මලල ක්‍රීඩාවේ සුවිශේෂී දස්කම් පෑ ගත් කතුවරයා

179
Lalith Kumara

මෙරට මලල ක්‍රීඩා අතීතයේ ඉහළ දස්කම් පෑමට සමත් වූ නමුත් වර්තමානයේ දී බොහෝ දෙනෙකුගේ මතකයෙන් මැකී ගිය සුවිශේෂී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරට ක්‍රීඩා ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ දී දැක ගැනීමට හැකි.

සෑම් ජෝසප්, මාෂල් පෙරේරා වැනි අතීතයේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ගෙන් පසු ThePapare.com අපගේ අවධානය යගුලිය සහ කවපෙත්ත විසි කිරීම ඉසව්වන්හි ඉහළ දස්කම් දැක්වූ ප්‍රවීණ කතුවරයෙක් පිළිබඳවයි.

මලල ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් මෙරටට දායාද කෙරූ සුන්දර අවිස්සාවේල්ලට මායිම් වූ හිඟුරල දී උපත ලැබූ ඔහු නමින් ලලිත් කුමාර රූපසිංහ ගුණවර්ධන විය.

කුඩා කල සිටම ඉතා ක්‍රියාකාරී දරුවෙකු වූ ඔහු 1960 අග භාගයේ දී සිය අධ්‍යාපනය වෙනුවෙන් සීතාවක විදුහලට ඇතුළත් වූවත් ඔහු කුඩා කල සිටම ගුරුවරුන් හට හිසරදයක් වූ දරුවෙකු විය.

පාසල් වියේ දී සිසුන් සමඟින් පමණක් නොව විටෙක ගුරුවරුන් සමඟ ද බහින් බස් වීම් රැසකට මැදිහත් වූ ලලිත් කුමාරගේ ඇති ගති පැවතුම් නිසාවෙන් පාසල් වියේ දී ඔහු “කරාටියා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නට ද විය.

නමුත් පාසල් වියේ සිටම යගුලිය සහ කවපෙත්ත ඉසව්වන්ගේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ එම ඉසව්වන්හී සහජ දස්කම් දැක්වීමට ඔහු සමත් වූයේ සියල්ලන් විමතියට පත් කරමිනි.

පාසලේ කරදරකාරී සිසුන් අතර පෙරමුණේ සිටි ලලිත් කුමාර සිය විදුහල්පතිවරයා වූ මේජර් හෙන්රි ද මැතිදුන් ලබා දුන් අභියෝගයක් නිසාවෙන් ඉතා ඉක්මනින්ම අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරන්නට විය.

එම අභියෝගය නිසාවෙන් පාසලට නොපැමිණීමට තීරණය කළ ඔහු සිය නිවසේ සිට අධ්‍යාපන කටයුතු සිදු කර විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීමට ද සමත් වූයේ සියල්ලන්ම ඉතා පුදුමයට පත් කරමිනි.

උසස් පෙළ ඉහළින් සමත් වීම නිසා කැළණිය විශ්වවිද්‍යාලයට (විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය) ඇතුළත් වීමට වරම් ලද ඔහු 1971 වසරේ එම විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන්නේ සිය ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය සටහන් කරමිනි.

තවත් විශේෂාංග ලිපි:

විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් වීමෙන් පසු ඒ. ජේ. රොද්‍රිගෝ, ලක්ෂ්මන් ද අල්විස් සහ බී. එච්. එල්. පෙරේරා යන පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ ලලිත් කුමාර සිය ක්‍රීඩා හැකියාව දියුණු කරගන්නේ විශ්වවිද්‍යාල වාර්තා රැසක්ම සිය නාමය යටතට එක් කර ගනිමිනි.

මලල ක්‍රීඩාවට පමණක් සීමා නොවී මල්ලව පොර, බර ඉසිලීම ඇතුළු ක්‍රීඩා පහකට විශ්වවිද්‍යාල වර්ණ දිනා ගැනීමට සමත් වූ ඔහු ඉතා ඉක්මනින්ම ජාතික තලයේ දස්කම් දැක්වීමට ද සමත් විය.

සාර්ථකව වසර කිහිපයකින් පසු 1974 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති තේරිම් තරගවලට සහභාගි වූ ඔහු එහි දී යගුලිය විසි කිරීමේ ඉසව්වේ ජාතික ශූරයා වීමට සමත් විය.

එතැන් පටන් ජාතික තලයේ සාර්ථක දස්කම් දැක්වීමට සමත් වූ ඔහු හයවැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව නව ජාතික වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජයේ පුරෝගාමී සාමාජිකයෙකු ද වූ ලලිත් කුමාර මහතා සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේඛනාකරක්ෂකවරයෙකු ලෙස පත්වීම් ලබන්නට විය.

එතැන් පටන් ක්‍රීඩා ලේඛන කලාවට සිය අවධානය යොමු කළ එතුමා මෙරට විශ්වවිද්‍යාලයකින් ක්‍රීඩා විෂය සඳහා පශ්චාත් උපාධියක් ලබා ගත් පළමුවැන්නා ලෙස ද ඉතිහාස ගත විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයකින් ලේඛකත්ව, ජනසන්නිවේදන සහ අධිලේඛන විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි සහතික ලැබූ ඔහු ඉන්දුනීසියාවේ දී ඕලන්ද භාෂාව පිළිබඳව ද ඩිප්ලෝමාවක් සම්පූර්ණ කිරීමට ද සමත් විය.

එමෙන්ම 1988 වසරේ ග්‍රීසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා සන්නිවේදන සැසිවාරයට මෙරට නියෝජනය කරමින් සහභාගි වූ එතුමා එම සැසිවාරය සඳහා සහභාගී වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙස ද ඉතිහාස ගත විය.

පසුව මෙරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළ එතුමා කළ සේවය වෙනුවෙන් 2017 වසරේ දී “ක්‍රීඩා ප්‍රභා” යන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අතීතයේ ක්‍රීඩකයෙකු ලෙස සහ වර්තමානයේ දී ලේඛකයෙකු ලෙස මෙරට ක්‍රීඩාවට සිය දායකත්වය සපයන එතුමා මේ දක්වා මෙරට වැඩිම ක්‍රීඩා ග්‍රන්ථ නිකුත් කර ඇති ලේඛකයා ද වේ.

ලලිත් කුමාර රූපසිංහ පිළිබඳව තොරතුරු උපුටා ගනු ලැබුවේ Saman Kumara Gunawardhana මහතාගේ Facebook ගිණුමෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<