දිගුදුර ධාවන පිටියේ බිහි වූ හොඳම ක්‍රීඩකයා කවුරු ද?

314

දිගුදුර ධාවනය එසේත් නොමැති නම් මැරතන් තරග ඇතුළු විශාල දුරක් අවසන් කළ යුතු තරග පිළිබඳව කියූ සැණින් බොහෝ දෙනෙකුටම පාහේ සිහිවන්නේ ඉතියෝපියානු, කෙන්යානු වැනි අප්‍රිකානු රටවල සිටින කළු ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව කිවහොත් නිවැරදිය.

කෙටිදුර ධාවනයේ සහ මැදිදුර ධාවනය බොහෝ විට වේගය මතම ජයග්‍රහණය රඳා පැවතියත් දිගුදුර ධාවනයේ දී වේගයට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ ඇති දරාගැනීමේ හැකියාව මෙම තරග රාමුවේ දස්කම් දැක්වීමට මෙන්ම රැඳී සිටීමට ප්‍රධාන සාධකයක් වනු ඇත.

දිගුදුර ධාවන ක්‍රීඩා පිටියේ ඉතිහාසයේ සිටම එහි ආධිපත්‍ය පැතිර වීමට කෙන්යානු, ඉතියෝපියානු වැනි අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම බොහෝ රටවල් නියෝජනය කළ කළු ජාතිකයන් සමත් වූවත්, මෙම තරග රාමුවේ ඇති තරගකාරීත්වය නිසාවෙන් දිගුකාලයක් මුළුල්ලේ තරග පිටියේ ආධිපත්‍ය රැක ගැනීමට හැකි වී ඇත්තේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පමණි.

Mo Farah (Great Britain)

Somaliland හී උපත ලබා පසුව මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් දස්කම් දක්වන Mo Farah නූතන ඔලිම්පික් ඉතිහාසයේ Lasse Virén පසුව මීටර් 5,000 සහ 10,000 ඉසව් ද්විත්වයම නොකඩවා ඔලිම්පික් තරගාවලි දෙකක දී ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා වේ.

Mo Farah
Mo Farah

පාසල් වියෙහි සිටම දිගුදුර තරග රාමුවේ දස්කම් වූ Mo Farah වයස අවුරුදු 13 දී Hounslow at cross-country තරගාවලිය නියෝජනය කිරීමට සමත් වූ අතර ඔහු 2001 වසරේ පැවති යුරෝපා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 5,000 ඉසව්ව ජය ගනිමින් ජාත්‍යන්තර තලයේ දස්කම් දැක්වීම ආරම්භ කරන ලදි.

ඉන්පසුව 2005 වසරේ සිට කනිෂ්ඨ පිටියෙන් ඔබ්බට විත් ලෝක ශූරයන් හා ගැටෙමින් දස්කම් දැක්වීමට සමත් වූ Farah 2006 වසරේ පැවති යුරෝපා රට හරහා දිවීමේ තරගාවලිය ජය ගැනීමට සමත් වූ නමුත් 2007 ලෝක ශූරතා තරගාවලියේ දී සහ 2008 ඔලිම්පික් උළෙලේ දී ඔහුට කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි වූයේ නැත.

ඉන්පසුව 2009 සිට යුරෝපා පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Farah යුරෝපා සහ බ්‍රිතාන්‍ය තරග වාර්තා රැසක් පිහිටුවීමට සමත් වූ අතර 2011 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 10,000 රිදී පදක්කම සහ 5,000 රන් පදක්කම් දිනා ගනිමින් ලෝක දිගුදුර ධාවන පිටියේ සිය ආධිපත්‍ය පැතිරවීමට ආරම්භ කළේය.

එම ජයග්‍රහණයෙන් පසු 2012 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ Farah බ්‍රිතාන්‍ය ඔලිම්පික් ඉතිහාසයේ රන් සටහනක් තබමින් මීටර් 10,000 සහ 5,000 රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ 2013 වසරේ දී සිට මීටර් 1500 ඉසව්වට ද සහභාගි වෙමින් එහි යුරෝපා වාර්තාව පිහිටුවීමට ද සමත් විය.

එම කාලසීමාවේ දී මීටර් 10,000 සහ 5,000 ඉසව්වන් සිය ආධිපත්‍යට යටත් කර ගැනීමට සමත් වූ Farah යුරෝපා ගෘහස්ථ සහ එළිමහන් දිගුදුර පිටියේ වාර්තා රැසක් පිහිටුවීමට සමත් වූ අතර 2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී නැවත වරක් මීටර් 10,000 සහ 5,000 ඉසව් ජය ගැනීමට සමත් විය.

