දුර්වල විනිසුරු තීරණ මැද ශ්‍රී ලංකාව SAFF ගමන අවසන් කරයි

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2021

445

2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ ලීග් වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය, වත්මන් ශූර මාලදිවයින සමඟ අද (10) පැවති අතර එහි දී ගෝල 1-0ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

වත්මන් පාපන්දු වර්ගීකරණයේ ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු ආසියාවේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වූ මාලදිවයිනට හිමිව තිබුණේ 158 වැනි ස්ථානයයි.

අවසන් හමුවීම් සියල්ලේ දී ම මාලදිවයින හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට, මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ අවසන් තරගය පිළිබඳව සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුනා.

සුපුරුදු පරිදි සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ ක්‍රීඩක ලැයිස්තුවෙන් පෙර තරගය ආරම්භ කළ අසිකූර් රහමන් ඉවත් කර චමෝද් ඩිල්ෂාන් කැඳවා තිබුණා.

පෙර තරගවලට වඩා ආරම්භයේ පටන්ම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට චලන චමීර සමත්වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු කෙරුණා.

නමුත් එම අවලංගු කළ ගෝලයේ පුනරූපන නැරඹීමේ දී, චලන පන්දුව යොමු කරන අවස්ථාවේ දී අනිසි ස්ථානයක නොසිටි බව පෙනී ගියේ විනිසුරු තීරණය පිළිබඳව තරමක ප්‍රශ්නාර්ථයක් මතු කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආරම්භයේ දී ම දැඩි පීඩනයක් එල්ල කරමින් 7 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස්කිරීමට මාලදිවයින් ක්‍රීඩක Ali Ashfaqට හැකි වුනේ දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් හිසින් ගෝලය තුළට යොමු කරමිනුයි.

35 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක මර්වින් හැමිල්ටන් එල්ල කළ නිදහස් පහරක් ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් පිටතට ඇදී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත ද මොහොතකට නතර කරමිනුයි.

පළමු අර්ධයේ අමතර කාලයේ දී ගෝල ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථා ද්විත්වයක් මාලදිවයිනට හිමි වූ නමුත් ඒවා සාර්ථකව වළක්වන්නට සුජාන් පෙරේරා සමත් වුනා.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 1 මාලදිවයින

සිය ජයග්‍රහණ තහවුරු කර ගැනීමේ අරමුණින් දෙවැනි අර්ධයට පිවිසි මාලදිවයින් ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක් නිර්මාණය කර ගත්තත්, ඒවා සාර්ථකව අවසන් කිරීමට සමත් වුනේ නැහැ.

73 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෝලයක් ලබා ගැනීමට තිබූ ඉතා ආසන්නතම අවස්ථාවක් මගහැරී ගියේ එම අවස්ථාව නිර්මාණය කර ගත් කවිඳු ඉෂාන් විසින්ම එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී යාම නිසාවෙනි.

තරගයේ සමස්ත කාලය අවසන් වන තුරුම ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නොහැකි වූ අතර තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබා දුන් දුර්වල විනිසුරු තීරණ බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 1 මාලදිවයින

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • මාලදිවයින: Ali Ashfaq 7’

ඒ අනුව මෙවර SAFF තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග හතරෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරමින් සහ අනෙකුත් තරග තුනම පරාජයට පත්වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<