විචාරකයන්ටත් අමතක වූ ඔලිම්පික් වාර්තාවේ හිමිකාරිය

171

ගිම්හාන ඔලිම්පික් උළෙලක දී මීටර් 100 ඉසව්ව නොකඩවා දෙවතාවක් ජයග්‍රහණය කළ, එසේත් නැතිනම් දෙවතාවත් සිය කිරුළ රැකගැනීමට සමත් වූ පළමුවැන්නා කවුදැයි විමසුවොත් බොහෝ දෙනාගේ පිළිතුර Carl Lewis හෝ Usain Bolt යන දෙදෙනාගෙන් අයෙකු විය යුතුයි.

එසේත් නැතිනම් පළමු ක්‍රීඩිකාව කවුරුන් දැයි විමසා සිටියොත් එහි දී ද පිළිතුර Gail Devers හෝ Shelly-Ann Fraser විය යුතු නමුත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලටම පෙර එම දස්කම දැක්වූ ක්‍රීඩිකාවක් සිටිය ද, මලල ක්‍රීඩා විචාරකයන්ට පවා ඇයගේ දස්කම අමතක වී තිබීම පුදුමයට කරුණකි.

“මම ඔබට සහතික වෙනවා, ඔබ ඕනෑම අයෙකුගෙන් මේ ගැන ඇහුවොත් ඒ කවුරුත් මං ගැන කියන්නෙ නෑ කියලා. ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නේ Carl Lewis හෝ Usain Bolt කියලයි. ඒත් හිතන්න මම කරපු දේ ගැන වෙනත් අයෙකු එම වාර්තාව සම කිරීමට වසර 20ක් ගත වුනා, එය බිඳ හෙලන්නට වසර 50කට ආසන්න කාලයක් ගත වුනා” එම වාර්තාවේ මුල් හිමිකාරිය අදහස් දැක්වුවේ එලෙසිනි.

1988 වසරේ දී ඇමරිකානු ක්‍රීඩක Carl Lewis නොකඩවා ඔලිම්පික් උළෙල දෙකක දී මීටර් 100 ඉසව්ව ජය ගත් දෙවැනි පුද්ගලයා වීමට පෙර 1964 සහ 1968 වසරවල දී ඔලිම්පික් මීටර් 100 කාන්තා ඉසව්ව ජය ගනිමින් එම දස්කම පෑ පළමු පුද්ගලයා (ක්‍රීඩක/ ක්‍රීඩිකා ද්විත්වයෙන්ම) වීමට ඇමරිකානු ක්‍රීඩිකා Wyomia Tyus සමත්ව තිබුණි.

1945 වසරේ අගෝස්තු මස 29 වැනිදා ඇමරිකාවේ Georgia ප්‍රාන්තයේ Griffin හිදී සිව්දෙනෙකුගෙන් යුත් ගොවි පවුලක බාලයා මෙන්ම එකම ගැහැනු දරුවා ලෙස උපත ලැබූ Wyomia Tyus කුඩා කල සිටම සිය සොහොයුරන් සමඟින් ක්‍රීඩා කිරීමට හුරුව සිටියා.

එම ප්‍රදේශයේ ජීවත් වූ එකම කළු ජාතික පවුල වූ ඔවුන් සමඟ සුදු ජාතික ගැහැනු ළමුන් ක්‍රීඩා කිරීමට නොපැමිණීම නිසාවෙන් පිරිමි ළමුන් සමඟින් සෑම විටම ක්‍රීඩාවේ නිරත වූ Wyomia Tyus දිනෙන් දින අනෙකුත් ළමුන්ට වඩා දක්ෂතා පෙන්නුම් කරමින් පිරිමි ළමුන් අභිබවා ජයග්‍රහණ වාර්තා කරන්නට ද සමත් විය.

“මට සෑමවිටම අවශ්‍ය වුනේ එයාලව පරද්දවන්න, එසේත් නැත්නම් වේගයෙන්ම බයිසිකලය පදවන්නට හෝ ගසෙහි ඉහළටම නැගිය හැකි තැනත්තා වෙන්න. ඒක මගේ ජීවිතේ කොටසක් විතරයි, මට ඕන වුනේ හොඳම කෙනා වෙන්නයි” සිය ළමාවිය පිළිබඳව Wyomia අදහස් පල කර තිබුණේ එලෙසිනි 

Wyomiaගේ දස්කම් හඳුනා ගත් ඇගේ පියාණන් ඇයව ක්‍රීඩාවට යොමු කිරීමට කටයුතු කළ අතර පියාගේ දිරිගැන්වීමත්, සහජයෙන්ම හිමි වූ දක්ෂතාවයත් නිසාවෙන් Wyomia දිනෙන් දින ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

එනමුත් ඇයගේ ජීවිතයේ අවාසනාවන්ත පරිච්ඡේදයක් ආරම්භ කරමින් වයස අවුරුදු 14 වන විට සිය නිවස ගින්නක් හේතුවෙන් විනාශයට පත් වූ අතර එය සිදු වී වසරක් යාමට මත්තෙන් ඇයගේ පුහුණුකරුවා වූ ඇයගේ පියා ද මෙලොවින් සමුගැනීම ඇයට දරා ගත නොහැකි පාඩුවක් විය.

