හිටපු ජ්‍යේෂ්ඨයෙකුගේ කියමනකට Chris Gayle උරණ වෙයි

5432

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු Chris Gayle සහ හිටපු ක්‍රීඩක Curtly Ambrose අතර යම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වනවා. ඒ පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් Curtly Ambrose සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතය පිළිබඳව අදහස් දක්වමින් Curtly Ambrose පසුගිය දා මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා.

එහි දී ඔහු පවසා සිටියේ ප්‍රවේගකාරී පිතිකරු Chris Gayle කොදෙව් කණ්ඩායම තුළ අනිවාර්යයෙන් සිටිය යුතු ක්‍රීඩකයෙක් නොවන බවයි. මේ පිළිබඳව මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණා. Ambroseගේ මෙම ප්‍රකාශය පිළිබඳව Gayle පසුගිය දා සිය අදහස් දක්වා සිටි අතර එහි දී ඔහු Ambrose දැඩි ලෙස විවේචනය කර තිබුණා.

එහි දී Gayle පවසා සිටියේ තමාට Ambrose කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති බවයි. තවද අනාගතයේ දී ඔහු සමඟින් කිසිදු කාර්‍යකට සහභාගී නොවන බව ද Gayle පවසා සිටියා.

මම කතා කරන්නේ Curtly Ambrose ගැන. ඔහුත් එක්ක විතරයි මට ප්‍රශ්නයක් තියෙන්නේ. ඔහු අපේම කෙනෙක්. මම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එද්දී මට ඔහු ගැන ලොකු ගෞරවයක් තිබුණා” St. Kitts හි ගුවන්විදුලි නාලිකාවක The Island Tea නම් උදෑසන වැඩසටහනක් හා එක්වෙමින් Gayle අදහස් දක්වා සිටියා.

මම කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෙක් විදිහට එද්දී මම ඔහු දිහා බලාගෙන තමයි හැදුණේ. ඒත් මම දැන් මගේ හදවතින් කතා කරන්නේ. ඔහු දැන් විශ්‍රාම ගිය කෙනෙක්. මම දන්නේ නැහැ ඔහු Chris Gayle එක්ක තියන ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ වගේ ඍණාත්මක දෙයක් මාධ්‍ය හමුවේ කියන්න හොඳ නැහැ. මම දන්නේ නැහැ ඔහුට අවධානය ඕනේ වෙලාද කියලා. ඒත් ඔහුට දැන් අවධානය ලැබෙනවා. මම ඔහුට අවශ්‍ය අවධානය දැන් දෙනවා.

මම පෞද්ගලිකව කියන්නේ, ඔබට පුළුවන් නම් මේ දේවල් ඔහුට කියන්න. මම Chris Gayle, නැත්නම් Universe Boss නැවතත් කිසිම වෙලාවක Curtly Ambroseට ගරු කරන්නේ නැහැ”, Gayle දැඩි ආවේගයකින් පවසා සිටියා.

2012 සහ 2016 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Chris Gayle එම තරගාවලිවල දී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

තවදුරටත් අදහස් දක්වමින් Chris Gayle පවසා සිටියේ හිටපු ජ්‍යේෂ්ඨ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් මෙලෙස වත්මන් කණ්ඩායම පිළිබඳව ඍණාත්මක ලෙස දකින්නේ නම් තමා කිසිදා ඔවුන්ට ගරු නොකරන බවයි. තමන් ඒ බව ඔවුන්ට පෞද්ගලිකව සෘජුවම පැවසීමට පසුබට නොවන බවත් ඔහු පවසා සිටියා.

මට Curtly Ambrose සමඟ නැවත කිසිම ගනුදෙනුවක් නැහැ. මට ඔහු පිළිබඳව කිසිදු ගෞරවයක් නැහැ. යම් දවසක මට ඔහු මුණගැසුනොත් මම ඒ බව ඔහුට කියනවා. මම ඔහුට කියනවා ඍණාත්මක වෙන්න එපා කියලා. ලෝක කුසලානයට සූදානම් වෙන කණ්ඩායමට උදව් කරන්න ඕනේ. දැන් කණ්ඩායම තෝරාගෙන ඉවරයි. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අපිට සහයෝගය දෙන්න ඕනේ. අපිට ඒක තමයි අවශ්‍ය. අපිට ඍණාත්මක ආකල්ප ඕනේ නැහැ. අනික් කණ්ඩායම්වල හිටපු ක්‍රීඩකයන් ඔවුන්ගේ කණ්ඩායම්වලට සහයෝගය දෙනවා නම් අපේ ජ්‍යේෂ්ඨයන්ට අපිට සහයෝගය දෙන්න බැරි ඇයි?

අපි දැනටමත් ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කරලා තියෙන්නේ. අපි තුන්වැනි වතාවටත් මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. කණ්ඩායම දැන් දන්නවා එළියේ වෙන්නේ මොකක්ද කියලා. මේක කණ්ඩායමට ලොකු බලපෑමක් වේවි. මම කිසිම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කණ්ඩායමට සහයෝගය දෙන්න. ඒක තමයි මේ වෙලාවේ අවශ්‍ය.”

පසුගිය සතියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Curtly Ambrose ලෝක කුසලාන සංචිතය සඳහා Chris Gayle නම් කිරීම පිළිබඳව අදහස් දක්වා සිටියා. එහි දී ඔහු Gayleගේ රිද්මය ගිලිහී යාම පිළිබඳව ද අදහස් දක්වා තිබුණා. මෙම වසරේ දී Chris Gayle තරග 16කට ක්‍රීඩා කරමින් වාර්තා කර තිබුණේ ලකුණු 227ක් පමණයි. එහි සාමාන්‍ය දැක්වුනේ 17.46ක් ලෙසින්. ඔහු එම කාලය තුල වාර්තා කර තිබුණේ එක් අර්ධ ශතකයක් පමණයි.

මට නම් Gayle කියන්නේ හැම ලෝක කුසලානයකටම අනිවාර්යයෙන් ඉන්න ඕනේ ක්‍රීඩකයෙක් නෙමෙයි. පසුගිය මාස 18 තුළ කැපී පෙනෙන දස්කම් දක්වන්න ඔහු අසමත් වුනා. කොදෙව් කණ්ඩායම සඳහා විතරක් නෙමෙයි, අනෙක් ලීග් කණ්ඩායම් සඳහාත් ඔහු ලොකු දායකත්වයක් දැක්වූයේ නැහැ”, Ambrose පවසා තිබුණා.

ESPNcricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<