත අය ඉන්නවා. නමුත් ඇත්තටම වුනේ සිංහලෙන් කතා කරන, අයියා මල්ලී කියලා කතා කරන සහෝදර බැම්මක් හරහා අපි ක්‍රීඩාව වෙනස් කළා.

>>සනත් ජයසූරිය – ඒ නම විතරක් ඇති!

එසේම එස්. එස්. සී. ක්‍රීඩා සමාජය තුළ සරම් ඇඳීම තහනම් කර තිබූ සංස්කෘතිය වෙනස් කළ අයුරු ද අර්ජුන මෙසේ සිහි කරයි.

අපි සාමාන්‍යයෙන් තරගයක් ඉවර කරලා නාල එහෙම දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස් වගේ අයත් එක්ක ඉඳගෙන සාකච්ඡා කරනවා. මං එදා ඉඳන්ම සරම අඳින කෙනෙක්. හැබැයි එස්. එස්. සී. එකේ ඒ සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තිබුණා. මුල් අවධියෙදි මම සරම ඇඳන් පහළට එද්දි සරම් ඇඳන් එන්න බැහැ කිව්වා. එතකොට මම ඉල්ලීමක් කළා මට නීතිපොත පෙන්නන්න කියලා.

මොකද ඕක මට හොඳටම දැනුනෙ එකපාරක් මම දැක්කා අපේ සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්ගෙ තාත්තා කෙනෙක් සරමක් ඇඳන් ඉන්නවා කියලා එයාට එස්. එස්. සී. එකේ ක්‍රීඩාගාරයට එන්න ඉඩ දුන්නෙ නැහැ. ඒක මගෙ හිතේ තදින් වැදිලා තිබුණා.  ඉතින් මම සරම අඳින්න පටන් ගත්තා. මොකද එයාලට මාව එළවන්න බෑනෙ. පස්සෙ එයාල ගොඩක් උත්සාහ කරා මටත් නීති දාන්න. හැබැයි මමත් ලේසියෙන් අඩියක් පස්සට තියන්නෙ නැති කෙනෙක් නිසා අන්තිමට කොහොම හරි ඒ සංස්කෘතිය වෙනස් කළා. පසුකාලීනව අපේ ක්‍රීඩකයන්ගෙ තාත්තලා සරම් ඇඳන් තරග නරඹන්න ආව මට මතකයි.

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය තුළ පැවති සංස්කෘතිය එසේ වෙනස් කළ අර්ජුන ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කළේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමට නායකත්වය දෙමිනි. එහි අවසන් මහා තරගයේ දී ඔහුට ලෝක කුසලානය ජයග්‍රහණයක් වන තෙක් ආ දුෂ්කර ගමනේ තම ගමන් සගයා වූ අරවින්ද ද සිල්වා සමඟින් එක්ව තරගය අවසන් කරන්නට අවස්ථාව හිමි වීම දෛවෝපගත සිදුවීමකි.

අරවින්ද හා බැඳි ඒ සුවිශේෂී සම්බන්ධතාවය අර්ජුන සිහි කරන්නේ මෙසේය..

අපි දෙන්නා අවුරුදු දහයක් විතර සෑහෙන්න ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්න දෙන්නෙක්. අරවින්දට ශාරීරික යෝග්‍යතාවය ගැන ප්‍රශ්න තිබුණා. මම කණ්ඩායමෙන් අයින් වුනා. ඒත් අපිට අපේ තිබුණ බැඳීම් එක්ක ප්‍රශ්න ගොඩ දාගෙන 96 වෙනකොට කණ්ඩායම් හොඳ ස්ථාවර මට්ටමකට ගේන්න පුළුවන් වුනා.

ලෝක කුසලාන අවසන් තරගෙදි මම පිතිකරණයට යනකොට අරවින්ද ලකුණු 50ක් විතර අරගෙන හිටියෙ. මම ඇවිද ගෙන යන කොට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයො මට එක එක ඒව කියන්න ගත්තාම අරවින්ද මගෙ ළඟට ඇවිත්මට කිව්වා අර්ජු, ඔළුව අප්සට් කරගන්න බෑ. ඔයා ඉන්න ඕන දිගටම. අපි දෙන්න මේක ඉවර කරන්න ඕනකියලා.

