මුරලිගේ විජ්ජාවගෙන් අසරණ වූ යුවාරජ්ගේ පිහිටට ආ ජ්‍යෙෂ්ඨයා!

1988

ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම තරග ආකෘතියකට ඉතාමත් පහසුවෙන් අනුගත වෙමින් තමන්ටම ආවේණික වූ ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලෙන පිතිකරුවෙකු ලෙස යුවරාජ් සිං හඳුන්වා දිය හැක්කේ එදා මෙදාතුර ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසගත වෙමිනි.

වේගපන්දු යවන්නන් හට මෙන්ම දඟපන්දු යවන්නන් හට ද එක හා සමාන හිසරදයක් වූ යුවරාජ්ගේ පිත්ත ක්‍රියාත්මක වූ බොහෝ අවස්ථාවල දී ප්‍රතිවාදීන් පන්දු රකින්නන් හට සිදු වූයේ පන්දුව හයේ සීමාව පසු කරන අයුරු බලා අසරණව සිටීමටයි.

තම ක්‍රිකට් දිවිය ආරම්භක අවධියේ දී එවකට සිටි ප්‍රබලතම වේගපන්දු යවන්නන් හට පවා අපහසුවකින් තොරව මුහුණ දීමට තරම් ඉහළ ආත්ම විශ්වාසයක් තමන් සතු වූ නමුත් මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීම කියවා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ ආකාරය පිළිබඳව Sports 18 ක්‍රීඩා නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී යුවරාජ් විස්තර කර සිටියේ මේ අයුරිනි.

කුඩා කාලයේ ඉඳන්ම මගේ තාත්තා මට පුහුණු කළේ වේගවත් තණතීරුවල කොහොමද පන්දුවට පහර දෙන්නේ කියලා. මට තාමත් මතකයි ඔහු තෙත ටෙනිස් බෝලයක් අරගෙන මට පන්දු යවනවා. තාත්තා දැනගෙන හිටියා ක්‍රිකට් වලින් ඉස්සරහට යද්දී වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන්න පිතිකරණ දක්ෂතාවම විතරක් ප්‍රමාණවත් නැහැයි කියලා. පන්දු යවන්නා කවුරු උනත් බය නැතුව පන්දුවට පහර දෙන්න පුළුවන් නම් ඒක තමයි පිතිකරුවෙක්ට තියෙන හොඳම ආයුධය කියන එක මගේ තාත්තා දැඩිව විශ්වාස කළා.”

තාත්තා මට ලබා දුන්න ඒ පන්නරය නිසා මට ලෝකයේ ප්‍රබලතම වේගපන්දු යවන්නන්ට පවා සාර්ථකව මුහුණ දෙන්න තරම් හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැඟුණා. මම නවක ක්‍රීඩකයෙක් විදියට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ වේගපන්දු යවන්නන්ට පාරාදීසයක් වුන තණතිලිවලදී පවා දක්ෂතා අතරට එන්න මට පුළුවන්කම ලැබුණේ ඒ නිසා.”

ඔන්න ඊට පස්සේ තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ පිතිකරුවෙක් විදියට ලැබුණු අසීරුතම අභියෝග කිහිපයෙන් එකකට මුහුණ දෙන්න සිද්ධ වුනේ. දඟපන්දු යවන්නන්ගෙන් එල්ල වෙන අභියෝගය මැඬ පවත්වන්න මටම ආවේණික වුන උපායන් කිහිපයක් ඒ වෙනකොටත් තිබුනත්, මුත්තයියා මුරලිදරන්ගෙන් බේරෙන්න ඒ කිසිම දෙයක් ප්‍රමාණවත් වුනේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අලුතෙන් ඇතුළු වුන කෙනෙක් විදියට මුරලිට එරෙහිව පන්දුවට පහර දෙන්නේ කොහොමද කියන එක ගැනත් මට කිසිම අදහසක් තිබුණේ නැහැ.”

මුරලිගේ විජ්ජාවන් ඉදිරියේ නිරුත්තරව සිටි යුවරාජ් හට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට සචින් තෙන්ඩුල්කාර් සමත් වූයේ ඔහු විසින් මුරලිට එරෙහිව අනුගමනය කළ ස්වීප් පහර ප්‍රගුණ කිරීමේ වැදගත්කම යුවරාජ් හට පහදා දෙමිනි.

මම එක පාරක් සචින් එක්ක සාකච්ඡා කළා කොහොමද මුරලිට එරෙහිව කඩුල්ල රැකගෙන පහර දෙන්නේ කියන එක ගැන. ඔහු මට දීපු එකම උපදෙස තමයි ස්වීප් පහර හරියට ගහන්න ඉගෙන ගන්න කියපු එක. මුලදී ස්වීප් පහර එල්ල කරන්න ගිහින් අඩු ලකුණු සංඛ්‍යාවකට කඩුල්ල පූජා කරන්න සිද්ධ වුනත් පසුකාලීනව මට පුළුවන්කම ලැබුණා ඒ පහරෙන්ම පන්දු යවන්නට ලොකු පීඩනයක් එල්ල කරන්න.”

2019 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට එක්දින තරග 304කට ක්‍රීඩා කරමින් ලකුණු 8701ක් රැස් කරගෙන සිටි යුවාරජ් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සිය වික්‍රමයන් පෑමට සමත් වූයේ කඩුලු 111ක් තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<