හිරු නොබසින අධිරාජ්‍ය දණ ගැස් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ

Sri Lanka Women’s Tour of England 202

1043

විස්සයි විස්ස සහ එක්දින තරගාවලි ද්විත්වයක් සඳහා එංගලන්ත සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් පළමුවෙන් මුහුණ දුන් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඊයේ (27) සමත් වුනා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්තයට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණයයි.

· සංචාරයට එක් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: චමරි අතපත්තු (නායිකාව), ඕෂදී රණසිංහ (උප නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එරට යන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 8 වැනි ස්ථානයේ රැඳී සිටි අතර එංගලන්තය දෙවැනි අසුනේ ගරු ගාම්භීරව අසුන් ගෙන සිටියා.

එමෙන් ම ඒ වෙද්දී දෙරට අතර විස්සයි විස්ස තරග 9ක් පවත්වා තිබූ අතර ඉන් කිසිදු තරගයක් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් ව සිටියේ නැහැ. එංගලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය ද ජයග්‍රහණය කරමින් එම ලැයිස්තුව තවත් වර්ධනය කර ගැනීමට සමත් වුනා.

නමුත් පැවති දෙවැනි තරගයේ දී එංගලන්තයට එරෙහිව ලබා ගත් මංගල විස්සයි විස්ස ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන් නොනැවතී පැවති තෙවැනි සහ අවසන් තරගයෙන් ද ජයග්‍රහණය කරමින් ඉතිහාසයේ පළමු වතාවට එංගලන්තයට එරෙහි ව විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ද වාර්තා කළා.

පළමු තරගය

කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

• එංගලන්තය: කඩුලු 4ක් දැවී 186 (17) Alice Capsey 51, Danni Wyatt 48, කවීෂා දිල්හාරි 1/18

• ශ්‍රී ලංකාව: කඩුලු 3ක් දැවී 55 (6) නිලක්ෂි ද සිල්වා 18, Charlie Dean 1/06

එංගලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයක්.

තරගයේ ක්‍රීඩිකාව – Alice Capsey

දෙවැනි තරගය

කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

• එංගලන්තය: සියලුම දෙනා දැවී 104 (18) Charlie Dean 34, උදේශිකා ප්‍රබෝධනී 2/19, ඉනෝෂි ප්‍රියදර්ශනී 2/16, ඉනෝකා රණවීර 2/25, කවීෂා දිල්හාරි 2/17

• ශ්‍රී ලංකාව: කඩුලු 2ක් දැවී 110 (13.2) චමරි අතපත්තු 55, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 30, විශ්මි ගුණරත්න නොදැවී 18, Danielle Gibson 1/09

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.

තරගයේ ක්‍රීඩිකාව – චමරි අතපත්තු

තෙවැනි තරගය

කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

• එංගලන්තය: සියලුම දෙනා දැවී 116 (19) Maia Bouchier 23, Danielle Gibson 21, උදේශිකා ප්‍රබෝධනී 2/16, චමරි අතපත්තු 3/21, කවීෂා දිල්හාරි 2/16

• ශ්‍රී ලංකාව: කඩුලු 3ක් දැවී 117 (17) චමරි අතපත්තු 44, අනුෂ්කා සංජීවනී 20, හර්ෂිතා සමරවික්‍රම 26, Sarah Glenn 2/23

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.

තරගයේ ක්‍රීඩිකාව – චමරි අතපත්තු

තරගාවලියේ ක්‍රීඩිකාව – චමරි අතපත්තු

තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවෝ

චමරි අතපත්තු

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනූ චමරි අතපත්තු නිමා වූ තරග 3 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 114ක් ලබා ගැනීමට සමත් වන අතර එය දෙපිලේ ම ක්‍රීඩිකාවන් අතරින් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. එමෙන් ම පන්දු යවන්නන් අතරින් ද වැඩිම කඩුලු ලාභීන් අතර සම තැන් ගැනීමට ද ඇය සමත් වුනා.

ඊට අමතර ව තරගාවලියේ දී ඉනිම ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ මෙන් ම පන්දු යවන්නියක ලෙසින් දැක්වූ ඉහළ ම දක්ෂතාව දැක්වීමට ද ඇය සමත් වීම කැපී පෙනුණා.

එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි තරගයේ දී චමරි පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගන්නා ලද අතර එය ඇය විසින් එංගලන්තයට එරෙහි ව වාර්තා කරන ලද මංගල අර්ධ ශතකය ද වුනා.

චමරි අතපත්තු මේ වෙද්දී විස්සයි විස්ස අවසන් ඉනිම් 5 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 196ක් ලබා තිබෙනවා. එහි සාමාන්‍ය 49.00ක් ලෙසින් ඉහළ අගයක පවත්වා ගැනීමට ද ඇය සමත් වෙනවා.

පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දැක්වූ චමරි තරගාවලියේ දක්ෂතා දැක්වූ පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට අමතර ව තරගාවලියේ පන්දු යවන්නියක් පෑ ඉහළ ම දක්ෂතාව දැක්වීමට ද සමත් වුනා.

ඇය තරගාවලියේ තරග 3ක දී පන්දුවාර 11.0ක් යවමින් ලකුණු 57කට කඩුලු 5ක් දවා ගන්නා අතර දෙරට අතර පැවති අවසන් තරගයේ දී ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් තරගාවලියේ පන්දු යවන්නියක් පෑ ඉහළ ම දක්ෂතාව ද දක්වනවා.