සාමාන්‍යයෙන් මට කවුරු හරි මොනව හරි කියන කොට මගෙ ක්‍රීඩා විලාශය හොඳ වෙනවා. හැබැයි අරවින්දගෙ ලොකු බයක් තිබුණා අපි දෙන්න මේක ඉවර කළේ නැත්නම් පිටිපස්සෙන් රොෂාන්, හෂාන් හිටියට එතනින් ඒ පීඩනයත් එක්ක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් අපි බෝල අතරෙත් ගොඩක් කතා කළා.

මට මතකයි ශේන් වෝන් පන්දුව දාන්න එන කොට මංළඟට ඇවිත් කිව්වා දැන් ගහගෙන ගහගෙන යන්න එපාකියලා. හැබැයි මට හිතුණා එවෙලෙ තිබුණ ලකුණු වේගයත් එක්ක එක ඕවරේකට ලකුණු 10ක් 15ක් ගැහුවොත් අපිට තියෙන පීඩනය අඩුවෙයි කියලා. ඊළඟට මං පළවෙනි පාර ගහපු ගමන් අරවින්ද මගෙ ළඟට ඇවිත් “දැන් හතරක් ඇවිත් තියෙනවා, ඊළඟට පොඩ්ඩක් බලමුකියල කිව්වා. මං ඊළඟ එකෙත් ආයෙ ගැහුවා. (සිනාසෙමින්)

නමුත් අපි දෙන්න අතරෙ ලොකු අවබෝධයක් තිබුණා තරගයක් අවසන් කරන්නෙ කොහොමද කියලා. මට දැන් ක්‍රිකට් බලන කොට ඒක පේන්න තියෙනවා අඩුයි. ඒ වගේ කතා කරල තරගයක් වෙනස් කරගන්න දැනුමක් තියෙන ක්‍රීඩකයො දැන් ඉන්නව ද කියන එක මට ප්‍රශ්නයක්..

හිටපු නවසීලන්ත නායක මාටින් ක්‍රෝට අනුව අර්ජුන ඔහුට හමු වූ යටත් වීමට අකමැති ක්‍රීඩකයන් කිහිප දෙනා අතරින් එක් අයෙකි. (He is as tough a cricketer as I have ever come across – Martin Crowe) අර්ජුන හට කුඩා නැපෝලියන් ලෙස ද නාමයක් පටබැඳී තිබුණේ ඔහුගේ මෙම දැඩි පිළිවෙත නිසාය.

ඔහු තුළ තිබූ දැඩි අධිෂ්ඨානශීලී බව හොඳින්ම විදහා දැක්වුන අවස්ථාවක් ලෙස 2000 වසරේ පෙබරවාරි මස 26 වැනි දින පාකිස්තානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ දී වකාර් යුනුස්ගේ පන්දුවක් වම් අතේ වැදීමෙන් වම් අතේ මහපටැඟිල්ල බිඳීමෙන් පසුව ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටින විට කණ්ඩායමේ කඩුලු කිහිපයක් දැවී ගොස් තරගය පරාජය වන්නට යෑමේ දී නැවත පිටියට පැමිණ තනි අතින් පන්දුවට පහර දී කණ්ඩායම ජයග්‍රහණය කරවූ අවස්ථාව පෙන්වා දිය හැක.

ඒ පිළිබඳව අර්ජුන සිහි කරන්නේ මේ අයුරිනි..

