අවිශ්ක සහ ශෙවෝන්ගෙන් ශතක සබඳතාවක්

SLC Major Clubs 3-Day Tournament 2023

599

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ SSC කණ්ඩායම සහ Police කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය පළමු දිනයට නතර කරන විට SSC කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 250ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු වූවා.

SSC කණ්ඩායම – නිපුන් ධනංජය (නායක) ශෙවෝන් ඩැනියෙල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, මනෝජ් සරත්චන්ද්‍ර (කඩුලු රකින්නා), දසුන් ශානක, ලක්ෂිත මනසිංහ, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත.

Police කණ්ඩායම – අශේන් බණ්ඩාර (නායක) Gitansh Khera (කඩුලු රකින්නා), ධනුජ ඉඳුවර, කුසල් පෙරේරා, හේෂාන් ධනුෂ්ක, ප්‍රියමාල් පෙරේරා, දනාල් හේමානන්ද, චතුරංග කුමාර, චාරුක ප්‍රමෝද්, නලින් ප්‍රියදර්ශන, මාලින්ද පුෂ්පකුමාර.

සිවු දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගය අද (08) කොළඹ 7, NCC පිටියේ දී ආරම්භ වූවා.

ක්‍රීඩා පිටියේ තැන තැන පැවැති අයහපත් වාතාවරණය මත තරගය ආරම්භ වීම උදෑසන 10.45 දක්වා ප්‍රමාද වූවා. ඊට පැය භාගයකට පමණ පෙර තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ ඉදිරියේ ඉහළ ගිය කාසියේ වාසිය දිනා ගැනීමට  Police කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර සමත් වූ අතර ඔහු විසින් ප්‍රතිවාදී නායක නිපුන් ධනංජයට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි කර දුන්නා.

ඒ අනුව SSC ඉනිම ආරම්භ කළේ ශෙවෝන් ඩැනියෙල් සහ අවිශ්ක ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 159කට මුහුණ දෙමින් ලකුණු 111ක සබඳතාවක් එක් කළා.

දිවා විවේකය සඳහා පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී ශෙවෝන් ඩැනියෙල් ලකුණු 56කට දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 88කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 7ක් එක් කර තිබුණා.

නවක පිතිකරු වූයේ නායක නිපුන් ධනංජයයි. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට SSC ලකුණු පුවරුව ලකුණු 111 ම රැදී තිබුණ අතර ඒ වෙද්දී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

දිවා විවේකයෙන් අනතුරුව සහ තේ පානය අතර කාර්තුවේ දී Police පන්දු යවන්නෝ ක්‍රියාත්මක වෙමින් තවත් කඩුලු 2ක් දවා ගත්තා. එහෙත් ඒ වෙද්දී SSC ඉනිම තවත් ලකුණු 125කින් පෝෂණය වෙමින් ලකුණු 236ක් දක්වා ඉහළ දමාගෙන තිබුණා.

එම කාර්තුවේ දී දැවී ගිය පිතිකරුවන් අතුරින් වඩාත් කැපී පෙණෙන ඉනිමක නිරත වූයේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 107ක් ලබා සිටියා. මෙම ශතකය අවිශ්ක ප්‍රනාන්දුගේ මෙවර තරගාවලියේ ප්‍රථම ශතකයයි.

ඊට අමතර ව Police පන්දු යවන්නන්ට ගොදුරු වූ අනෙක් පිතිකරු වූයේ නිපුන් ධනංජයයි. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 113ක දී ලකුණු 88ක සබඳතාවක් එක් කළා.

අවිශ්ක ප්‍රනාන්දුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමඟ එකතු වෙමින් නිපුන් ධනංජය තෙවැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කළා.

තේ විවේකයෙන් අනතුරුව තරගයේ ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ පන්දුවාර 5ක් පමණයි. සවස 4.30ට පමණ ඇද වැටුණ වර්ෂාවත් අයහපත් අඳුරත් හේතුවෙන් තරගය පළමු දිනයට නතර කිරීමට පිටියේ විනිසුරුවන් වූ චාමර ද සොයිසා සහ රවින්ද්‍ර කොට්ටහච්චි යන මහත්වරුන් කටයුතු කළා.

ඒ වෙද්දී පිටියේ නොදැවී රැදී සිටි කුසල් මෙන්ඩිස් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 7ක් ද ලබා සිටියා.

කඩුලු බිඳ දැමීමේ දී මාලින්ද පුෂ්පකුමාර, චාරුක ප්‍රමෝද් සහ නලින් ප්‍රියදර්ශන කඩුල්ල බැගින් බෙදා ගත්තා.

අවසන් මහා තරගය, NCC, දෙසැම්බර් 08 – 11, 2023, SLC Major League Tournament

o ක්‍රීඩාංගණය – NCC, කොළඹ

o කාසියේ වාසිය – Police

SSC – පළමු ඉනිම පන්දුවාර 63.0ක දී කඩුලු 3ක් දැවී 250 (ශෙවෝන් ඩැනියෙල් 56, අවිශ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් නොදැවී 29, චාරුක ප්‍රමෝද් 1/53

තරගය හෙට (09) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව වන ThePapare.com මඟින් සජීවි ව විකාශය කිරීමට නියමිතයි. ඒ අනු ව Dialog TV නාලිකා අංක 119,  Dialog ViU app සහ ThePapare.com Web මඟින් ද නැරඹිය හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<