ඉන්දියාවේ වැඩේ කරගන්නා කල් අයි.පී.එල්. කරපු වැඩේ නම් පල්

198

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් අටවැනි වරටත් පවත්වනු ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය පසුගිය බදාදා (08දා) ඉන්දියාවේදී ආරම්භ විය.

නිල වශයෙන් බැලූ කල මෙය සැබැවින්ම දේශීය විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් වුවද අද ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරගාවලිය පත්වී ඇති බව නොරහසකි.

මෙලොව ක්‍රිකට් ප්‍රජාවෙන් 1/3ක් නියෝජනය කරන ඉන්දියානු ක්‍රීඩාලෝලීන් ඉදිරියේ මෙම තරගාවලිය පැවැත්වීම ඊට ප්‍රධානම හේතුවක් වන අතර, එවන් ප්‍රසිද්ධියකට බලපා ඇති තවත් හේතුවක් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ අති දක්‍ෂ ජනප්‍රිය ක්‍රිකට් තරු මෙම තරගාවලියට සහභාගි වීමයි. එසේම වර්තමානයේදී ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) බලවතුන් අතර ඉන්දියාවට ප්‍රමුඛත්වයක් ලැබීමද මෙම අයි.පී.එල්. තරගාවලියට ක්‍රිකට් ලෝකය තුළ ඉහළම තැනක් ලැබීමට පාදක වී ඇත.

ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ බලපෑමෙන් අයි.සී.සී.ය පැත්තෙන්ද අයි.පී.එල්. තරගාවලියට එවන් තල්ලුවක් ලැබෙද්දී අයි.පී.එල්. තරග සංවිධායකයන්ද මෙම තරගාවලිය හරහා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරගැනීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව පැහැදිලිය. තවත් විදියකින් බැලූ විට දෙස්-විදෙස් ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් එකවර මුණගැසෙමින් ක්‍රීඩා කිරීම තුළ ලැබෙන අත්දැකීම් ක්‍රීඩකයන්ගේ අනාගත සුබසිද්ධියට බලපානු ඇතැයි කියැවුණද සැබවින්ම ඊටත් වඩා ගැබ්වූ යටි අරමුණු මෙම තරගාවලිය තුළ ඇති බව දැන් පැහැදිලිය. එනම් මීට වසර 7කට පෙර මෙම අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වන අවස්ථාවේ අවශේෂ රටවලින් ක්‍රීඩකයන් තෝරාගත් ආකාරය හා වර්තමානයේදී කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරාගෙන ඇති ආකාරය විශ්ලේෂණය කිරීමෙන් මේ පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය.

එනම් අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන ඉන්දියාව අයත් වන දකුණු ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියත්වයට පත්ව ඇති අවශේෂ රටවල ක්‍රීඩකයන්ට මේ වන විට අයි.පී.එල්. තරගාවලිය තුළ ඉඩක් නැති තරම්ය. එකී ආසියානු රටවල් නියෝජනය කරන ක්‍රීඩකයන්ට ආරම්භයේ සිට අවස්ථා ලබා දුන්නද ඔවුන්ට ඒ අවස්ථාවලදී ක්‍රීඩා කිරීමට සුදුසු මානසික වටපිටාවක් ලබා නොදුනි.

ශ්‍රී ලංකාව පැත්තෙන් පමණක් බැලූවද ඊට ඕනෑ තරම් උදාහරණ ඇත. මින් පෙර 2012 හා 2013 තරගාවලියන්හිදී මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර වැනි දක්‍ෂ ක්‍රීඩකයන් යොදවා ගත් ආකාරය ඊට සාක්‍ෂි දරයි. ඔවුන් දෙදෙනාම පසුගිය අයි.පී.එල්. තරගාවලියකදී කණ්ඩායම්වල නායකත්වයට පවා පත්කොට පසුව එම තරගාවලියේදීම බංකුවේ තැබුවේය.

