90 දශකයේ මලල ක්‍රීඩා පිටිය දිග්විජය කළ කෙටිදුර තරුව

518
Sriyantha Disanayake

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය දෙස නැවත හැරී බැලීමේ දී 90 දශකය එහි ඉහළින්ම සටහන් වූ කාලසීමාවකි. එකිනෙකාට නොදෙවෙනි දස්කම් දක්වමින් ආසියානු මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම සටහන් වූ 90 දශකය මෙරට මලල ක්‍රීඩාවේ සාර්ථකම යුගය ලෙස ද හැදින්විය හැක.

එම කාලසීමාවේ දී ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූවත්, වර්තමානයේ දී ප්‍රේක්ෂකයන් අතර වැඩි කතාබහකට ලක් නොවන ක්‍රීඩකයන් රැසක් සිටින අතර ඒ අතරින් මෙරට කෙටිදුර ධාවනයට අමිල සේවාවක් ඉටු කළ ශ්‍රියන්ත දිසානායකගේ නාමය ඉහළින්ම සටහන් වේ.

1969 වසරේ අප්‍රේල් මස 03 වැනිදා මෙලොව එළිය දුටු ශ්‍රියන්ත සුභාෂන් අබේසේකර දිසානායක සිය අධ්‍යාපන ගමන ආරම්භ කරන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.

නාලන්දා විද්‍යාලයෙන් මලල ක්‍රීඩා ගමන ද අරඹමින් දිනෙන් දින දේශීය මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඔහු හට බොහෝ දෙනාගේ අවධානය යොමු වීමට ඔහුගේ කඩවසම් පෙනුම ද හේතුවක් විය.

ඉතා ඉක්මනින් සිය ක්‍රීඩා හැකියා දියුණු කර ගැනීමට සමත් වූ ඔහු මෙරට පාසල් පිටියේ කෙටිදුර ධාවනය ඔහුගේ නමට ලියවා ගැනීමට සමත් වන අතර එම දස්කම් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පිටියට ද රැගෙන ඒමට සමත් වූ ශ්‍රියන්ත ඉතා ඉහළ දස්කම් දක්වමින් වයස අවුරුදු 18 දී මීටර් 100 ඉසව්වේ ජාතික කිරුළ දිනා ගැනීමට සමත් විය.

එම දස්කම් නිසාවෙන් 1986 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සමත් වූ ඔහු එහි මීටර් 100 ඉසව්ව තත්පර 11.01ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඉන්පසුව 1987 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමේ වරම් දිනා ගත් ඔහු මීටර් 200 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කිරීමට ද සමත් විය.

එම දස්කම් සමඟින් 1988 වසරේ කැනඩාවේ දී පැවැත්වූ ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගි වූයේ එවන් අවස්ථාවක් ලද මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙස ද ඉතිහාස ගතවෙමිනි.

එහි දී තරමක කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ශ්‍රියන්ත දිසානායක මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 11.22ක කාලයකින් අවසන් කරමින් පස්වැන්නා ලෙස ඉසව්ව නිමා කිරීමට සමත් වූ අතර මීටර් 200 ඉසව්වේ මූලික තරගය තත්පර 22.87ක කාලයකින් අවසන් කරමින් 4 වැනි ස්ථානයට ඉසව්ව අවසන් කරන ලදි.

එම කාලසීමාවේ දී දේශීය කෙටිදුර ධාවන පිටිය සිය අත්ල මතට ගැනීමට සමත් වූ ඔහු මීටර් 100, 200 සහ 400 යන ඉසව්වන් සියල්ලෙහිම ශ්‍රී ලංකා වාර්තා බිඳ හෙළීමට ද සමත් වීම කැපී පෙනුනි.

පසුව මෙරට නියෝජනය කරමින් 1990 චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රියන්ත දිසානායක එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.64ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය 1974 වසරින් පසු මෙරට ක්‍රීඩකයෙක් දිනූ මුල්ම ආසියානු පදක්කම ද විය.

