සුපිරි 12 වටයේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනසක්?

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

401

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය තුල අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) සුපිරි 12 වටයේ පළමු තරගය සඳහා මුහුණදීමට සූදානමින් සිටිනවා.

සාජා හිදී පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ දැනට ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි 6 වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශ කණ්ඩායමයි.

පළමු වටය අවසානයේ A කාණ්ඩයේ අපරාජිතව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වුණු නමුත්, ඔවුන් ඕමානය සහ පැපුවා නිව්ගීනියාව පරාජය කරමින් B කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට බංග්ලාදේශයට සිදු වුනා.

තරගාවලියට පෙර ආරම්භයේ දී පැවති පුහුණු තරගවල දී ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය තරග වැදුණු අතර එහි දී ශ්‍රී ලංකාව එම තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනා. එම තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරේ ගොඩනැංවුණු සබඳතාවය ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමට විශාල සවියක් වුනා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 11ක දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 7ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. කෙසේ නමුත් අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග දෙකේ දී ම බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරාජය කළා.

වැඩි අවධානයට

ශ්‍රී ලංකාවේ මුල්පෙළ පිතිකරණ ගැටලුව තවමත් විසඳී නොමැති ගැටලුවක් බවට පත්ව තිබෙනවා. සාජා තණතීරුවේ හැසිරීම සලකා බලන විට පළමු පන්දුවාර හයේ, එනම් powerplay අවස්ථාව තුල ලබා ගන්නා ලකුණු ප්‍රමාණය කාණ්ඩයමට විශාල වාසියක් බවට පත්වෙනවා.

කෙසේ නමුත් නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී කුසල් පෙරේරා යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ඔහුගේ රිද්මයට පැමිණීම සඳහා යම් ආරම්භයක් ලබා ගැනීම ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉතාමත් සුබදායී වනු නිසැකයි.

අනෙක් පසින් මහීෂ් තීක්ෂණගේ ආබාධය නිසා ඔහුට යම් විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන්නේ ඉදිරි තරගවල දී ඔහුගෙන් වැඩි දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි.

බංග්ලාදේශය ද ඔවුන් සහභාගී වුනු පුහුණු තරග දෙකම සහ ස්කොට්ලන්තය හමුවේ පැවති පළමු වටයේ තරගය පරාජය වුනු නමුත් ඉන්පසුව ක්‍රීඩා කළ ඕමාන සහ පැපුවා නිව්ගීනියා තරගවල දී ඔවුන්ගේ රිද්මය යම් මට්ටමකට සොයා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

කණ්ඩායම් සංයුතිය

මහීෂ් තීක්ෂණ අද තරගයේ ක්‍රීඩා නොකරන්නේ නම්, Powerplay අවස්ථාව තුල දී පන්දු යවන්නන් කළමනාකරණය කිරීම සඳහා නායක දසුන් ශානකට යම් විශේෂ සැලස්මක් සකස් කිරීමට සිදු වන අතර එය සිදු කරන්නේ කෙසේද, යන්න අප සියලුම දෙනාම ඉතාමත් නොඉවසිල්ලෙන් බලා සිටින කරුණක්. එසේම මහීෂ් ක්‍රීඩා නොකරන්නේ නම් අකිල දනංජයට කණ්ඩායමේ ස්ථානය හිමිවීමට ද ඉඩක් තිබෙනවා.

ශ්‍රී ලංකා පිතිකරුවන් දෙස බැලීමේ දී නෙදර්ලන්තය සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම ම මේ තරගයේ දී ක්‍රීඩා කිරිමට වැඩි ඉඩක් ඇති නිසා අංක 3 පිතිකරණ ස්ථානය චරිත් අසලංකට ලැබීමට වැඩි ඉඩක් තිබෙනවා.

ධනංජය ද සිල්වා ද එම ස්ථානය වෙනුවෙන් සටන් කරන තවත් ක්‍රීඩකයෙක් වන අතර මහීෂ් නොමැති නිසා තවත් අතිරේක දඟපන්දු යවන්නෙක්ගේ අවශ්‍යතාවය ධනංජයට සපුරාලීමට හොඳ හැකියාවක් තිබෙනවා.

බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායම සමඟ මේ තරගයට පිවිසීමට වැඩි ඉඩක් තිබෙන අතර පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ Soumya Sarkar කණ්ඩායමට ඇතුලත් වීමට ද යම් ඉඩක් තිබෙනවා.

තීරණාත්මක ක්‍රීඩකයින්

දැනට මේ තරගාවලිය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන සිටින මහීෂ් නොමැති වීම නිසා වනිඳු හසරංග, ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර හට පෙර පැවති තරගවලට වඩා යම් වැඩි බරක් ඇදීමට සිදුවෙනවා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරණය වෙනුවෙන් කුසල් පෙරේරා යන සාධකය ඉතාමත් වැදගත් සාධකයක් වන අතර අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ට හොඳ ලකුණු පුවරුවක් වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමට හැකියාවක් තිබෙනවා.

බංග්ලාදේශය දෙසින් බැලූ විට Shakib Al Hasan පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් ඔවුන් සතුව සිටින ප්‍රධානතම තුරුම්පුව වෙනවා. එසේම IPL තරගවල දී ද ඔහු Kolkata Knight Riders නියෝජනය කරමින් සාජා තණතීරුව පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙනු නිසැකයි.

එසේම බංග්ලාදේශ වේගපන්දු යවන්නන්ගේ අංශයෙන් Mustafizur Rahman යන සාධකය ද IPL තරගාවලියේ දී සාජා තණතීරුවේ අත්දැකීම් ලබාගෙන තිබෙන බංග්ලාදේශය වෙනුවෙන් හොඳ රිද්මයක සිටින ක්‍රීඩකයෙක්. ඒ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඔවුන් දෙදෙනා වෙත යම් වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වෙනවා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ අපේක්ෂිත කණ්ඩායම්,

ශ්‍රී ලංකාව: කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අකිල දනංජය, ලහිරු කුමාර

බංග්ලාදේශය: Mohammad Naim, Liton Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Mahmudullah (C), Afif Hossain, Nurul Hasan (wk), Mahedi Hasan,Mohammad Saifuddin, Taskin Ahmed, Mustafizur Rahman

තණතීරුව සහ එහි ස්වභාවය

Sharjah තණතීරුව දඟපන්දු යවන්නන් වෙත වැඩි හිතකර බවක් පෙන්නුම් කළත්, මේ ක්‍රීඩාංගණයේ 4 සීමා අනෙක් ක්‍රීඩාංගණ  හා සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වෙනවා.

ලකුණු 140-160ක ප්‍රමාණයක් මෙවැනි තණතීරුවක් මත හොඳ අභියෝගයක් ලබා දිය හැකි ලකුණු පුවරුවක් වන අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණිය ද මේ වන විට ඉතාමත් හොඳ රිද්මයක සිටිනවා.

මෙය දිවා කාලයේ පැවැත්වෙන තරගයක් නිසාවෙන් පින්න පතිත වීමේ විශාල ගැටලුවක් ඇතිවන්නේ නැහැ, ඒ නිසා කාසියේ වාසියේ වැදගත්කම ද තරගයේ ප්‍රතිඵලය සඳහා විශාල බලපෑමක් නොවෙනු ඇත. නමුත් කාසියේ වාසිය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම පළමුව පන්දු යැවීමට වැඩි ඉඩක් තිබෙනවා.

අද (24) සවස 3.30ට ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<