SLvWI test review

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැරිබියන් දූපත්වල සංචාරයක් ලැබෙන්නේ 2008 වසර පසුවයි. ඒ කියන්නේ හරියටම ගණන් බැලුවොත් වසර 10කට පස්සේ. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එරට සංචාරයකට එක් වෙලා තිබුණේ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන්. එදත් තරගාවලිය සමවෙලා තිබුණා. ඒ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 121කින් ජයග්‍රහණය කරමින් සහ දෙවැනි ටෙස්ට් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 6කින් ජයග්‍රහණය කරමින්. කොදෙව් කණ්ඩායම මෙහෙය වූයේ ක්‍රිස් ගේල්.

මෙවර තරගාවලියේ දී ඒ විසඳුම් පැති මාරු කරගෙන සිදු වෙනවා. පළමු ටෙස්ට් තරගයේ දී කොදෙව්වෝ ජය ලබන්නේ ලකුණු 226කින්. දෙවැනි ටෙස්ට් තරගය විසඳුමකින් තොරව නිමා වුනත්, තෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය ලබන්නේ කඩුලු 6කින්.

කුසල්ගේ ධෛර්යයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

දිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලේ දී පෑ දක්ෂතා හේතුවෙන්

කොහොම හරි මෙවර තරගාවලිය දෙරට අතර පැවැත්වෙන 8 වැනි තරගාවලිය වුනා. මීට පෙර පැවති තරගාවලි 7 අතරින් ශ්‍රී ලංකාව තරගාවලි 3ක් දිනා තිබුණ අතර කොදෙව්වෝ තරගාවලි 2ක් ජයග්‍රහණය කර තිබුණා. ඉතිරි තරගාවලි 2 ජය පරාජයෙන් තොරව නිමා වෙලයි තිබුණේ. මේ නිසා දෙපිළම උත්සාහ කරන්නට ඇත්තේ තරගාවලියට උපරිම ජවය දාල ජයග්‍රහණයෙන් කෙළවර කරන්න. නමුත් මෙවර තරගාවලියත් 1-1ක් සේ සම වෙමින් නිමා වුනා.

තරගාවලිය නිමා වෙන්නේ ශ්‍රී ලංකාව කොදෙව්වන් සමඟ ටෙස්ට් තරග 20කට සහභාගී වෙමින්, ඉන් තරග 9ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙමින්. පරාජිත ගණයට වැටෙන්නේ තරග 4ක්. ඉතිරි තරග 7 ජය පරාජයෙන් තොරව නිමා වෙනවා.

මෙවර තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල් සේ ම කැරිබියන් නායක ජේසන් හෝල්ඩර් කණ්ඩායම් දෙකේ ආගන්තුක නායකයන් වුනා. ඔවුන් නායකයන් ලෙසින් එකිනෙකා හමුවුණේ පළමු වතාවට. ඒ වගේම ගොඩක් ක්‍රීඩකයෝ හිටියෙත් ඒ තත්ත්වයේ. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කොදෙව්වන්ට එරෙහිව නව නායකයෙක්  වගේම නවක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් ද භෞතීස්ම කරන්න අපිට හැකි වුනා.

නායකයා වුණේ සුරංග ලක්මාල්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ කිරුළ දැරූ 16 වැනියා වුනා. දකුණු පළාතේ අගිස්සට වෙන්නට පිහිටි දෙබරවැව ජාතික පාසලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ලක්මාල් ක්‍රිකට් පිටියේ අළු දූලි ගසා නැගිටින්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඒ ආපු ගමන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේත් අභිශේක ලැබුවා. මේ තරම් දුරකින් පැමිණි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙක් වූ පළමු අවස්ථාව මෙය වෙන්නට ඇති.

හතුරුසිංහ කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස් හෙළි කරයි

සුරංග ලක්මාල්ගේ නායකත්වයත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන්

කොහොම වුනත් ලක්මාල්ගේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ලක් එකක් වුනා. එම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරා රැගෙන යන්න ලක්මාල් සමත් වුනා. පළමු ඉනිමේ දී ලකුණු 50ක් පිටුපස සිටිමින් තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. ඒක වැදගත්. ඒ වගේම තමන් ඇතුළු වේගපන්දු යවන්නන්ට වැඩි බරක් දෙමින් එකී ප්‍රතිඵලය ගන්නත් ලක්මාල් සමත් වෙනවා. විශේෂයෙන්ම දෙවැනි ඉනිමේ දී ප්‍රතිවාදීන් අඩු ලකුණු ප්‍රමාණයකින් මෙල්ල කිරීමට හැකි වීම වැදගත්.

ඒ වගේම තමයි කුසල් පෙරේරාගේ නොසිඳුණ ආත්ම විශ්වාසය සමඟින් මුසු වූ ඉනිම. එවැනි ඉනිමක් අපි මීට පෙර දැක තිබුණේ නැහැ. තරගය දෙපැත්තටම දෝලනය වෙද්දී පෙරේරාගේ ඒ කැපවීම, සුරංග ලක්මාල් මෙරට මංගල ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ පළමු වේගපන්දු යවන්නන්ගේ නායකයා බවට පත් කරන්නටත් සමත් වුනා. මංගල ටෙස්ට් නායකත්ව තරගය ජය ගෙන තිබුණේ රංගන හේරත්.  