හර්ෂිතා සමරවික්‍රම

දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයත්, තරගාවලියේ සිව්වැනි ස්ථානයත් හිමි කර ගන්නේ 25 වැනි වියේ පසුවන වමත් පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම. ඇය තරග 3ක ඉනිම් 2ක දී පිටියට පිවිසෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56ක්.

ජයග්‍රාහී තරග ද්විත්වයේ දී ම ඇය නොදැවී පිටියේ රැඳී සිටිමින් ජයග්‍රහණය සැමරීම විශේෂත්වයක්. තරගාවලියේ දෙවැනි තරගයේ දී ඇය නොදැවී ලකුණු 30ක් ද සහ තෙවැනි තරගයේ දී ඇය නොදැවී ලකුණු 26ක් ද ලබා ගැනීමට සමත් වුනා.

විශ්මි ගුණරත්න

ශ්‍රී ලාංකීය පිතිකරණ ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන් කර ගත්තේ 18 හැවිරිදි වියේ පසුවන විශ්මි ගුණරත්න. ඇය තරග 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43ක්. ඊට නොදැවී ඉනිම් 2ක් ද එක් කර ගන්නා ඇය ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 43.00ක් ලෙසින් පවත්වා ගැනීමට සමත් වෙනවා.

කවීෂා දිල්හාරි

තරගාවලියේ වැඩිම කඩුලු ලාභි ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන 5 ම දිනා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වීම කැපී පෙනුණා. ඒ අතරින් පෙරමුණ ගත්තේ 22 හැවිරිදි වියේ පසුවන දකුණතින් පිට දඟපන්දු යවන කවීෂා දිල්හාරි. ඇය තරග 3 දී පන්දුවාර 9.0ක් යවමින් කඩුලු 5ක් දවා ගන්නවා. ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු සංඛ්‍යාව 51ක්.

එම ලැයිස්තුවේ දෙවැනි අසුන චමරි අතපත්තු වෙන් කර ගනිද්දී, තෙවැනි අසුන වෙනුවෙන් සම දක්ෂතා දැක්වීමට 37 හැවිරිදි වියේ පසුවන වමතින් දඟපන්දු යවන ඉනෝකා රණවීර සහ එම වයසේ ම පසුවන වමතින් මද වේගපන්දු යවන උදේශිකා ප්‍රබෝධනී සමත් වුනා.

ඔවුන් දෙදෙනා ම කඩුලු 4 බැගින් දවා ගනිමින් මෙම අසුන් වෙන් කර ගන්නවා. ඔවුන් එම දක්ෂතා දැක්වීමේ දී ඉනෝකා තරග 3ක දී පන්දුවාර 9ක් යවමින් ද සහ උදේශිකා තරග 3ක දී පන්දුවාර 10ක් යවමින් ද මෙම කඩුලු ප්‍රමාණය අත්-පත් කර ගන්නවා.

එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය 36 හැවිරිදි වියේ පසුවන දකුණතින් පිට දඟපන්දු යවන ඉනෝෂී ප්‍රනාන්දු ප්‍රියදර්ශනී සතු කර ගන්නවා. ඒ තරග දෙකක දී පන්දුවාර 6ක් යවමින් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින්.

සත්කාරක එංගලන්ත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම: Heather Knight (නායිකාව), Maia Bouchier, Bess Heath, Amy Jones, Danni Wyatt, Alice Capsey, Charlie Dean, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Lauren Bell, Kate Cross, Lauren Filer, Issy Wong, Freya Kemp.

දක්ෂතා දැක්වූ එංගලන්ත ක්‍රීඩිකාවෝ

දක්ෂතා දැක්වූ එංගලන්ත ක්‍රීඩිකාවන් අතරින් ඉහළින් ම ලැයිස්තු ගත වෙන්නේ 19 වැනි වියේ පසුවන Alice Capsey. ඇය නිමා වූ තරග 3 දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා. එය තරගාවලියේ දක්ෂතා දැක්වූ පිතිකාරිණියන් අතරින් දෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

ඇයගේ මේ ලකුණු අතරට පළමු තරගයේ දී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 51ක ද ඇතුළත්.

පන්දු යැවීමේ දී ලබා ගත් කඩුලු 2ක් ද ඇය සතුයි.

මේ පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය සතු කර ගැනීමට ද සමත් වූයේ එංගලන්ත ක්‍රීඩිකාවක්. ඒ 24 වැනි වියේ පසුවන Maia Bouchier. ඇය තරග 3 දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57ක්.

එංගලන්ත පන්දු යවන්නියන් අතරින් පෙරමුණ ගත්තේ 24 වැනි වියේ පසුවන පා දඟපන්දු යවන Sarah Glenn. ඇය මෙම තරගාවලියේ දී තරග දෙකක දී පන්දුවාර 7.0ක් යවමින් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගනිමින් එම අසුන වෙන් කර ගත්තා.

ඊට අමතර ව Alice Capsey ද කඩුලු 2ක් දවා ගනිමින් පන්දු යැවීමේ දී ඇය හා සම ව අසුන් ගන්නවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එක්දින ජාත්‍යන්තර තරගාවලියේ කාලසටහන

පළමු තරගය – සැප්තැම්බර් 09 වැනිදා Chester-le-Street හිදී.

දෙවැනි තරගය – සැප්තැම්බර් 12 වැනිදා Northampton හිදී.

තෙවැනි තරගය – සැප්තැම්බර් 14 වැනිදා Leicester හිදී.

විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ජාත්‍යන්තර තරගාවලිය ද ජය ගැනීමට ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<