රුමේෂ් ලෝකයේ 05 වැනි ස්ථානයට

Diamond League 2026 - Rome

1
Sri Lanka Athletics

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් හි 05 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

පසුගිය දා Diamond League මලල ක්‍රීඩා තරගාවලියේ Rabat තරග අදියරට සහභාගී වූ රුමේෂ් විසින් එහි දී මීටර් 85 සීමාව තරණය කරමින් දෙවැනි ස්ථානයට පත් වුනා.

එමෙන්ම මෙම වසර තුළ ඔහු විසින් මීටර් 89 සීමාව දෙවරක් ම ඉක්මවා යාමට ද සමත් වූ අතර, මෙම වසර සඳහා ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා ද්විවයේම හිමි කරු වීමට ද රුමේෂ්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සියලු දක්ෂතාවල ප්‍රතිඵලයක් ලෙස රුමේෂ් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 1287ක් ලබමින් පස්වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් වී ඇති අතර, මෙය රුමේෂ් මේ දක්වා ලෝක මට්ටමින් ලබා ඇති හොඳම ස්ථානය ලෙසයි සටහන් වන්නේ.

මේ අතර ඔහුට ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් සිව්දෙනා ලෙස ජර්මනියේ Julian Weber, ග්‍රෙනේඩාවේ Anderson Peters, ට්‍රිනිඩැඩ් සහ ටොබැගෝ හි Keshorn Walcott සහ ඉන්දියාවේ Neeraj Chopra යන අයගේ නම් සටහන් වනවා.

මේ අතර රුමේෂ් අද දිනයේ දී Diamond League 2026 සිව්වැනි තරග අදියර ලෙස රෝමයේ දී තරග බිමට පිවිසීමට නියමිතයි.

ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රි 10.40ට රුමේෂ් තරග බිමට පිවිසීමට නියමිත අතර, මෙම තරගයේ දී ද රුමේෂ්ට පෙර තරගයේ දී හමු වූ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනා වන Anderson Peters සහ Keshorn Walcott මුණ ගැසීමට නියමිතයි.

එමෙන්ම කෙන්යාවේ Julius Yego, ජර්මනියේ Thomas Rohler, ඉන්දියාවේ Sachin Yadav වැනි ක්‍රීඩකයින් ද අද දිනයේ රුමේෂ්ගේ ප්‍රතිවාදීන් ලෙස තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.

මීට අමතරව අද පැවැත්වෙන Diamond League තරග අදියර වෙනුවෙන් ඇමරිකානු කෙටි දුර ධාවන ශූර Noah Lyles, දකුණු අප්‍රිකාවේ Akani Sibine, බොට්ස්වානා හි Letsile Tebogo, ජැමෙයිකාවේ Ackeem Blake, ග්‍රීසියේ Miltiadis Tentoglou, සාන්ත ලුසියා හි Julien Alfred, ඇමරිකාවේ Melissa Jefferson-Wooden වැනි ලෝ පතල මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් තරග වැදීමට නියමිතයි.

එම තරග ඉසව්ව පිළිබඳව ද සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>