ගෙවුණු දවස සැප්තැම්බර් 04 – ප්‍රබලයින් දෙදෙනෙක් ආසියානු කුසලානයට නෑ?

196

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්  –  

චන්දි සහ අකිලට වැට උඩ

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සහ මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් යන දෙදෙනා මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුල් තරග කිහිපය ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

සිය පවුලේ පෞද්ගලික හේතුවක් නිසා දිවයිනේ රැඳී සිටීමට තමාට නිවාඩු ලබා දෙන මෙන් අකිල ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ. එම හේතුව නිසාවෙන් අකිල ධනංජය ක්‍රීඩා නොකරන බව පැවසෙන අතර තරගාවලිය අතරතුර දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටී.

සම්පූර්ණ වාර්තාව: අකිලට හා චන්දිමාල්ට පළමු තරග කිහිපය මඟ හැරෙන ලකුණු


සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (4) ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තියුණු තරගය ලකුණු 11කින් ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලය මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අර්ධ අවසන් පූර්ව තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 128කින් පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය මේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ගාල්ල මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 10කින් පරාජය කරමින් ඊයේ පැවැත්වුණු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හමුවේ ගාලු සිහින බොඳ වේ


  දැල්පන්දු  – 

දැල්පන්දු ක්‍රීඩිකාවෝ තෙවැනි තරගයේ දීත් විප්ලවයක් කරයි

11 වන වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ තවත් තීරණාත්මක හා වැදගත් තරගයක් ශ්‍රී ලංකාව හා සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අතර පැවැත්විය. එම තරගයෙන් ලකුණු 74-61ක ජයක් ලබා ගැනීමට තර්ජනී සිවලිංගම් ප්‍රමුඛ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. තරගය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ලකුණු 58-42ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසන් හා තීරණාත්මක කාර්තුව වෙත පියනැගූ ශ්‍රී ලංකාව එම කාර්තුව තුල දී ද තරගාවලිය පුරාවට මෙතෙක් රඳවා ගත් සිය රිද්මය වෙනස් නොකර ක්‍රීඩා කළත් සත්කාරක ක්‍රීඩිකාවන් ද ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන ලදි. නමුත් අවසානයේ ලකුණු 74-61ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

සම්පූර්ණ වාර්තාව: ප්‍රබල සිංගප්පූරුව ශ්‍රී ලංකාව හමුවේ දණ නමයි!

දිනයක නිමාව