ඉන් පසුව 2016 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී නැවත වරක් මීටර් 10,000 සහ 5,000 ඉසව් ජය ගනිමින් එම දස්කම් පෑ දෙවන ක්‍රීඩකයා බවට පත් වීමට ඔහු සමත් වූ අතර සාර්ථක 2016 වසරින් පසු ඔහු 2017 වසරේ දී සිය සුපුරුදු ඉසව්වන්ට සමු දී මැරතන් සඳහා අවධානය යොමු කරන බව ප්‍රකාශ කළේය.

Mo Farah
Mo Farah 2017 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය අතරතුරදී

එලෙස මැරතන් ඉසව්වන්ට අවධානය යොමු කිරීමෙන් පසු 2018 ලන්ඩන් මැරතන් තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ Farah එම වසරේම චිකාගෝ මැරතන් තරගය ජය ගැනීමට සමත් වූ නමුත් 2019 ලන්ඩන් මැරතන් තරගයේ දී ඔහුට පස්වැන්නා ලෙස තරගය නිමා කිරීමට සිදු විය.

වසර දෙකක පමණ විවේකයකින් පසු නැවතත් 2019 වසරේ දී සිය පැරණි ඉසව් වෙත නැවත වරක් යොමු වූ Farah එළඹෙන ඔලිම්පික් උළෙලේ දී සිය ඔලිම්පික් කිරුළ රැකගැනීම සඳහා තරග වැදීමේ සූදානමින් පසුවේ.

Eliud Kipchoge (Kenyan)

වර්තමාන මැරතන් ධාවන පිටියේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද බොහෝ දෙනා හඳුන්වන කෙන්යානු දිගුදුර ධාවන ශූර Eliud Kipchoge මැරතන් පිටිය සිය ආධිපත්‍යට යටත් කරගැනීමට සමත්ව ඇති අතර මැරතන් ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද ඔහුයි.

Eliud Kipchoge
Eliud Kipchoge

2002 වසරේ පැවති ලෝක රට හරහා දිවීමෙ තරගාවලිය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසි Kipchoge එහි කනිෂ්ඨ රට හරහා දිවීමේ තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ නමුත් පසුව ඔහු අනෙකුත් තරගවලට සාපේක්ෂව මීටර් 5,000 ඉසව්වට වැඩි අවධානයක් දීමට කටයුතු කළේය.

ඉතා කෙටි කලක් තුළ එම ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Kipchoge 2003 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ නමුත් 2004 ඔලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වීමට ඔහුට සිදු වූ අතර 2008 ඔලිම්පික් උළෙලේ මීටර් 5,000 ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගනිමින් තරගය අවසන් කිරීමට ඔහුට සිදු විය.

පසුව මීටර් 5,000 ඉසව්වෙ මද පසුබෑමකට ලක් වූ ඔහු 2012 වසරේ සිට මැරතන් තරගවලට වැඩි අවධානයක් යොමු කරමින් එම තරගවල ඉතා ඉක්මනින් දස්කම් දැක්වීමට සමත් වූ ඔහු සුප්‍රකට චිකාගෝ, ලන්ඩන් සහ බර්ලින් මැරතන් තරග ජය ගැනීමට සමත් වූ අතර 2016 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්ව ජය ගනිමින් අවස්ථා ද්විත්වයක දී ඔහුට අහිමි වූ ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම ජයෙන් පසුවද මැරතන් තරග බොහෝමයක කිරුළ තමන් සතු කරගැනීමට සමත් වූ ඔහු 2018 වසරේ සුප්‍රකට ක්‍රීඩකයන් රැසක් පරදවමින් ලන්ඩන් මැරතන් කිරුළ ජය ගැනීමට සමත් විය. 2018 බර්ලින් මැරතන් තරගය පැය 2:01:39ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට ද ඔහුට හැකි විය.

Eliud Kipchoge
Eliud Kipchoge 2016 ඔලිම්පික් මැරතන් තරගය ජයගනිමින්

පසුව 2019 වසරේ ද ලන්ඩන් මැරතන් තරගය නව තරගාවලි වාර්තාවක් ද සමඟින් ජය ගනිමින් එම මැරතන් තරගය සිව් වතාවක් ජය ගැනීමට සමත් වූ අතර මෙම වසරේ ලන්ඩන් මැරතන් තරගයට ඔහු සහභාගි වූවත්, එය 08 වැන්නා ලෙස අවසන් කිරීමට ඔහුට සිදු විය.

2012 වසරේ දී මීටර් 5,000 තරග රාමුව අතහැර මැරතන් ඉසව්වට අවධානය යොමු කිරීමෙන් පසු Kipchoge ලන්ඩන් මැරතන් තරගය සිව්වතාවක් ද, චිකාගෝ මැරතන් තරගය පස් වතාවක් ද ජය ගැනීමට සමත් විය.

