හැව්ලොක් දිනුම් කණුව වෙත; නාවිකයන් සියදිවි නසාගනියි

1084
Dialog Rugby League 12 week january 28th roundup

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග දෙකක් අද (28) ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනයේදී සහ වැලිසරදී පැවැත්විණි. 31-10ක් ලෙස පළමු තරගයෙන් ජය ගැනීමට CR & FC පිල පරාජය කළ හැව්ලොක් කණ්ඩායමට හැකිවුණු අතර, යුධ හමුදා කණ්ඩායම ඉදිරියේ 31-17ක් වශයෙන් නොසිතූ විරූ අයුරින් පරාජය වීමට නාවික හමුදා කණ්ඩායමට සිදුවිය.

12 වන සතිය: ලීග් ප්‍රමුඛයින්ට අභියෝග කරන්නට CR පිලට හැකිවෙයිද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය 12 වන සතියටත් ක්‍රියාත්මක වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ සටන තවත් තීව්‍ර කරමිනුයි.

CR & FC කණ්ඩායමට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය.

සිය නිජබිම තුළදී ක්‍රීඩා කිරීමේ වාසිය අත්විඳින්නට අසමත් වූ CR & FC ක්‍රීඩකයින් ඉදිරියේ සාර්ථක දෙවන අර්ධයක් දියත් කළ හැව්ලොක් කණ්ඩායම, මීළඟ සතියේදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය වෙත සිය සූදානම කෙසේදැයි මනාව ප්‍රකට කරන ලදී.

දහදිය අධික කාලගුණික තත්වයක් යටතේ තරගය ආරම්භ වීමෙන් අනතුරුව ලකුණු ලබා ගැනීමේ පළමු අවස්ථාව CR කණ්ඩායමේ රීසා මුබාරක් හට හිමිවූවත් ඉන් නිසි ඵල ප්‍රයෝජන ලැබීමට ඔහු අසමත් වූයේ දඬුවම් පහරක් ගෝලයෙන් ඉවතට එල්ලකරමිනි.

CR කණ්ඩායමේ ගයාන් ජයමාන්න හට කහ කාඩ්පතක්ද නිකුත් වීමෙන් පසුව ඔවුන්ට ක්‍රීඩකයන් 14 දෙනෙකු සමඟින් ක්‍රීඩා කිරීමට සිදුවූවත් කවිඳු පෙරේරාගේ ශක්තියෙන් දිනයේ ප්‍රථම උත්සාහක දිනුම CR කණ්ඩායම ඉදිරියෙන් සටහන් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟ CR කණ්ඩායමට ලකුණු 7ක ඉදිරියක් ලැබිණි. (CR 07-00 හැව්ලොක්)

පසුව 18 වැනි සහ 28 වැනි මිනිත්තුවලදී දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා, හැව්ලොක් කණ්ඩායම තරගය වෙත ගෙන ගියේය. (CR 07-06 හැව්ලොක්)

36 වැනි මිනිත්තුවේදී රීසා මුබාරක් එල්ල කළ දඬුවම් පහරක් මඟින් CR කණ්ඩායම යළි ඉදිරියට ගියත් ඔවුන්ගේ අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්නට මිනිත්තු දහයක කාලයක් සඳහා පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ කහ කාඩ්පතක් හිමිවීමෙන් අනතුරුවය.

පසුව ක්‍රියාත්මක වූ සුදර්ශන මුතුතන්ත්‍රී, හැව්ලොක් කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ පළමු අර්ධයේ ඉදිරිය ඔවුන් වෙතට පවරා ගනිමිනි.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 11 – 10 CR & FC ක්‍රීඩා සමාජය

54 වැනි මිනිත්තුවේදී අපහසු දඬුවම් පහරක් ගෝල කණු අතරින් එල්ල කළ දුලාජ් පෙරේරා, හැව්ලොක් කණ්ඩායමට තවත් ලකුණු 3ක් එක්කළේය. මිනිත්තු දහයක් තුළ මීළඟ දඬුවම් පහරත් සාර්ථක කරගන්නට ඔහුට හැකිවිය. (CR 10-17 හැව්ලොක්)

ආදේශක හුකර් ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණි ලිස්ටන් ෆ්ලැට්නි, තරගය CR කණ්ඩායමෙන් තවත් ඈතට ගෙන ගියේ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. දුලාජ්ගේ ප්‍රවර්තනය සාර්ථකයි. (CR 10-24 හැව්ලොක්)

සුදම් සූරියආරච්චිගේ මීළඟ උත්සාහක දිනුමත් සමඟින් CR කණ්ඩායමේ සියළු බලාපොරොත්තු සුන්වී ගියේය.

සම්පූර්ණ කාලය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 31 – 10 CR & FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුලාජ් පෙරේරා.

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

CR & FC: කවිඳු පෙරේරා 1T, රීසා මුබාරක් 1C 1P.

හැව්ලොක්: සුදර්ශන මුතුතන්ත්‍රී 1T, ලිස්ටන් ෆ්ලැට්නි 1T, සුදම් සූරියආරච්චි 1T, දුලාජ් පෙරේරා 2C 4P.


නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය.