ටෙස්ට් වරම් හිමි වූ ක්‍රීඩකයන් දෙදෙනා වුනේ මහේල උඩවත්ත සහ කසුන් රාජිත. 31 හැවිරිදි මහේල උඩවත්ත ආදි ආනන්දීය ක්‍රීඩකයෙක්. වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙක් වූ උඩවත්ත ටෙස්ට් පිටියට කැඳවෙන්නේ පළමු පෙළ තරග 150ක දී ද්විත්ව ශතකයක් සහ ශතක 10ක් සමඟින් ලකුණු 8000 සීමාව පසු කර සිටි අවදියකයි. කොහොම නමුත් උඩවත්තට මේ තරගාවලියේ දී වැඩි යමක් කරන්නට බැරි වුනා. එහෙත් ඔහු අනාගතයට කදිම ආයෝජනයක් බැව් පෙන්නුවා. ඒක සුබ ගමනක්.  

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ නිපැයුමක් වන 25 වියැති කසුන් රාජිත කණ්ඩායමට එක් වෙන්නේ දකුණතින් මඳ වේගපන්දු යවන්නෙක් ලෙසයි. ඒ වෙද්දී පළමු පෙළ තරග 27ක දී කඩුලු 104ක් ඔහුගේ ගිණුමේ තැන්පත්ව තිබුණා. වේගපන්දු යැවූ ක්‍රීඩක ලහිරු ගමගේ ගේ අඩුව අඩුවක් නැතිව ඉටු කිරීමට කසුන් සමත් වුනා පමණක් නොවේ විචාරකයන්ගේ ඇගයීමටත් ලක් වුනා.

කොහොම වුනත් තරගාවලියේ දී අපේ පන්දු යවන්නන් සුවිශේෂී මෙහෙයක් දැක්වූවා. විශේෂයෙන්ම වේගපන්දු යවන්නන්. ඔවුන් ප්‍රතිවාදී වේගපන්දු යැවීමේ බලඇණියට නොදෙවෙනිව එම තණතිලි මත කදිමට ප්‍රයෝජනයට ගත්තා. තරගාවලිය පුරා පන්දු යවන්නන්ට හිමි වූ කඩුලු 48න් කඩුලු 40ක්ම දවා ගත්තේ වේගපන්දු යවන්නන්. ඒව බෙදී ගියේ ලහිරු කුමාරට 17ක්, සුරංග ලක්මාල්ට 12ක් සහ කසුන් රාජිතට 11ක් ලෙසයි. දඟපන්දු යවන්නන්ට හිමි වූයේ කඩුලු 8ක් පමණයි. රංගන හේරත් (03) දිල්රුවන් පෙරේරා (03) සහ අකිල ධනංජය (02) ලෙසින්.

කණ්ඩායම් දෙක වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් ලෙසින් ඉදිරියෙන් සිටියේ 26 වියැති දකුණත් කොදෙව් පිතිකරු ෂේන් ඩොව්රිච්. ඔහු තරග 3ක ඉනිම් 6ක් ක්‍රීඩා කරමින් ලකුණු 288ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එකී ස්ථානය දිනා ගනු ලැබුවේ කුසල් මෙන්ඩිස්. ඔහු තරග 3ක දී ඉනිම් 6කට ක්‍රීඩා කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 285ක්. තරගාවලියේ ශතක තුනක් වූ වාර්තා වුනා. ඉන් ශතක දෙකක ම හිමිකාරිත්වය අපේ කණ්ඩායම සතු වුනා. ඒ කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ලබා ගත් ශතක.

අභියාචනාව විසි වේ; චන්දිමාල්ට තෙවැනි තරගයට දොර වැසේ

දිනේෂ් චන්දිමාල් විසින් යොමු කළ අභියාචනාව පරාජය වීම නිසා ඔහු හට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (23)

කොහොම වුනත් තරග 3ක දී ලකුණු එකතුව 100 පසු කිරීමට සමත් වුණේ අපේ ක්‍රීඩකයන් තිදෙනෙක්ට පමණයි. ඒ කුසල් මෙන්ඩිස් (285), දිනේෂ් චන්දිමාල් (229) සහ නිරෝෂන් දික්වැල්ල (176) පමණයි. අනෙක් වැඩිම ලකුණුලාභියා වුණේ කුසල් ජනිත් පෙරේරා (92) යි. කණ්ඩායමට පිතිකරුවන් ලෙසින් නම් කළ රොෂේන් සිල්වා, ධනංජය ද සිල්වා සහ මහේල උඩවත්තගෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා. නමුත් ඔවුන්ට ඒ දේ කරගන්න බැරි වුනා.