එසේම ශ්‍රී ලංකාවේ පමණක් නොව පාකිස්තානය හා බංග්ලාදේශය වැනි කණ්ඩායම්වල දක්‍ෂ ක්‍රීඩකයන් අදාළ තරගවලට යොදවා ගන්නවාට වඩා තරගාවලිය අතරමගදී ප්‍රේක්‍ෂකයන් බවට පත්කළ වාර ගණන වැඩිය. එනම් තම කලාපයේ ඇති අනෙක් රටවල කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ට නිසි අවස්ථාව ලබා නොදෙමින් කුඩම්මාගේ සැලකිලි ලබා දුන් ආකාරය බොහෝ අවස්ථාවලදී දැකගත හැකි විය. ශ්‍රී ලංකාව පැත්තෙන් පමණක් ගෙන අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබී ඇති අවස්ථා සලකා බැලුවහොත් 2008 මංගල තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13ක් සහභාගි කරවා ගත්තද අද එම ප්‍රමාණය 3ක් දක්වා අඩුකර ඇත. 2013 තරගාවලියටද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනකු සංචිතවලට ඇතුළත් කර ගත්තද මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ඇන්ජිලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා තිසර පෙරේරා පමණි. ඒ අතරෙනුත් මෙවර වෙන්දේසියේදී අදාළ කණ්ඩායම් විසින් මිලදී ගනු ලැබුවේ මැතිව්ස් හා තිසර පමණි.

නමුත් වර්තමානයේදී පවා ලොව ජනප්‍රියම ක්‍රීඩකයන් ලෙසට ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගෙන ඇති මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයන් දෙදෙනා මෙවර වෙන්දේසියේදී සලකා බැලීමකට හෝ ලක් නොකිරීමට කණ්ඩායම්වලට උරුමකම් කියන සමාගම් ප්‍රවේශම් වීමද විශේෂ ලක්‍ෂණයකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයකු තම ජීවිතයේ ලැබූ ඉහළම සම්මානය වන “විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර් සංගක්කාරටද මෙවර අයි.පී.එල්. තරගාවලියේදී අවස්ථාවක් දී නැත. 2014 වසරේදී දක්වන ලද ඉහළම දක්‍ෂතා අනුව ලොව ක්‍රිකට් බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව විසින් කුමාර් සංගක්කාර වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කරනු ලැබුවද ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් එම දක්‍ෂතා තුට්ටුවකට හෝ මායිම් නොකරන බවට මෙවන් ප්‍රතිචාර තුළින් පැහැදිලිය.

අයි.පී.එල්. තරගාවලිය ක්‍රිකට් ලොව ජනප්‍රියත්වයෙන් උපරිම තලයට යන තෙක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇතුළු පාකිස්තාන හා බංග්ලාදේශ ක්‍රීඩකයෝ අදාළ කණ්ඩායම්වලට යොදාගැනීමට කටයුතු කළද තරගාවලියට අවශ්‍ය උපරිම ජනප්‍රියත්වය ලබාගැනීමෙන් පසුව වසරෙන් වසර කරපිංචා න්‍යාය ක්‍රියාත්මක කරන්නට අයි.පී.එල්. බලධාරීන් කටයුතු කළ බව පැහැදිලිය. එයට එක් උදාහරණයක් පමණක් පෙන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්‍ෂතා දැක්වූ සියලුම ක්‍රීඩකයන් පළමු අයි.පී.එල්. තරගාවලි 6දීම යොදවා ගෙන තරගාවලියෙන් තරගාවලිය ඔවුන්ගෙන් වැඩගෙන අත්හැරියේය. ඔවුන්ගෙන් ලබාගත යුතු දේ ඉන්දීය දේශයේ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට සලස්වා ඒ මගින් ප්‍රතිවාදියාට මුහුණදීමේ පහසුව සලසා ගන්නට ඉන්දීය කණ්ඩායමට ඉඩ හැරියේය. එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාව වැනි රටවල් අදටත් භුක්ති විඳී. එනම් සැබැවින්ම වාණිජ රැල්ලට හසුවූ මෙම අයි.පී.එල්. තරගාවලිය මගින් ඊට සහභාගි වන ක්‍රීඩකයන් මුදල් උපයා ඉන් යම් ප්‍රතිශතයක් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලයටද ලැබෙන්නට සැලැස් වුවද දිනෙන් දින වැහැරෙන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව රැකගන්නට එම මුදල් පෙරළා වියදම් කරන්නට අදාළ රටේ පාලක මණ්ඩලයට සිදුවේ. තවත් තේරෙන භාෂාවෙන් කියන්නේ නම් අයි.පී.එල්. ගොස් කකුල කඩාගෙන පැමිණි විට එය සුව කරන්නට වියදම් කරන්නේ ශ්‍රී ලංකාවේ මුදල්ය.

