ශ්‍රී ලංකා යෞවනයන්ගේ නැමීබියා සටන

ICC U 19 Cricket World Cup 2024

218

15 වැනි වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යෞවනයෝ සහභාගී වන 2 වැනි තරගය අද (24) නැමීබියා කණ්ඩායමට එරෙහිව Kimberley හී Diamond Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ දක්වා පැවැති තරග අතුරින් දෙපිලේ ම ක්‍රීඩකයෝ එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර ඉන් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරමින් ද සහ නැමීබියාව, ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙමින් ද මෙම තරගය හා එක් වීමට නියමිතයි.

මෙතෙක් පවත්වා ඇති යොවුන් ලෝක කුසලාන තරගමාලාවන් තුළ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අවස්ථා 5ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා 4ක දී ශ්‍රී ලංකාව ද සහ අවස්ථාවක දී නැමීබියාව ද ජයග්‍රහණය කර තිබෙනවා.

ඔවුනොවුන් අවසන් වරට හමුව ඇත්තේ 2012 වසරේ දීයි.

නැමීබියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සූදානම

නැමීබියාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ මෙම තරගාවලියට එක්වීම වෙනුවෙන් පැවැති අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුවයි.

මෙවර තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පුහුණු තරග ද්විත්වයේ දී ද ඔවුන්ට පුහුණු තරගයක වාසිය ලබා ගැනීමට හැකි වූයේ නැහැ. තරග ද්විත්වයට ම වර්ෂාවෙන් බාධා කෙරුණ අතර ඒ හේතුව නිසා ම ඔවුන්ට සිදු වූයේ තරග කාලයෙන් වැඩි වේලාවක් ක්‍රීඩාගාරයට වී බලා සිටිමටයි.

පළමු පුහුණු තරගය

  • ඇමෙරිකාව – කඩුලු 7ක් දැවී 268 (50.0)
  • නැමීබියාව – කඩුල්ලක් දැවී 78 (12.5)

වර්ෂාව හේතුවෙන් නතර කෙරුණ තරගයේ, විසඳුමක් නෑ.

දෙවැනි පුහුණු තරගය

  • අයර්ලන්තය – කිසිවෙක් නොදැවී 22 (5.2)

වර්ෂාව හේතුවෙන් නතර කෙරුණ තරගයේ, විසඳුමක් නෑ.

මෙම තරග 2න් අනතුරුව ඔවුන් ඔස්ට්‍රේලියාව සමඟින් තරගාවලියේ තම පළමු තරගයට සහභාගී වූ අතර එම තරගයෙන් කඩුලු 4ක පරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූවා. ඉදිරිපෙළ මෙන් ම පසු පෙළ පිතිකරුවෝ ද තම යුතුකම් ඉටු නොකිරීමෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 91කට සීමා වූවා.

කෙසේ වෙතත් මෙම ලකුණු ප්‍රමාණය හඹා යෑමේ දී ප්‍රතිවාදී කඩුලු 6ක් දවා ගැනීමට නැමීබියා පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා. එහි දී වැඩි සේවයක් සැලසුවේ වේග පන්දු යවන්නෝයි.

9 වැනි තරගය, Group C, Kimberley, ජනවාරි 22, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව

o තරගයේ වීරයා – Callum Vidler (ඔස්ට්‍රේලියාව)

  • නැමීබියා 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 91 (33.1)
  • ඔස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 95 (19.5)

ඔස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්.

පළමු තරගයේ දී අසාර්ථක වූව ද නැමිබීයා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන උප නායක Gerhard Janse van Rensburg සහ Johannes de Villiers කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවන් ලෙසින් වර්ගීකරණය කෙරෙනවා. ඊට අමතර ව නායක Alexander Busing-Volschenk සහ Zacheo van Vuuren මැදි පෙළින් නැංගුරම් ලන පිතිකරුවන් ලෙසිනුයි හැඳින් වෙන්නේ.