තවත් විශේෂාංග ලිපි: 

Haile Gebrselassie (Ethiopian)

ඉතියෝපියාව නියෝජනය කරමින් දිගුදුර ධාවන පිටියේ තරග රාමු සියල්ලේම පාහේ ඉතා ඉහළ දස්කම් දැක්වූ Haile Gebrselassie පිළිබඳව ඉඩක් වෙන් නොවන දිගුදුර ධාවනය පිළිබඳව ලිපියක් කිසිදු විටක සම්පූර්ණ නැත, ඒ ඔහු එතරම්ම මෙම ධාවන පිටියේ ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ නිසාවෙනි.

Haile Gebrselassie
Haile Gebrselassie

1992 වසරේ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 10,000 සහ 5,000 ඉසව් ජය ගනිමින් සහ අර්ධ මැරතන් තරගයේ රිදී පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර දිගුදුර ධාවන පිටියට අත්පොත් තැබූ Gebrselassie ක්‍රීඩා දිවියේ මුල් අවධියේ දී මීටර් 10,000 සහ 5,000 ඉසව්වන්ට විශේෂ අවධානයක් ලබා දෙන ලදි.

ඒ අතරින් මීටර් 10,000 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඔහු එම ඉසව්ව නියෝජනය කරමින් 1993, 1995, 1997 සහ 1999 යන වසරවල ලෝක ශූරතාව ජය ගැනීමට සමත් වූ අතර එම කාලසීමාව තුළ දී වරින් වර මීටර් 10,000 සහ 5,000 ඉසව්වන්හී ලෝක වාර්තා බිඳ හෙළීමට ද ඔහු සමත් විය.

මීට අමතරව ඔහු 1996 ඇතෑන්ස් ඔලිම්පික් උළෙලේ දී සහ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 10,000 ඉසව්ව නොකඩවා දෙවතාවක් ජය ගනිමින් ඔලිම්පික් උළෙලක දී එම ඉසව්ව දෙවතාවක් ජය ගත් තෙවැනි ක්‍රීඩකයා ලෙස ද ඉතිහාස ගත විය.

එම ජයග්‍රහණයන්ට පසුව නැවතත් අර්ධ මැරතන් තරග සඳහා ද අවධානය යොමු කළ Gebrselassie 2001 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අර්ධ මැරතන් තරගය ජය ගැනීමට සමත් වූ නමුත් 2004 ඔලිම්පික් තරගාවලියේ මීටර් 10,000 ඉසව්වේ පස්වැන්නා ලෙස නිමා කිරීමට සිදු වූ නිසාවෙන් ඔලිම්පික් තරගාවලියක එම ඉසව්ව නොකඩවා තුන්වතාවක් ජය ගත් මුල්ම ක්‍රීඩකයා වීමට තිබූ අවස්ථාව අහිමි විය.

එම පරාජයෙන් පසු මැරතන් ඉසව්වන්ට වඩාත් අවධානයක් ලබා දෙමින් මැරතන් තරග සඳහා සහභාගි වීමට කටයුතු කළ Gebrselassie මැරතන් තරග රැසක් ජය ගනිමින් සුප්‍රකට බර්ලින් මැරතන් තරගය නොකඩවා සිව් වතාවක් ජය ගැනීමට සමත් වූ අතර 2007 සහ 2008 බර්ලින් මැරතන් තරගයේ දී මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙලීමට ද ඔහු සමත් විය.

Haile Gebrselassie
Haile Gebrselassie 1996 ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ඉසව්ව ජයගනිමින්

පසුව 2007 වසරේ නැවතත් මීටර් 10,000 තරග සඳහා ද අවධානය යොමු කළ ඔහු 2008 ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්ව 6 වැන්නා ලෙස නිමා කළ අතර එම පරාජයෙන් පසු නැවතත් මැරතන් ඉසව්වන්හී දස්කම් දැක්වූ ඔහු 2010 වසරේ දී ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කළේය.

තම වසර 18කට අධික ක්‍රීඩා දිවිය තුළ ලෝක වාර්තා 27ක් සිය නාමයට ලියා ගැනීමට සමත් වූ Gebrselassie ක්‍රීඩා දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව කෝපි වගාකිරීමට යොමු විය.

Kenenisa Bekele (Ethiopian)

මීටර් 10,000, මීටර් 5000 සහ මැරතන් ඉසව්වන්ගේ මෙන්ම ලෝක රට හරහා දිවීමේ තරග රාමුවේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඉතියෝපියානු ජාතික Kenenisa Bekele දිගුදුර ධාවන පිටියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකි.

