පැරාලිම්පික් වීරයින් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මුදලින් ඇගයේ

195

පසුගිය දා ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙලේ දී පදක්කම් දිනූ හා උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවෙහි රැන්දූ පැරාලිම්පික් ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ උත්සවයක් අද (11) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා.

හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝක වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි පහක මුදලක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක මුදලක් ඇතුළුව රුපියල් කෝටි හයක මුදලක් ප්‍රදානය කෙරිණි.

හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් හට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමත් සිදු විය.

පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ඔරු පැදීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ එම්. ප්‍රියමාල් ජයකොඩි, මීටර් 400 දිවීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ එස්. එම්. ඒ. එස්. මධුරංග සුබසිංහ, දුර පැනීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ ඩී. එම්. කුමුදු ප්‍රියංකා, හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එච්. සී. සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එච්. ජී. පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයන් හට ද රුපියල් ලක්ෂ දහය බැගින් වූ මුදල් ප්‍රදානයන් ලබා දීමත් මෙහි දී සිදු විය.

පැරාලිම්පික් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුගේ ම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ පනස් දහසක මුදලක් ද ප්‍රදානය කෙරිණි.

යූ. පී. ඩී. පෙරේරා පුහුණුකරු හට රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් හා සෙසු පුහුණුකරුවන් හට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමත් සිදු විය.

>> මෙම අවස්ථාවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබාශිංසන එක් කළ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අපි අමාත්‍යාංශයක් විදියට හැකිතාක් උත්සහ කරන්නෙ මේ රට තුළ ක්‍රියාශීලී දරු පරම්පරාවක් නිර්මාණය කරන්නයි. රට තුළ ක්‍රියාශීලී දරු පරම්පරාවක් බිහිවීමෙන් ඒ ක්‍රියාශීලී පුද්ගලයින් අතරින් ජාත්‍යන්තරය තරණය කරන්න පුළුවන් පිරිසක් බිහිකරගන්න පුළුවන් කියන කාරණය අපි විශ්වාස කරනවා.

2032 වර්ෂය දක්වා ඉලක්ක සහගතව නොයෙක් තරග කාණ්ඩයන් තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යාමට ජාතික ක්‍රීඩා සභාව හරහා අපි වැඩපිළිවෙළක් හදලා තිබෙනවා.

අපි ඉතිහාසයේ දැක්කේ තරගාවලියක් ලං වෙන විටයි ක්‍රීඩකයින් මතක් වෙන්නේ. ක්‍රීඩකයාටත් තරගාවලිය මතක් වෙන්නේ. ඒ තත්ත්වය වෙනස් කර වසර කීපයක ඉලක්කයක් ඇතිව ජයග්‍රහණවලට යන්න සූදානම් විය යුතුයි.

පැරාලිම්පික් සංගමයේ සාර්ථකත්වය තිබෙන්නෙත්, අද රන් පදක්කමකින්, ලෝකඩ පදක්කමකින් අපට ජයග්‍රහණවලට යන්න හැකියාව ලැබුණෙත් වසර තුන හතරක් පුරා ඉලක්කයක් අරගෙන ඒ ඉලක්කයට ගමන් කළ නිසායි.

පැරාලිම්පික් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් 09 දෙනාගෙන් 08 දෙනෙකුටම ලෝකයේ පළමු 16 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. ඒ ඉලක්කයක් සහිතව කටයුතු කළ නිසයි.

ජාතික ක්‍රීඩා සභාව විසින් අනෙක් හැම ක්‍රීඩාවකටම ඉලක්කයක් ලබා දී 2032 වර්ෂය දක්වා ජයග්‍රහණ කේන්ද්‍රකරගත් ගමනක් යන්න සූදානම් වෙනවා. එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් වගේම ඔවුන්ට ක්‍රීඩාව තුළ ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සලසන්නත් අපි අමාත්‍යාංශයක් විදියට කටයුතු කරනවා.

මේ වසර කීපය තුළ ඉතාමත් වැදගත් තරගාවලි බොහොමයකට සහභාගී වී කෙටි කාලීන ජයග්‍රහණ කරා යන්නත්, 2024න් ඔබ්බට මධ්‍ය කාලීනවත්, 2032 න් එහාට දිගුකාලීන ජයග්‍රහණවලට යන්නත් අවශ්‍ය සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා.

පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් රන් පදක්කම හා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරපු ඔබ දෙදෙනා ඇතුළු සියලුම දෙනාට, ඉතාමත් අභිමානයෙන් කටයුතු කළ හැකි පිරිසක්.

දැන් ඔබේ අභියෝගය වෙන්නේ මින් ඉදිරියට කොහොමද ජයග්‍රහණවලට යන්නෙ, ඒ වගේම ක්‍රීඩාව තුළ හා ක්‍රීඩාවෙන් එළියේ දී ඔබ ලබා ගත් ජයග්‍රහණවල අභිමානය රැකගෙන කටයුතු කිරීම කියන කාරණා.

ඔබ දිහා සියලුම දෙනා බලාගෙන සිටිනවා. රටේ තරුණ පිරිස, අනාගතයේ ක්‍රීඩාට පැමිණෙන පිරිස ඒ අතර ඉන්නවා.

ඔබ මේ ජයග්‍රහණ වගේම මේ ආදර්ශ ගමට ගෙනියන්න. තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න. මේ පණිවිඩය ඔබ දෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා ඔබලා මේ පණිවිඩය ගමට සහ අනිත් ක්‍රීඩකයින්ට දුන්නොත් තමයි තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. අමාත්‍යාංශය විදියට ඒ සියලු දෙනාගේ වගකීම අපි භාරගන්නවා.

පැරාලිම්පික් සංගමයේ සභාපතිතුමා විශාල කැපකිරීමක් කරනවා. එය අනෙකුත් සංගම්වලටත් ආදර්ශයක්. ඒ ආදර්ශයත් සමග දිගු ගමනක් යා හැකියි. ඒ සඳහා

අමාත්‍යාංශයේ ආශීර්වාදයත් තිබෙනවා” යැයි අමාත්‍යවරයා පැරාලිම්පික් කණ්ඩායමට සුබපැතුම් එක්කරමින් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සංජීව වික්‍රමනායක, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් එල්. ආර්. ටී. ඩී. හේරත් (විශ්‍රාමික) යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ඇසුරෙන්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<