ඔවුන් පිතිකරණ බලඇණියේ ශක්තිමතුන් වෙද්දී කණ්ඩායමේ වඩාත් ම ප්‍රවේශම් විය යුතු පන්දු යවන්නා වශයෙන් හැඳින්වෙන්නේ, නැමීබියා ජාතික කණ්ඩායම ද නියෝජනය කරන දකුණතින් වේග පන්දු යවනෙ Jack Brassell. ඔහු නිමා වූ ඔස්ට්‍රේලියා තරගයේ දී යවනු ලැබූ පන්දුවාර 8 ලකුණු 28කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඔහුට අමතර ව Zacheo van Vuuren, Peter-Daniel Blignaut සහ Hanro Badenhorst ද නැමීබියා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන්නෝ ලෙසින් හැඳින්විය හැකියි.

නිමා වූ තරගයේ ප්‍රතිඵලය කෙසේ වෙතත් තරගයේ පැවැත්ම බලගැන්විමට දැක්වූ දායකත්වය අනුව ඔස්ට්‍රේලියාව හා සමඟ පිටියට පිවිසි නැමීබියා කණ්ඩායම ම මෙම තරගයට ද එක් වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන නැමීබියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

Alexander Busing-Volschenk (නායක), Gerhard Janse van Rensburg, Johannes de Villiers, Johannes Visagie (කඩුලු රකින්නා), Zacheo van Vuuren, Ryan Moffett, Jack Brassell, Henry van Wyk, Peter-Daniel Blignaut, Hanro Badenhorst, Junior Kariata.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකා යෞවනයෝ මෙම තරගයට පිවිසෙන්නේ නිමා වූ තරගය පසුවෙන් ජයග්‍රහණය කිරීම හේතුවෙන් වූ වඩාත් විශ්වාසවන්ත කණ්ඩායමක් ලෙසයි.

6 වැනි තරගය, Group C, Kimberley, ජනවාරි 21, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – සිම්බාබ්වේ

o තරගයේ වීරයා – දිනුර කළුපහන

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 204 (48.3)
  • සිම්බාබ්වේ 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 89 (21.1)

ශ්‍රී ලංකාවට ඩක්වර්ත් න්‍යාය මත ලකුණු 39ක ජයක්.

නිමා වූ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරු ලැයිස්තුවේ ඉදිරි පෙළ ත්‍රිත්වය පෑ දුර්වලතා තරගයක දී සිදු නොවිය යුතු වරදක්. පුලිඳු පෙරේරා, විශේන් හැළඹගේ සහ නායක සිනෙත් ජයවර්ධන ගේ අසාර්ථකත්වය මැදි පෙළින් සපුරා ලීමත් සහ උප නායක මල්ෂ තරුපති ඇතුළු පන්දු යවන්නන් පෑ දක්ෂතාත් තරගයේ මෙම තීරණයට හේතු වූවා.

එම තත්ත්වය මෙම තරගයේ දී ද බලාපොරොත්තු වන අතර දුර්වල ඉදිරි පෙළේ පිඹිදීමක් ද ඒ අතර සිදු විය යුතුයි. විශේෂයෙන් ම පෙර තරගයේ දී අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කළ දිනුර කළුපහන සේ ම ලකුණු අතරට පිවිසි ශාරුජන් ශම්මුගනාදන්, රවිශාන් ද සිල්වා සහ රූසඳ ගමගේ නැවත නැවතත් විශ්වසනීය ඉනිම් ගොඩ නගන්නන් විය යුතු අතර පන්දු යවන්නෝ ද පෙර රිද්මයෙන් ම තම යුතුකම් ඉටු කිරීම වගකීමක් කර ගත යුතුයි.

නැමීබියා කණ්ඩායමට එරෙහිව පිටියට කැඳවීමේ දී පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයට ද එක් කරතැයි සිතිය හැකියි.

නැමීබියා කණ්ඩායමට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, විශේන් හැළඹගේ, රවිශාන් ද සිල්වා, රූසඳ ගමගේ, දිනුර කළුපහන, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, විශ්ව ලහිරු, රුවිශාන් ‍පෙරේරා, ගරුක සංකේත්.

15 වැනි වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<