Sriyantha Disanayake
ශ්‍රියන්ත දිසානායක (දකුණේ සිට දෙවනුව)

එම ජයග්‍රහණයෙන් පසු එම තරගාවලියේ මීටර් 200 ඉසව්වේ දී තියුණු සටනක් දෙමින් අවසන් වටයට තේරී පත්වීමට සමත් වූ ඔහු අවසන් තරගය තත්පර 21.17ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මීටර් 100 සහ 200 ඉසව් ද්විත්වයේම පදක්කම් දිනූ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගතවෙමිනි.

එම ජයග්‍රහණයන්ගෙන් 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයේම දකුණු ආසියානු ශූරයා වීමට ඔහු සමත් වූ අතර මලල ක්‍රීඩා ඉසව්වන් හි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ඉහළම දස්කම් පෙන්වූ තරගාවලිය ලෙස ද එය ඉතිහාස ගත විය.

තවත් විශේෂාංග ලිපි:

ආසියානු සහ දකුණු ආසියානු තලයේ දැක්වූ දස්කම් නිසාවෙන් 1992 ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ වරම් දිනා ගත් ශ්‍රියන්ත එහි මීටර් 100 මූලික වටයේ තරගය තත්පර 10.87කින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 21.61කින් අවසන් කිරීමට සමත් වූවත් අවසන් වට සඳහා තේරී පත්වීමට ඔහුට හැකියාවක් නොලැබුණි.

පසුව නැවත වරක් 1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රියන්ත දිසානායක එහි මීටර් 200 ඉසව්ව තත්පර 21.3ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම සහ මීටර් 100 ඉසව්ව තත්පර 10.70ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

මලල ක්‍රීඩා පිටියේ අඛණ්ඩවම දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රියන්ත දිසානායක හට 1991 වසරේ දී මෙරට මලල ක්‍රීඩකයෙකු සඳහා පිදෙන ඉහළම සම්මානය වන “ඩන්කන් වයිට්” ගෞරව සම්මානය ලබා දීමට කටයුතු කෙරුණි.

එම සම්මානය ලැබීමෙන් පසු 1992 වසරේ දී ක්‍රීඩාවට කළ සේවය නිසාවෙන්, එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන් අතින් දේශබන්දු නාමයෙන් ද පිදුම් ලැබීමට ද ශ්‍රියන්ත සමත් විය.

මීට අමතරව ශ්‍රියන්ත දිසානායක විසින් 80 දශකයේ අගභාගයේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.01ක කාලයකින් අවසන් කළ බව අත්කාලගණන යන්ත්‍රයක් වාර්තා කළ බව ද ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම එම කාලවකවානුවේ පැවති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක දී ශ්‍රියන්ත දිසානායකයන් විසින් සිය පාසලේ නම සඳහන් කමිසයකින් සැරසී ශ්‍රී ලංකාව නියෝජනය කළ බවත් එයට ප්‍රේක්ෂකාගාරයෙන් උණුසුම් ඔල්වරසන් ලැබූ බව ද ඉතිහාස තොරතුරු වාර්තා කර සිටී.

මෙරට මලල ක්‍රීඩාවට අමිල සේවයක් ඉටු කළ ශ්‍රියන්ත දිසානායක ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර වාසය කරමින් සිටී.

ආසියානු මලල ක්‍රීඩා පිටියේ මීටර් 100 සහ 200 ඉසව්වන්හී පදක්කම් දිනා ගැනීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වන ශ්‍රියන්ත දිසානායක මෙරට කෙටිදුර ධාවන ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද හැඳින්විය හැක.

ශ්‍රියන්ත දිසානයක පිළිබඳව තොරතුරු උපුටා ගනු ලැබුවේ Chathura Ranasinghe මහතාගේ Facebook ගිණුමෙනි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<