ඒ අනුව එක් අතකින් ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාවටත් ක්‍රීඩකයාගේ මානසිකත්වයටත් බාධා කරන්නටද අවශ්‍ය වන්නේ නම් ඒ සඳහාද මෙම තරගාවලිය දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදාගත් බව අපට සිතන්නට සිදුවේ. ආරම්භක තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනකුට අවස්ථාව ලැබුණද මේ වන විට විදෙස් ක්‍රීඩකයන්ට අවස්ථාව දී ඇති ආකාරය අනුව ඔවුන්ගේ අරමුණ ගැන යමක් සිතාගැනීමට හැකිය. අයි.පී.එල්. නීති රීති අනුව එක් තරගයකදී කණ්ඩායමට ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයන් සිවු දෙනකුට පමණක් වුවද සෑම කණ්ඩායමකම අදාළ සංචිතයට විදෙස් ක්‍රීඩකයන් 8 දෙනකු පමණ තෝරාගෙන ඇත. ඒ අනුව බැලූ විට මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 8 සඳහා ඕස්ට්‍රේලියාවෙන් 22ක්, දකුණු අප්‍රිකාවෙන් 14ක්, නවසීලන්තයෙන් 8ක් හා බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් 8ක් වශයෙන් ක්‍රීඩකයන් තෝරාගෙන ඇත. එහෙත් මෙම කලාපයේ රටවල් වන ශ්‍රී ලංකාව (03ක්), පාකිස්තානය (01ක්) හා බංග්ලාදේශය (01ක්) ලෙස රටවල් තුනෙන්ම මෙවර සහභාගි කරවාගෙන ඇත්තේ ක්‍රීඩකයන් 5 දෙනකු පමණි. එනම් මුළු ක්‍රීඩකයන් 57න් අසල ඇති රටවල් තුනට ලැබී ඇත්තේ ක්‍රීඩකයන් 5 දෙනකුගේ අවස්ථාව පමණි.

කලාපයේ ක්‍රිකට් බලවතා තමන් විය යුතු යැයි මානසිකත්වයෙන් කටයුතු කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත මෙයින්ද පිළිබිඹු වෙයි. අයි.පී.එල්. තරගාවලියට අනුරූපව ශ්‍රී ලංකාවද එස්.එල්.පී.එල්. නමින් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් 2012 වසරේදී ආරම්භ කළද එම සංකල්පය එක් තරගාවලියකට පමණක් සීමා කිරීමේ කඩා කප්පල්කාරී වැඩපිළිවෙළ තුළ ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ද සිටි බව පැහැදිලිය. එනම් 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති පළමු එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට කිසිදු ඉන්දීය ක්‍රීඩකයකුට අවසර නොදුන් ඉන්දීය පාලකයන් එම එස්.එල්.පී.එල්. තරගාවලියට අයි.සී.සී.ය අනුමැතියෙන් වෙන්කරගත් අගෝස්තු මාසයද වෙනත් තරගාවලියන් සඳහා යොදවා ගන්නට උදවු කළේය. එනම් එම කාලයේදීම කැරබියන් ප්‍රිමියර් ලීග් නමින් කොදෙව් දේශයේදී තවත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් 2013 වසරේදී ආරම්භ කරන්නට ඉඩ සැලැස්සුවේය.

එතැනින් නොනැවතුණු ඉන්දියාව 2013 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එස්.එල්.පී.එල්. තරගාවලියට අදාළ කණ්ඩායම්වල අනුග්‍රාහක අයිතියද මිලදී ගැනීමට ඉදිරිපත් විය. එය ඒ මොහොතේ යහපත් ප්‍රවණතාවක් ලෙස පෙනුණද එය ලංකාවට අහිතකර තත්ත්වයක් යැයි මේ අයුරින්ම අප එදා පෙන්වා දුන්නද එය මෙරට ක්‍රිකට් බලධාරීන් කනට නොගත්තේ ඉන්දියානු ක්‍රිකට් බලයට ඇති යටහත් පහත්කම නිසාය. එහෙත් අවසානයේ අප පෙන්වා දුන් අයුරින් එස්.එල්.පී.එල්. කණ්ඩායම් අයිතිය අතට ගත් ඉන්දියානු සමාගම් විසින්ම තරගාවලිය කොට උඩ යැව්වේය. ඔවුන් හොඳ මුහුණ පෙන්වා මුදල් විසි කොට අයිතිය අතට ගත්තේ ඕනෑම වෙලාවක එය බකල් කර හැරීමේ ඇති හැකියාව ඔවුන්ට හිමිකර ගැනීමට මිස ශ්‍රී ලංකාවට ඇති ආදරයට නොවේ.