පියාගේ වියෝවෙන් පසු ඇයගේ ක්‍රීඩා කටයුතු මදකට නැවතී තිබූ නමුත් පසුව ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියක දී ඇය දැක්වූ දස්කම් Ed Templeගේ අවධානයට යොමු වීම නිසාවෙන් ඇයට Tennessee හී මලල ක්‍රීඩා පුහුණු කඳවුරකට එක්වීමට ආරාධනා ලැබුණි.

තවත් විශේෂාංග ලිපි: 

ඒ වන විට වයස අවුරුදු 15 වූ Wyomiaගේ මව හා Temple සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම කඳවුරු වෙත ඇයව යැවීමට Wyomia මව කැමැත්ත පල කළ අතර පියාගේ වෙන්වීම නිසාවෙන් ආර්ථික ගැටලුවලට මුහුණ දුන් ඇයගේ මෙම ගමන සඳහා යන වියදමට අවශ්‍ය මුදල් ඇයගේ පාසලෙන් ලබා දීමට කටයුතු කළේය.

Ed Temple වෙත පුහුණුවීම් සඳහා ගිය ගමන ඇයගේ ක්‍රීඩා දිවියේ නැවුම් පරිච්ඡේදයක් ආරම්භ කරන්න සමත් වූ අතර අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වූ Ed Templeගේ ගුරුහරුමක් යටතේ ඇය දිනෙන් දින මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය පැතිරවීමට සමත් විය.

උස පැනීමේ ක්‍රීඩිකාවක් ලෙස සිය ක්‍රීඩා ගමන ආරම්භ කළ Wyomia සිය පුහුණුකරුවාගේ මගපෙන්වීම යටතේ කෙටි දුර ධාවනයට යොමු වෙමින් දස්කම් දැක්වීමට සමත් වූ අතර Ed Templeගේ මැදිහත් වීම නිසාවෙන් ඇය ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් Tennessee විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ද වරම් හිමි විය.

Tennessee විශ්වවිද්‍යාලයේ ඉගනුම් කටයුතු සිදු කරන අතරතුර දී සිය මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත් වූ ඇය 1964 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ ඇමරිකානු තේරීම් තරගවල දී මීටර් 100 ඉසව්ව තුන්වැන්නා ලෙස අවසන් කරමින් වයස අවුරුදු 18 දී ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් විය.

Wyomia Tyus (දකුණේ සිට දෙවනුව) ඇතුළු ක්‍රීඩිකාවන් සිය පුහුණුකරු වූ Ed Temple (වමේ සිට දෙවනුව) සමඟ

තවමත් සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කර නොතිබූ නිසාවෙන් 1964 ඔලිම්පික් තරගාවලියේ දී Wyomia විසින් පදක්කමක් දිනා ගනු ඇතැයි ඔහුගේ පුහුණුකරු වූ Ed Temple ද නොසිතූ අතර 1968 ඔලිම්පික් උළෙල ඇගේ බවත්, මෙම තරගාවලියේ දී සිය උපරිමය ලබා දී අත්දැකීම් ලබා ගන්නා ලෙස ද ඔහුගෙන් උපදෙස් ලැබුණි.

ඒ දිනවල ඉතා ඉහළ දස්කම් අතර සිටි ඇගේ කණ්ඩායම් සඟයා වූ Edith McGuire මීටර් 100 ඉසව්ව ජය ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසු වූ නමුත් මූලික වටයේ තරගයේ දී ම සියල්ලන් පුදුමයට පත්කරමින් තත්පර 11.2ක කාලයකින් එම ඉසව්ව අවසන් කර එවකට තිබූ ලෝක වාර්තාව සමකිරීමට ද ඇය සමත් විය.

පසුව අර්ධ අවසන් පූර්ව වටයේ ද ඉහළ දස්කම් දක්වමින් ඉතා පහසුවෙන්ම අවසන් තරගයට තේරී පත් වීමට ඇය සමත් වූ අතර ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා රන් පදක්කම සඳහා Wyomia සහ Edith McGuire අතර ඉතා උණුසුම් තරගයක් යනු ඇති බව බොහෝ දෙනා අදහස් පලකරන්නට විය.

අවසන් මහා තරගයට පෙර ඇයගේ පුහුණුකරු වූ Templeගෙන් ද ඇය වෙත උපදෙස් රාශියක් ලැබුණු අතර අවසන් මහා තරගයේ දී ඉතා තියුණු සටනකින් පසු සිය සහෝදර ක්‍රීඩිකාව වූ McGuire තත්පර 0.2ක ඉතාමත් කුඩා කාලයකින් පරාජයට පත්කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඇයට හැකි විය.

