Messi ප්‍රමුඛ ආජන්ටිනාව අදහා ගත නොහැකි ජයක් ලබමින් ඉදිරියට!

FIFA 2026

7
Football

2026 පාපන්දු ලෝක කුසලානයේ 27 වැනි දිනයට අදාළ ව තවත් තරග දෙකක් ඊයේ (07) රාත්‍රියේ සහ අද (08) උදෑසන ක්‍රියාත්මක වුනා.

මෙම තරගවලින් ස්විස්ටර්ලන්තය සහ ආජන්ටිනාව ජය ලබා ගැනීමට සමත් වූ අතර, මේත් සමඟින් ම තරගාවලියේ කණ්ඩායම් 16 තරග වටයට අදාළ තරග සියල්ලම නිමාවට පත් වනවා.

ආජන්ටිනාව සහ ඊජිප්තුව

වත්මන් ලෝක ශූරයින් ලෙස මෙම තරගයට පිවිසෙන ආජන්ටිනාවට එරෙහිව ඊජිප්තුව විසින් ඉතා විශිෂ්ට තරගයක් ලබා දීමට මෙහි දී සමත් වුනා.

තරගයේ 15 මිනිත්තුවේ දී ඊජිප්තුව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Yaseer Ibrahim විසින් සමත් වූ අතර, ඉන් පසුව තරගයේ පළමු අර්ධය තුළ එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ.

ඊජිප්තුව පෙරමුණේ රැඳෙමින් දෙවැනි අර්ධය ද ආරම්භ වූ අතර, තරගයේ 67 වැනි මිනිත්තුවේ දී Mostafa Ziko විසින් ඊජිප්තුව වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනේ තරගය ජය ගැනීමට ඊජිප්තුවට ඉතා ඉහළ අවස්ථාවක් සලසා දෙමිනුයි.

මේ අතර ආජන්ටිනාව ද නැවත තරගයට අවතීර්ණ වීමට සිය උපරිම උත්සාහය ලබා දෙමින් සිටි අතර, ඔවුන්ගේ උත්සාහය පළමු වරට සාර්ථක වුනේ Cristian Romero විසින් තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමත් සමඟයි.

ඉන් අනතුරුව ආජන්ටිනාව විසින් තරගය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගැනීමට සමත් වන අතර, තරගයේ 83 වැනි මිනිත්තුවේ දී Lionel Messi විසින් ආජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කර දීමට සමත් වුනා.

මෙය ඔහුගේ 21 වැනි ලෝක කුසලාන ගෝලය වන අතර, මෙවර තරගාවලිය තුළ වාර්තා කළ 08 වැනි ගෝලයයි. එමෙන්ම මෙතෙක් තරගාවලිය තුළ ඔහු ක්‍රීඩා කළ සෑම තරගයක ම ගෝල වාර්තා කිරීමට සමත් වී ඇති අතර, 2022 සහ 2026 ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරග 06ක දී ද ඔහු නොකඩවා ගෝල වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

එම ගෝලයත් සමඟ තරගය 2-2ක් ලෙස සම මට්ටමට පැමිණි අතර, මේ අතරවාරයේ දී ඊජිප්තුව වාර්තා කිරීමට උත්සාහ ගත් ගෝල කිහිපයක් ම ව්‍යර්ථ කිරීමට ද ආජන්ටිනාවට හැකියාව ලැබුණා. නමුත් එම ඇතැම් අවස්ථා පිළිබඳ ඊජිප්තු ක්‍රීඩකයින්ගෙන් එතරම් සතුටුදායක තත්වයක් දක්නට ලැබුණේ නැහැ.

මේ අතර තරගයේ 90+3 මිනිත්තුවේ දී ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ Enzo Fernandez විසින් ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය ආජන්ටිනාව දෙසට හරවා දීමට සමත් වූ අතර, තරගයේ මුලු කාලයෙන් වැඩි ප්‍රමාණයක් තරගය පාලනය කළ ඊජිප්තුව තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

කොලොම්බියාව සහ ස්විස්ටර්ලන්තය

මෙම තරගයේ දි කණ්ඩායම් දෙකම තරගයේ නියමිත මිනිත්තු 90 තුළ එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් නොවූ අතර, ඉන් පසුව ලැබුණු අතිරේක මිනිත්තු 30 තුළ ද කිසිදු වෙනසක් සිදු වුනේ නැහැ.

මෙහි දී කණ්ඩායම් දෙකම තරමක් මන්දගාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බවක් ද දක්නට ලැබුණා. ස්විස්ටර්ලන්තය තරගය පුරා දැල ඉලක්ක කරමින් එල්ල කළේ පහර දෙකක් පමණක් වන අතර, කොලොම්බියාව පහර තුනක් පමණක් දැලට එල්ල කර තිබුණා.

මින් අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර, එහි දී ස්විස්ටර්ලන්තය විසින් ගෝල 4-3ක් ලෙස තරගය ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සිදු වුනා.

ස්විස්ටර්ලන්තය මෙසේ ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබාගන්නේ 1954 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.

මේ අනුව තරගාවලියේ කණ්ඩායම් 16 තරග වටයේ සියලු තරග නිමාවට පත් වනවා. මීළඟට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කිරීමට නියමිත අතර, එම තරග සිකුරාදා (10) අලුයම 1.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>