ඔවුන් අසාර්ථක වූවත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන්ගේ ගොඩට ඇතුලත් වූ දිල්රුවන් පෙරේරා යම් ප්‍රමාණයකින් ලකුණු අතරට පිවිසීම වැදගත්. ඔහු තරග දෙකක දී ලකුණු 57ක් ලබා ගන්නවා. ඒ අතරට අවසාන තරගයේ අවසාන ඉනිම විශිෂ්ට බැව් නොකියාම බැහැ. එම තරගයේ අවසන් දිනයේ දී කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් කොදෙව්වන් අවසන් කඩුලු 5 දී මැජික් පෙන්වන්නට වූ සූදානම කඩාකප්පල් කළේ දිල්රුවන් පෙරේරා. පන්දුවෙන් පන්දුව කුසල් පෙරේරා හික්මවා ගනිමින් ගිය ඒ ගමන අති විශිෂ්ටයි. එවන් ඉනිම් ක්‍රීඩා කරන තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම අපේ කණ්ඩායමට අවැසියි.  

පන්දුවට පහර දීමේ දී සේ ම කඩුලු ලබා ගැනීමේ දී ද පෙරමුණ ගෙන තිබුණේ කොදෙව් ක්‍රීඩකයෙක්. ඒ ෂැනොන් ගේබ්‍රියෙල්. ඔහු තරගයේ දී ලකුණු 299කට කඩුලු 20ක් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්ෂතාව කරන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් ලොවට අවතීර්ණ වූ 21 වියැති දකුණතින් මඳ වේගපන්දු යවන ලහිරු කුමාර යි. ඔහු කඩුලු 17ක් ලබා ගන්නවා. මෙම කඩුලු ප්‍රමාණය වේගපන්දු යවන්නෙක් විසින් තරගාවලියක දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසින් අභිශේක ලැබීමට සමත් වෙනවා. ඊට ප්‍රථම මෙම වාර්තාවට හිමිකම් කීවේ චමින්ද වාස්. ඒ 1995 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලබා ගත් කඩුලු 16 යි.

තරගාවලිය ආරම්භ වෙන්නේම ආරම්භක නිත්‍ය පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගාවලියට එක් නොවෙන ප්‍රවෘත්තියෙන්. ඒත් එක්කම පළමු ටෙස්ට් තරගය අවසානයේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ගේ සේවය ශ්‍රී  ලංකා කණ්ඩායමට අහිමි වෙනවා. ඒ ඇන්ජලෝ පෞද්ගලික හේතුවක් මතත්, ලහිරු ඇඟිල්ලේ සිදු වූ අස්ථි බිඳී යෑමක් හේතුවෙනුත් මෙරටට පැමිණීම නිසයි. ඒ වෙනුවට දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක කැරිබියන් දූපත් කරා පිය මනිනවා.

ඒ සියලු දේ සමඟින් නිමා වූ තරගාවලියේ දී මෙරට ක්‍රිකට් වංශ කතාවට එක් නොවිය යුතු සිදු වීම් ද වුනා. මේ සිදුවීම් අතුරින් මහත් ආන්දෝලනයක් වුනේ චන්දිමාල්ට එරෙහිව නැගුණ පන්දුව පළුදු කිරීමේ චෝදනාව. ඒ වගේම චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට එල්ල වූ ක්‍රීඩාවේ ජීව ගුණය සිඳලීමේ තැත පිළිබඳව චෝදනාව. මේ ගැන ThePapare.com හී තවත් තැන්වල සටහන් වෙනවා. ඒ පිළිබඳව නැවත නැවතත් සටහන් කිරීමෙන් වැළකී, ඒ දේවල් සිදු වෙනවට වඩා එම ගැටුම් අවම කර ගැනීමේ තැනකට ගියා නම් තමයි හොඳ කියල සටහන් කරන්න කැමතියි.

ඒ වගේ ම තමයි යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට වූ දේ. විනය විරෝධීව හැසිරීමේ චෝදනාව මත ඔහුට තරගාවලිය අතර වාරයේ දී මෙරටට පිවිසීමට සිදු වෙනවා. එවැනි දේ නොවීමට ක්‍රීඩකයන් සේ ම නිලධාරීන් ද මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු වෙනවා. නැවතත් සටහන් කිරීමට වෙන්නේ යම් ගැටුමක් හෝ අනවශ්‍ය සිදුවීමක් වීමට ප්‍රථම එය වළක්වා ගැනීමට කටයුතු කිරීමයි සුදුසු ම දේ බවයි.

මේ සිදුවීම් සමඟින් තරගාවලිය නිමා වෙන්නේ මෙතෙක් කොදෙව් දේශයේ දී ශ්‍රී ලාංකිකයන් පරාජය කිරීමේ කොදෙව් සිහිනය නැවත වතාවක් පරාජය කරමින්. එය අප ලැබූ ජයග්‍රහණයක්. කොහොමටත් කොදෙව් සංචාරයට සහභාගී වෙද්දීත් අපේ කණ්ඩායම ගැන පැහැදිලි චිත්‍රයක්, ක්‍රිකට් විචාරකයන්ගේ මෙන්ම අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළත් තිබුණේ නැහැ කියල හිතෙනවා. එසේ වූවත් ඔවුන් උපරිමයෙන් තම යුතුකම් ඉටු කළා. ඒ ගැන ස්තුතියි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<