ජ්‍යෙෂ්ඨයන් ගිය මඟ යෑමට යොවුන් ක්‍රීඩිකාවන් සමත් වේවිද?

249
U18 Girls Basketball Team

2016 වර්ෂය නිමාව දැකීමට මාසයක් පමණ ඉතිරිව තිබියදී, 18න් පහල ආසියානු පැසිපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් කාන්තා පැසිපන්දු කණ්ඩායම නොවැම්බර් 13 වන දා සිට 20 වන දා, මෙම වසරේ තම අවසන් රාජකාරිය ඉටු කිරීමට බලා සිටියි.

පසුගිය ලිපි: ගුවන් සෙබලියෝ ශූරතාවය සමඟ ඉගිලෙයි

කණ්ඩායම් තේරීමේ කටයුතු ජූලි මස මුල් භාගයේදී ආරම්භ කෙරුනු අතර ඉන් 50 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කරන ලදී. මුල් අදියරේදී තෝරා ගත් ඉහල දස්කම් ඇති තරඟකාරියන් 50 දෙනෙකුට තම මව්බිම නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා දුනි.

2016 පැසිපන්දු ශූරතාවලිය ජයග්‍රහණය කළ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, ඉහල පෙලේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු මෙවර ජාතික කණ්ඩායමට තේරී පත්වුණු අතර කණ්ඩායම මෙහෙයවීමේ කර්තව්‍යද හිමිවූයේ ඉන් එක් ක්‍රීඩිකාවකටයි.

ThePapare.com පැසිපන්දු ශූරතාවලියේදී හොඳම ආක්‍රමණකාරී ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් නිර්මා සසන්ති මෙවර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නීය. ඇය මෑතකදී මැලේසියාවේදී අවසන් වූ 18න් පහල 3*3 තරඟාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකාවක් වූවාය. එම තරඟාවලියම නියෝජනය කළ ෂෙරින් ප්‍රීනා ද, තරුෂි විජේමාන්න ද නිර්මා සමඟ එක්වන්නට නියමිතය.

ThePapare.com පැසිපන්දු ශූරතාවලියේදී ‘නැවත ලැබෙන පන්දු ග්‍රහණය කරගනිමින් ලකුණු රැස්කිරීමේ දක්ෂතාවයන්’ මැනවින් පෙන්නුම් කළ උපනායිකා මන්තිලා ගල්අස්සගේ සමඟින් දිලුමි ගුණවර්ධන ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙයි. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ThePapare.com පැසිපන්දු ශූරතාවලියේදී තෙවන ස්ථානය ලබාගන්නට සමත්විය.

ThePapare.com ශූරතාවලියේදී දෙවැනි ස්ථානය ලබා ගත් නුගේගොඩ සාන්ත ජෝශප් කණ්ඩායම නියෝජනය කළ ටානියා පෙරේරා, නිහාරි පෙරේරා සහ චලනි පෙරේරා ද ශ්‍රී ලංකා වරම් දිනා ඇත.

ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය, ThePapare.com පැසිපන්දු ශූරතාවලියේදී සිව්වන ස්ථානය දක්වා ඔසවා තැබීම වෙනුවෙන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් නිපුනි නවෝද්‍යා ද, තිලක්ෂි නවෝද්‍යා ද කණ්ඩායමට එක්කොට ඇත.

පැසිපන්දු වංශකතාවට ජාත්‍යන්තර පාසල් නියෝජනය එක්කරමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් ලුබ්නා මෝසෙත් ද, කොළඹ ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් ලියා හම්සා ද කණ්ඩායමේ අවසන් පහළොස්දෙනා අතර ඉඩකඩ හිමිකරගෙන ඇත. මෑතකදී පැවැත්වුණු අන්තර් ජාත්‍යන්තර පාඨශාලා පැසිපන්දු තරඟාවලියේදී වත්තල ලයිසියම් පාසලට ශූරතාවයත් කොළඹ ජාත්‍යන්තර පාසලට තෙවන ස්ථානයත් හිමිවිය.