පළමු ඉනිමේ අරවින්ද ශතකයකුත් මම ලකුණු පනහට ආසන්නවත් ලබා ගන්නවා. දෙවෙනි ඉනිමේ බැට් කරන කොට තමයි පන්දුව ඇඟිල්ලෙ වැදුනෙ. තාම වුනත් ඒ ඇඟිල්ල නවාගන්න බෑ. ඇඟිල්ලෙ පන්දුව වැදිලා මම ආපහු ක්‍රීඩාගාරයට ආවම මට මතකයි ඇඟිල්ල ලොකුවට ඉදිමෙන්න ගත්තා. පස්සෙ මට කිව්වා එක්ස්-රේ එකක් ගන්න යන්න වෙයි කියලා. මම කිව්වා එක්ස්-රේ ගන්න පස්සෙ යන්න පුළුවන්, අපි මැච් එක යන විදිහ බලමු කියලා.

ඊළඟට විකට් යන්න පටන් ගත්තට පස්සෙ මම ඩොක්ටර්ව ගෙන්නලා කිව්වා ඇඟිල්ල පණ නැති කරලා දෙන්න, මම ඉතුරු ටික බැට් කරගන්නම් කියලා. මට තවම මතකයි මගෙ ඇඟිල්ල වටේට ඉන්ජෙක්ෂන්ස් හයක් විතර ගැහුවා. ගහලා කැඩිච්ච තැන උඩටත් එකක් ගැහුවා.. ඒක තමයි මගෙ ජීවිතේ වේදනාව වැඩිම දවස. ඊට පස්සෙ මට ග්ලව් එකක් (අත් ආවරණයක්) හදන්න ඕන නෙ. ඒකට වාස්ගෙ ග්ලව් එකක් අරගෙන මහපටැඟිල්ල ළඟින් කපලා ඒක ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් වහලා මට යන්තම් බැට් එක අල්ලගන්න පුළුවන් විදිහට හැදුවා.

පස්සෙ මට කිව්වා අන්තිමටම බැට් කරන්න යන්න කියලා. අන්තිමට බැට් කරන්න හිටියෙ මුරලි. ප්‍රමෝද්‍ය අවුට් වුනාම මම කිව්වා මුරලි ගිහින් වැඩක් නෑ, මම යන්නම් කියලා. මම යනකොට බැට් කර කර හිටියෙ කළු (රොමේෂ් කළුවිතාරණ). කළු මට කිව්වා අයියෙ සින්ගල් එකක් දාල දෙන්නකියලා. මම කිව්වා දෙන්න පුළුවන් තරම් දුවන්න බලමු කියලා. හැබැයි ඉතින් එවෙලෙත් මම දන්නවා මේක ඉවර වුනාම මට ගෙදර යන්න සිද්ධ වෙනවා කියලා. කොහොම හරි මම බැට් කරලා තනි අතකින් හතරෙ එකකුත් ගැහුවා. එවෙලෙ වේදනාව තිබුණට අතේ තිබුණ තරගයක් නැති වෙලා යන්න ගිහින් කොහොම හරි අන්තිමේ ජයග්‍රහණය කිරීම ගැන සන්තෝසයක් තියනවා. මම තවම පාකිස්තානෙට ගියාම එයාල ඒ තරගය මතක් කරනවා.”

පසුපෙළ කණ්ඩායමක් ලෙසින් පසෙකට දමා තිබූ ශ්‍රී ලංකාව ලෝක කුසලාන ජයග්‍රහණයක් දක්වා ඔසවා තැබීම උදෙසා වෙහෙස වූ පරිපාලකයන් ද එකල වූහ. එම පරිපාලකයන් පිළිබඳව සිහි කිරීමට ද අර්ජුන අමතක නොකරයි. ඒ පරිපාලකයන් අතර සිටි සුවිශේෂී චරිත දෙකක් පිළිබඳව ඔහු සිහි කරන්නේ මෙසේය.