Kenenisa Bekele
Kenenisa Bekele

2001 වසරේ පැවති ලෝක කනිෂ්ඨ රට හරහා දිවීමේ තරගය ජය ගනිමින් ජාත්‍යන්තර තලයට පිවිසි Kenenisa Bekele එම වසරේම මීටර් 3,000 ඉසව්ව මිනිත්තු 7:30.67ක කාලයකින් අවසන් කරමින් එහි කනිෂ්ඨ ලෝක වාර්තාව පිහිටුවීමට ද සමත් විය.

ඉන්පසුව 2002 වසරේ සිට 2008 වසර දක්වා ලෝක රට හරහා දිවීමේ ශුරතාවයේ කිලෝමීටර් 4 සහ කිලෝමීටර් 12 යන තරග ද්විත්වයේම දස්කම් දැක්වීමට සමත් වූ Bekele 2002 වසරේ සිට 2006 දක්වා නොකඩවා එම තරගයන්හී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2008 වසරෙ කිලෝමීටර් 12 තරගයේ දිනා ගත් රන් පදක්කම ද ඇතුළුව සමස්ත ලෝක රට හරහා දිවීමේ රන් පදක්කම් 11ක් දිනා ගැනීමට ඔහුට හැකි විය.

ඉතා ඉක්මනින්ම දිගුදුර ධාවන පිටියේ සිය ආධිපත්‍ය පැතිර වීමට සමත් වූ Bekele 2004 වසරේ දී මීටර් 5,000 ගෘහස්ථ සහ මීටර් 10,000 සහ 5,000 එළිමහන් ඉසව්වන් සියල්ලේම ලෝක වාර්තා පිහිටුවීමට සමත් වූ අතර එවකට එම ඉසව්වන්හී රජු ලෙස සැලකූ Haile Gebrselassie පරාජය කරමින් 2004 ඔලිම්පික් 10,000 ඉසව්වෙහි රන් පදක්කම සහ මීටර් 5,000 ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

එම ජයග්‍රහණවලින් පසුව 2005 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 10,000 ඉසව්ව ජය ගැනීමට ද සමත් වූ ඔහු එම වසරේ දී ම පැවති තරගයක් නියෝජනය කරමින් ඔහු විසින්ම පිහිටවූ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. (මෙම වාර්තාව මෙම වසරේ ඔක්තෝබර් 07 වැනිදා තෙක් නොබිදී පැවතුනි) 

එම කාලසීමාව තුළ දී මීටර් 10,000, 5,000 සහ රට හරහා දිවීම තරග රාමුවේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඔහු දිගුදුර ධාවන පිටියේ වාර්තාවන් රැසක් පිහිටුවීමට සමත් වූ අතර ලෝක රට හරහා දිවීම තරග රාමුවේ දැක්වූ දස්කම් නිසාවෙන් එම තරග රාමුවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද ඔහුව හඳුන්වන ලදි.

පසුව 2008 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දී මීටර් 10,000 සහ 5,000 ඉසව්ව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් ජය ගැනීමට සමත් වූ Bekele, 2009 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව් ද්විත්වයම ජය ගනිමින් එම දස්කම පෑ මුල්ම ක්‍රීඩකයා ලෙස ද ඉතිහාස ගත විය.

Kenenisa Bekele
Kenenisa Bekele 2008 ඔලිම්පික් උළෙල අතරතුරදී

එම ජයග්‍රහණවලින් අනතුරුව 2010 වසරේ දී ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වූ Bekele 2011 වසරේ නැවත පැමිණීමෙන් පසු සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ අතර 2012 ඔලිම්පික් උළෙලේ දී ද සිය කිරුළ රැකගැනීමට ඔහු අසමත් විය.

එම පරාජයන්ගෙන් පසු මැරතන් තරගයන්ට යොමු වීමට තීරණය කළ Bekele සිය මුල්ම මැරතන් තරගය ලෙස සුප්‍රකට පැරිස් මැරතන් තරගයට සහභාගි වෙමින් එය ජය ගැනීමට සමත් වූ අතර එතැන් පටන් මැරතන් ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳ අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ ඔහු 2016 බර්ලින් මැරතන් තරගය ද ජය ගැනීමට සමත් විය.

පසුව 2017 වසරේ ලන්ඩන් මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ ඔහු 2019 වසරේ දී නැවත වරක් බර්ලින් මැරතන් තරගය ජය ගැනීමට සමත් වූ අතර අවසාන වශයෙන් ඔහු සහභාගි වූ 2020 ලන්ඩන් අර්ධ මැරතන් තරගය තරගාවලි වාර්තාවක් සමඟින් ජය ගැනීමට ඔහුට හැකි විය. 

Runner Stribe වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරෙනි 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<