ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනී

New Zealand A tour of Sri Lanka

9
New Zealand A tour of Sri Lanka

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 109ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අද (26) සමත් වෙනවා.

>>කමිල් මිෂාර නවසීලන්ත ඉලක්ක විනාශ කරයි<<

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ සිව් වැනි සහ අවසන් දිනය ආරම්භ වෙද්දී සංචාරක නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 168ක් අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් සතු ව කඩුලු 6ක් ඉතිරි ව තිබුණා. නමුත් අද ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 59ක් පමණයි.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 518ක් ලබා ගත්තා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213ක් පිටුපසින් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ අද තරගය ආරම්භ කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලබා සිටි අතර ඔවුන්ගේ එම ඉනිම ලකුණු 104කට සීමා වෙනවා.

අද තරගය ආරම්භ වී යැවුණ 10 වැනි පන්දුවේ දී නවසීලන්තයේ 5 වැනි කඩුල්ල ද දැවී ගිය අතර ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 49ක් ලෙසයි. අඩු ලකුණුවලට සීමා වූ සංචාරක ඉනිමේ කඩුල්ලක් අතර එක් වූ හොඳම ලකුණු සබඳතාව බවට පත් වුණේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් Max Chu සහ Peter Younghusband එක් ව පන්දු 34ක දී ලබා ගත් ලකුණු 32යි.

එහි දී Peter Younghusband පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නා ලද අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ Max Chu ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව Tim Pringle ද පන්දු 34කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත් අතර ඒ සමඟින් ඔහු තරගයේ දී ලකුණු 145කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහු පළමු පෙළ තරග දිවියේ තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරන ලද සිව් වැනි අවස්ථාවයි.

ඔහුට අමතර ව නවසීලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 27කට කඩුලු 2ක් ද, රමේෂ් මෙන්ඩිස් ලකුණු 33කට කඩුලු 2ක් ද සහ දුලාජ් සමුදිත කඩුල්ලක් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (87.1) Rhys Mariu 22, Curtis Heaphy 59, Matthew Boyle 102, Max Chu 27, Mitchell Hay 20, Simon Keene 20, දිලුම් සුදීර 6/107, රමේෂ් මෙන්ඩිස් 3/103

 

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 518 (127.0) නිශාන් මදුශ්ක 57, ලහිරු උදාර 61, කමිල් මිෂාර 174, නුවනිඳු ප්‍රනාන්දු 55, පසිඳු සූරියබණ්ඩාර 43, සොනාල් දිනූෂ නොදැවී 60, දිලුම් සුදීර 24, Michael Rae 2/35, Simon Keene 2/73, Tim Pringle 2/144, Dale Phillips 3/44

 

නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 45 (13.0) Max Chu 35, මොහොමඩ් ශිරාස් 2/27, රමේෂ් මෙන්ඩිස් 2/33, දිලුම් සුදීර 4/38

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 109ක ජයක්.

  • තරගයේ වීරයා – දිලුම් සුදීර (ශ්‍රී ලංකාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<