ගාමිණී දිසානායක මහත්තයා ක්‍රිකට් නොගැහුවට ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් තිබුණා. මට මතකයි 1984 සංචාරයෙදි MCC එකත් එක්ක තිබුණ රාත්‍රී භෝජන සංග්‍රහයෙදි එතුමා ඉතාමත් දක්ෂ විදිහට කතා කළා. ඒ කතාවෙදි එංගලන්තෙ සියලු දෙනා නැගිටලා අත්පුඩි ගැහුවා. එදා තමයි අපිට තේරුණේ මේ මනුස්සයගෙ වටිනාකම. ඒ විතරක් නෙවෙයි එතුමා මාව හරියට පරිස්සම් කළා. එතුමා මට හැමවෙලේම වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් එකට එන්න ලෑස්ති වෙන්න කිව්වා. ඒ ගැන දැන්මම සැලසුම් හදන් යන්න කිව්වා. එච්චරයි කිව්වේ. එතුම මට සැලකුවෙ දරුවෙකුට වගේ.

ඒ වගේම අනිත් පැත්තෙන් තිරය පසුපස හිටියෙ රාජමහේන්ද්‍රන් මහත්මයා. එතුමා ඉස්සරහට එන්නෙ නැහැ. අපි 84 සංචාරය යනකොටත් එතුමා පුදුම විදිහෙ කැපවීම් කළා. එතුම මට හැමදාම කිව්වෙ මොනව හරි කෙරෙන්න තියෙනව නම් කියන්න, මොනව හරි අවශ්‍ය නම් කියන්න කියලා. ඒ වගේම එතුමා ක්‍රීඩකයන්ව සෑහෙන්න දිරිමත් කළා. තිරය පසුපස අපිට හිටපු විශාලම පුද්ගලයා තමයි රාජමහේන්ද්‍රන් මහත්මයා.

ඒ අර්ජුනගේ කෘතගුණ දැක්වීමයි..

>>ආයුබෝ වේවා මහරජාණෙනි…

1996 වසරේ දී ශ්‍රී ලංකාව සතුව සිටි කණ්ඩායම තුළ නම් දැරූ ක්‍රීඩකයන් බොහොමයක් සිටියේ නැත. නමුත් නායක අර්ජුන සතුව ලෝක කුසලානය ජය ගැනීමට මනා සැලසුමක් තිබුණි. එසේම ඒ දැක්ම නිසි පරිදි අවබෝධ කර ගත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඔහු වටා විය.

අර්ජුන විවිධ ස්ථානවලට විවිධ ක්‍රීඩකයන් ආදේශ කරමින් අත්හදාබැලීම් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1992 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක පිතිකරුවෙකු වූ රොෂාන් මහානාම මැදපෙළ පිතිකරණය ශක්තිමත් කිරීම පිණිස යොදාගෙන පසුපෙළ පිතිකරුවන් වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙසින් යොදාගැනීමට කටයුතු කරන ලදි.

අර්ජුනගේ නායකත්වය නොවන්නට ශ්‍රී ලංකාවට අහිමි වන්නට තිබූ ජයග්‍රහණ මෙන්ම ක්‍රීඩකයන් ගණනද මෙතෙකැයි කියා කිව නොහැක.. ඒ සඳහා ඉතිහාසය ඕනෑවටත් වඩා වැඩියෙන් සාක්ෂි සපයනු ඇත..

අර්ජුනගේ තරම ලියා දැක්වීම සඳහා මා වැන්නකු තරම් නොවන බැවින් 20 වැනි සියවසේ පහළ වූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් පසුගිය දා නම් කරන ලද මුත්තයියා මුරලිදරන් අර්ජුන රණතුංග පිළිබඳව සඳහන් කළ වැකියකින් මම මේ ලිපිය අවසන් කරමි..

අර්ජුන අපට අප පිළිබඳව විශ්වාසයක් ඇති කළා. ඔහු එය දශක දෙකක කාලයක් පුරාවට සිදු කළා. ඔහුට අපි බොහෝ සෙයින් ණයගැතියි. ඔහු අපට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල බලවේගයක් බවට පත්වීමට උදව් කළා. ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ වඩාත්ම බලගතු ක්‍රිකට් ක්‍රීඩකයා අර්ජුනයි.”

Image Credits: getty images, espncricinfo, sportskeeda, cricket.com.au, sportstar.thehindu.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<