Wyomia Tyus 1964 ඔලිම්පික් උළෙල අතරතුර දී

“මම දිගටම හිතුවා මම නේද ඉස්සරහින් ඉන්නේ කියලා, ඒත් මම බැලුවා මගේ සගයා Edith කොහෙද කියලා. මීටර් 80ක් පමණ අවසන් වෙද්දී මම දැනන් හිටියා එයා මාව පසුකරගෙන යනවා කියලා, මට ඇගෙ පාදයේ ශබ්දය ඇහෙන්න ගත්තා, මීටර් 90ක් වෙද්දී ඇය මගේ දකුණු අත පැත්තෙන් ළඟම හිටියා, මම ඒ වෙලේ ප්‍රාර්ථනා කළා දිගටම යන්න අවසාන රේඛාව හම්බවෙනකම් කියලා 

කොහොම හරි ඒක අවසන් වුනා, මම පටිය කඩාගෙන තරගය අවසන් කළත් කවුරුන්ද දිනුවේ කියලා හිතාගන්න බැරි වුනා, මම හිතුවේ එයා තරගය දිනුවා කියලා ඒත් ඇය මාව වැළඳගෙන කිව්වා Tyus ඔයා ඒක දින්නා කියලා” 1964 ඔලිම්පික් තරගය පිළිබඳව ඇය අදහස් දැක්වුවේ එලෙසිනි.

එම ජයග්‍රහණයෙන් පසු ඇමරිකානු මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ද ඇය සමත් වූ අතර සාර්ථක ඔලිම්පික් උළෙලකින් පසුව ඇමරිකාව මලල ක්‍රීඩා පිටියේ මීටර් 100 සහ මීටර් 200 ඉසව්වල අඛණ්ඩවම සිය ආධිපත්‍යයේ රඳවා ගැනීමට ඇය සමත් විය.

එම දස්කම් නිසාවෙන් ඇමරිකාව නියෝජනය කරමින් 1968 ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වීමට ඇය සමත් වූ අතර පසුගිය තරගාවලියේ දී ලබා ගත් මීටර් 100 කිරුළ ආරක්ෂා කරගැනීමේ අදිටනින් ඇය මෙක්සිකෝ නුවරට පැමිණෙන්නට විය.

ඒ වන විට වයස අවුරුදු 23ක් වූ ඇයගේ වයස ඔලිම්පික් මීටර් 100 ඉසව්වක් ජය ගැනීමට ඉතාමත් වැඩි බව මාධ්‍යවේදීන් වරින් වර කියපාන්නට වූ අතර ඇය විසින් මූලික වටයේ තරග ජය ගනිමින් අවසන් වටයට තේරී පත්වීමට සමත් වූවත්, Barbara Ferrrell සහ Irena Szewinska විසින් මූලික වටයේ දී එවකට ලෝක වාර්තාව සමකර තිබීම නිසාවෙන් ඔවුන් වෙත මෙම තරගයේ වැඩි අවධානයක් හිමිව තිබුණි.

එනමුත් තමන් පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ගත් Tyus ආරම්භයේ සිටම අනෙකුත් තරගකරුවන් අභිබවා ඉදිරියට ඇදෙන්නට වූ අතර තරගය තත්පර 11.08ක කාලයකින් ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ජයග්‍රහණය කිරීමට ඇය සමත්වූයේ නොකඩවා ඔලිම්පික් උළෙල ද්විත්වයක දී මීටර් 100 ඉසව්ව ජය ගත් මුල්ම පුද්ගලයා (ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ද්විත්වයෙන්ම) ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

Wyomia Tyus 1968 ඔලිම්පික් උළෙල අතරතුර දී

එම ජයග්‍රහණයෙන් පසු මීටර් 200 ඉසව්වේ ද අවසන් වටයට තේරී පත්වීමට ඇය සමත්වූවත් හයවැන්නා ලෙස තරගය අවසන් කිරීමට ඇයට සිදු වූ නමුත් ඇමරිකානු මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් සිය කණ්ඩායමට ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම හිමිකර දීමට විශාල මෙහෙයක් ඇය ඉටු කරන ලදි.

ඉතිහාසගත වූ තරගාවලියකින් අනතුරුව සිය අවසන් ඔලිම්පික් උළෙල එය බව තීරණය කළ ඇය එයින් පසු වසර කිහිපයක් මලල ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වීමෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර Beverly Hills High School හී මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ද කටයුතු කළ ඇය Women’s Sports Foundation හී ආරම්භක සාමාජිකයෙකු ලෙස ද විය.

මම කවදාවත් කිසිවෙකු ගැන සිතන්නට ගියේ නෑ,

ඔවුන්ට මා ගැන සිතන්නට ඉඩහැරියා – Wyomia Tyus

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<