කණ්ඩායම් නාමාවලියේ සෙසු ස්ථානයන් හිමිකරගෙන ඇත්තේ සාන්ත ලෝරන්ස් බාලිකාවේ මල්ෂා වර්ණකුල හා ආවේ මරියා කන්‍යාරාමයේ චෙත්මා ප්‍රනාන්දු ය. ThePapare.com පැසිපන්දු ශූරතාවලියේ මුලික වටයේදී ඔවුන්ගේ කණ්ඩායම් තරඟාවලියෙන් ඉවතට විසි විය. විශාඛා විද්‍යාලයේ රේසුරී විජේසුරිය තම උසෙහි වාසියත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් සේවයක් ඉටු කරනු ඇත.

ජාතික තේරීම් කමිටුව සම හා සාධාරණ මෙහෙයක් ඉටුකර ඇති බව උසිනුත්, වේගයෙනුත්, දක්ෂතාවයෙනුත්, එමෙන්ම මෙරටින් පිටතදී ලද ජාත්‍යන්තර අත්දැකීම් වලිනුත් සමබර ක්‍රීඩිකාවන්ගෙන් සුසැදි කණ්ඩායම දෙස බැලීමේදී ගම්‍ය වන කරුණකි.

කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පැසිපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ සුසිල් උඩුකුඹුර මහතා කණ්ඩායමේ ප්‍රධාන උපදේශක වශයෙන් ද, ඔහුගේ සහය පුහුණුකරු තනතුරට බුද්ධික කුමුදප්පෙරුම ද පත්කොට තිබුණත්, සුසිල් උඩුකුඹුරට පැසිපන්දු ක්‍රීඩාව අධ්‍යනය සඳහා විදේශ ශිෂ්‍යත්වයක් ලැබීම හේතුවෙන් ඒ තනතුරෙන් ඉවත්වීමට සිදුවිය.

පසුව කණ්ඩායම පුහුණුකිරීමේ කටයුත්ත රාජකීය විද්‍යාලීය පුහුණුකරු ප්‍රසන්න ජයසිංහට පවරනු ලැබීය.

ThePapare.com වෙත සිය අදහස් දක්වමින් ප්‍රසන්න ජයසිංහ පැවසුවේ “මේ තරඟාවලියේ කාණ්ඩ දෙකක් තිබෙන අතර ශ්‍රී ලංකාව එහි දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කරන්නේ. ඉතින් අපේ ඉලක්කය තමයි මෙවර දෙවන කාණ්ඩයේ හොඳම කණ්ඩායම වෙමින් ලබන වසරේදී පළමු කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාගැනීම.” බවයි.

මෙය විදෙස් තරඟාවලියක් බැවින් විවිධ දේශගුණික තත්ව යටතේ ක්‍රීඩා කිරීම පිළිබඳව ඔහු පැවසුවේ “ඔව්, අපට වායු සමනය කළ ගෘහස්ත ක්‍රීඩාංගනවලදී ක්‍රීඩා කිරීම සැබැවින්ම අභියෝගයක්. ඒත් අපි එවන් තත්වයන්ට හොඳින් සුදානම් වුණා. ඒ නිසා අපි හැම අතින්ම සුදානම්.” යනුවෙනි.

නොවැම්බර් 8 වැනිදා දිවයිනෙන් පිටත් වන යොවුන් කාන්තා කණ්ඩායම තරඟාවලියට පෙර සුහද තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ වසරේ මුලදී පැවැත්වුණු දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියේදී ශූරියන් ලෙස අභිෂේක ලබන්නට ශ්‍රී ලංකා කාන්තා ජාතික පැසිපන්දු කණ්ඩායමට හැකි විය. ඒ පියවර ඔස්සේ ගමන්කිරීමට මේ යෞවනියන්ට හැකිවේද? මව්බිමට කීර්තියක් ගෙන එන්නට ThePapare.com අපි ඔවුනට සුභ ප්‍රාර්ථනා කරන්නෙමු.