සිය නිජබිමෙදී නාවිකයන් ලද ප්‍රථම පරාජය ඔවුන්ට හිමිකර දෙමින් ලකුණු 30-17ක් ලෙස නාවිකයන් අබිභවා ගිය යුධ හමුදා කණ්ඩායම, නාවික හමුදා ක්‍රීඩකයන් මෙවර ශූරතාවය ගැන තබා තිබූ සියළු බලාපොරොත්තු දියකර හරින්නට සමත් විය.

ආරම්භයේ සිටම උද්යෝගීමත් අයුරින් තරගයට පිවිසි යුධ හමුදාව වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේ අශේන් බණ්ඩාරයි. ගයාන් සාලින්ද, අපහසුවකින් තොරවම එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (යුධ හමුදාව 07-00 නාවික හමුදාව)

යුධ හමුදා ප්‍රහාරයෙන් නොසැලුණු නාවික හමුදා කණ්ඩායමේ කෝසල තිසේරා, කෙමෙන් කෙමෙන් පන්දුව ඉදිරියට රැගෙන ගොස් රිචඩ් ධර්මපාල අතට පත්කිරීමෙන් අනතුරුව නාවිකයන්ද ලකුණු පුවරුවේ සිය සලකුණ සටහන් කළේය. තිලිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (යුධ හමුදාව 07-07 නාවික හමුදාව)

පසුව තමාවෙත ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ගයාන් සාලින්ද, යුධ හමුදාවට ලකුණු 3ක් එක්කළේය. (යුධ හමුදාව 10-07 නාවික හමුදාව)

පසුව නාවික හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක දිනේෂ් ද සිල්වාට හරිහැටි පන්දුව සිය සීමාවෙන් එපිටට එල්ල කිරීමට ඉඩ නොදෙමින් ඉදිරියට පැමිණ පන්දුව ඩැහැගත් උපුල් අබේරත්න විසින් යුධ හමුදාව වෙත තවත් ලකුණු 5ක් එක්කරන ලදී. ප්‍රවර්තනය සාර්ථකයි. (යුධ හමුදාව 17-07 නාවික හමුදාව)

දෙපිලේම ෆුල් බැක් ක්‍රීඩකයන් විසින් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගැනීමෙන් අනතුරුව ප්‍රථම අර්ධය නිමාවන විට යුධ හමුදාව, කිසිවෙකු නොසිතූ නොපැතූ ඉදිරියක් ලබා සිටියේය.

ප්‍රථම අර්ධය – යුධ හමුදා ක්‍රීඩා සමාජය  20 – 10 නාවික හමුදා ක්‍රීඩා සමාජය

සුරංග පුෂ්පකුමාරගේ මනරම් පන්දු යොමුවක් සමඟින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කලේ නාවික හමුදාවයි. ප්‍රවර්තනය සාර්ථකයි. (යුධ හමුදාව 20-17 නාවික හමුදාව)

පසුව කහ කාඩ්පත් කිහිපයකින්ම අභියෝගයට ලක්වූවත් උත්සාහයේ ඵල නෙලාගත් යුධ හමුදා ක්‍රීඩකයන් දඬුවම් පහරක් සහ උත්සාහක දිනුමක් වාර්තා කරමින් නාවික හමුදාවට පවා පුදුමය ගෙන දෙන ඉදිරියක් ලබා ගත්තේය. නිසි එල්ලයක් රහිතව යොමුවෙමින් තිබූ පන්දුව ඩැහැගත් මධුශංක චන්ද්‍රසේකර, යුධ හමුදාවේ බලාපොරොත්තු ඉහළ නැංවන ලදී. සාලින්ද, ප්‍රවර්තනයේදී යළිත් සාර්ථකයි. (යුධ හමුදාව 30-17 නාවික හමුදාව)

පසුව පීඩනයට ලක්වීම නිසාදෝ හරිහැටි ආක්‍රමණයෙහි යෙදීමට අසමත් වූ නාවික හමුදා ක්‍රීඩකයින් වැරදි කිහිපයක්ම සිදුකළ අතර තරගය ඔවුන් අතින් ගිලිහුණේ ශූරතා තරගය සඳහා අවස්ථාවද ඔවුන්ට අහිමි කරමිනි.

සම්පූර්ණ කාලය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 30 – 17 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා – අශෝක ජයලාල් (යුධ හමුදාව)

“පළමු වටයේ අපි ඔවුන්ට පරාජය වුණු දා පටන්ම අපි මේ තරඟයට සූදානම් වුණා.අපි මේ ජයග්‍රහණයට ගොඩක් මහන්සි වුණා.අපගේ පුහුණුකරුවන් සහ අභ්‍යාසකයින් මීට ගොඩක් වෙහෙස වුණා.ඉතින් මේ තමයි ඒ කාලයක මහන්සියේ ප්‍රතිඵල.” අශෝක, තරඟයෙන් පසු එසේ අදහස් දැක්වීය.

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

නාවික හමුදාව – කෝසල තිසේරා 1T, සුරංග පුෂ්පකුමාර 1T, තිලිණ වීරසිංහ 2C 2P.

යුධ හමුදාව – අශාන් බණ්ඩාර 1T, උපුල් අබේරත්න 1T, මධුශාන් චන්ද්‍රසේකර 1T, ගයාන් සාලින්ද 3C 3P.