ජපානය යුරෝපය හමුවේ නොසැලී ඉදිරියට!

FIFA 2026

26
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ සිව්වැනි දිනයට අදාළ ව තවත් තරග හතරක් ඊයේ (14) රාත්‍රියේ සහ අද (15) උදෑසන පැවැත්වුණා.

මෙතෙක් තරගාවලිය තුළ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් ම තරගය ද අද උදෑසන නෙදර්ලන්තය සහ ජපානය අතර ක්‍රියාත්මක වූ අතර, ඊට අමතරව ක්‍රියාත්මක වූ තරග ද ඉතා විශේෂ ලකුණු සටහන් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.

ජර්මනිය සහ කුරසාඕ

මෙම තරගයේ දී ජර්මනිය විසින් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. ගෝල 7-1ක් ලෙස කුරසාඕ කණ්ඩායමට එරෙහිව ජය ලැබීමට ජර්මනියට හැකි වූ අතර, මෙහි දී ජර්මනිය වෙනුවෙන් Kai Havertz විසින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට ද සමත් වුනා.

මෙහි දී ජර්මනිය විසින් ගෝල හතක් වාර්තා කිරීම දෙවැනි වන්නේ 2002 දී ඔවුන් විසින් සෞදි අරාබියට එරෙහිව ගෝල 8ක් වාර්තා කිරීමට පමණක් වන අතර, 2014 දී බ්‍රසීලයට එරෙහිව ජර්මනිය ලැබූ 7-1ක ජය මෙහි දී සම කිරීමට ද ඔවුන්ට හැකියාව ලැබුණා.

එමෙන්ම කුරසාඕ මෙවර ලෝක කුසලානයට එක් වන්නේ ජන ගහනය අතින් ලෝක කුසලාන වරම් ලද පළමු රට ලෙසින් වන අතර, එසේ පැමිණ තරගයේ 21 වැනි මිනිත්තුවේ දී සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කිරීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයක්.

ස්වීඩනය සහ ටියුනීසියාව

මෙම තරගයේ දී ස්වීඩනය විසින් සුප්‍රසිද්ධ ටියුනීසියානු ආරක්ෂක පෙළ බිඳ දමමින් ඉතා දරුණු ගණයේ ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූ අතර, ඔවුන් විසින් සම්පූර්ණ තරගය තුළ ගෝල 05 වාර්තා කළේ ටියුනීසියාව එක් ගෝලයක් පමණක් වාර්තා කරන අතරතුරේ දීයි.

ස්වීඩනය විසින් මෙසේ ගෝල පහක් වාර්තා කරන්නේ 1938 ලෝක කුසලානයේ දී කියුබාවට එරෙහිව ගෝල 8-0ක ජයක් ලැබීමෙන් අනතුරුවයි. එමෙන්ම ස්වීඩනය වෙනුවෙන් ගෝල වාර්තා කළ ක්‍රීඩකයින් අතර සිටින Alexander Isak විසින් සිය පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කිරීමට ද සමත් වුනා.

අයිවරි කෝස්ට් සහ ඉක්වදෝරය

ලොව සිටින විශිෂ්ටතම පාපන්දු ආරක්ෂක පෙළක් සහිත ඉක්වදෝරයට එරෙහිව ගෝලයක් වාර්තා කරමින් අයිවරි කෝස්ට් කණ්ඩායම විසින් මෙම තරගය ජය ගැනීමට සමත් වුනා. තරගයේ දී කණ්ඩායම් දෙකම දඬුවම් පහර අවස්ථා මග හැර ගත් අතර, පසුව තරගයේ 90 වැනි මිනිත්තුවේ දී Amad Diallo විසින් ඉක්වදෝර ආරක්ෂක පෙළ පසු කරමින් ගෝල සීමාව වෙත පන්දුව යොමු කිරීමට සමත් වුනා.

නෙදර්ලන්තය සහ ජපානය

මෙවර තරගාවලියේ මෙතෙක් පැවැත්වුණු උණුසුම් ම තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි. තරගයේ පළමු ගෝලය නෙදර්ලන්තය විසින් 51 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ අතර එම ගෝලය Virgil Van Dijk විසින් වාර්තා කළේ ප්‍රධාන තරගාවලියක සිය පළමු ජාත්‍යන්තර ගෝලය ලෙසිනුයි.

කෙසේ වෙතත් ඉන් මොහොතකට පසුව තරගයේ 57 වැනි මිනිත්තුවේ දී Keito Nakamura විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය නැවත සම කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ 64 වැනි මිනිත්තුවේ දී නැවත නෙදර්ලන්තය වෙනුවෙන් Crysencio Summerville විසින් ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායම ඉදිරියට රැගෙන ගියා. කෙසේ නමුත් තරගයේ 89 වැනි මිනිත්තුවේ දී ජපානය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daichi Kamada විසින් සමත් වුනේ තරගය සම මට්ටමින් අවසන් කරමිනුයි.

තරගයේ දී දෙවරක් පෙරමුණට පැමිණෙමින් නෙදර්ලන්තයට ජය ගැනීමට නොහැකි වූ පළමු ලෝක කුසලාන තරගය මෙය වන අතර, ජපානය විසින් 2019 වසරෙන් පසුව තවමත්‍ යුරෝපීය කණ්ඩායමක් හමුවේ එකදු තරගයක් හෝ පරාජය නොවී සිටීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අයුරින් අද උදෑසන දක්වා පැවැත්වුණු තරග ප්‍රතිඵල සටහන් වුනා. එමෙන්ම අද රාත්‍රියේ සහ හෙට (16) උදෑසන තවත් තරග කිහිපයක් ම පැවැත්වීමට නියමිතයි.

  • අද රාත්‍රි 9.30: ස්පාඤ්ඤය – කේප් වර්ඩ්
  • හෙට අලුයම 12.30: බෙල්ජියම සහ ඊජිප්තුව
  • අලුයම 3.30: සෞදි අරාබිය සහ උරුගුවේ
  • උදෑසන 6.30: නවසීලන්තය සහ ඉරානය

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>