ශ්‍රී ලංකාවට අභියෝගයක් කිවියෝ

Sri Lanka Tour of New Zealand 2023

196

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 9 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට වඩාත් වැදගත් වන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවසන් අවස්ථාව වන බැවිනුයි.

ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය

දැනටමත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ එක් අසුනක් ප්‍රසාද ලකුණු 68.52ක් ලබා ගෙන සිටින ඕස්ට්‍රේලියාව වෙන්කර ගෙන සිටින අතර අනෙක් අසුනට සුදුසුකම් ලබා ගැනීමේ සටනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹ සිටිනවා.

ඕස්ට්‍රේලියාව සමඟින්  තරග වදින ඉන්දියාව තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දැනටමත් 2-1ක් ලෙස ජය ලබා සිටින අතර දෙරට අතර පැවැත්වෙන අවසන් සහ තීරණාත්මක ටෙස්ට් තරගය මේ මස 09 වැනිදා Ahmedabad හිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කරන්නේ නම් අවසන් තරගයේ තම අසුන ලෙහෙසියෙන් ම තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. ඒ ඉන්දියාව දැනටමත් ප්‍රසාද ලකුණු 60.29ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු වෙන බැවිනුයි.

ප්‍රසාද ලකුණු 53.33ක් ලබා සිටින ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව තහවුරු කර ගැනීමට සිදු වන්නේ නවසීලන්තය සමඟ තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් ම පමණයි. නවසීලන්තයේ මෑත කාලීන දක්ෂතා අනුව එය එතරම් ම පහසු කටයුත්තක් ලෙසින් සැලකිය නොහැකියි.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් ලෙසින් අපේ කණ්ඩායමට එම කඩඉමට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ලැබේවා යැයි ThePapare.com පවුලේ ප්‍රාර්ථනාවයි!

එම තීරණයේ සිටිමින් නවසීලන්ත තරග සංචාරය සහ එහි දී අපට හමුවෙන ප්‍රබල ප්‍රතිවාදීන් කිහිප දෙනෙක් පිළිබඳව ThePapare.com හී අවධානය යොමු වුනා.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග ඉතිහාසය

මේ දක්වා ශ්‍රී ලංකාව, නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 36කට සහභාගී වී ඇති අතර ඉන් තරග 9ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා. විසඳුමකින් තොරව අවසන් වූ තරග 11ක් වන අතර සෙසු තරග 16 ජයග්‍රහණ නවසීලන්තය සතු වෙනවා.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියකට එක් වෙන්නේ පසුගිය වසරේ ජුලි මාසයේ දී පාකිස්තානය සමඟ මෙරට දී පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි. නමුත් නවසීලන්තය ටෙස්ට් තරගාවලියකට එක් වෙන්නේ  මේ වසරේ පෙබරවාරි 28 වැනිදා අවසන් කරන ලද එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට පසුවයි.

එමෙන් ම ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයේ සංචාරයකට එක් ව ඇත්තේ 2018 වසරේ දෙසැම්බරයේ දී. එහි දී දිනේෂ් චන්දිමාල් සහ Kane Williamson දෙරට වෙනුවෙන් නායකත්වයේ කටයුතු කරන අතර තරගාවලිය 1-0ක් ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කරනවා.

නැවත වතාවක් 2019 වසරේ මෙරට දී දෙරටේ ක්‍රීඩකයන් එකිනෙකා හමුවෙන අතර ඊට වසර 4කට පසුව ඇරඹෙන තරගාවලියයි මේ. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ නායකත්වයේ දිමුත් කරුණාරත්න කටයුතු කරන අතර ඔහු නායකත්වයේ කබාය පලඳින 25 වැනි අවස්ථාවයි මේ. නවසීලන්ත නායක Tim Southee නායකයෙක් ලෙසින් පිටියට පිවිසෙන 5 වැනි අවස්ථාවයි මේ.

නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය: Tim Southee (capt), Tom Blundell (wk), Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner, Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව නම් කරන ලද නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට මෙතෙක් නම් කර ඇත්තේ ක්‍රීඩකයන් 13 දෙනෙක් පමණක් වීම විශේෂත්වයක්. ඒ අතරින්  අපට එරෙහි ව පිටියට පිවිසෙන ප්‍රබල ප්‍රතිවාදීන් කිහිප දෙනෙකි මේ.

Tim Southee

34 හැවිරිදි දකුණතින් මඳ වේගපන්දු යවන Tim Southee නවසීලන්ත කණ්ඩායම මෙහෙය වීමේ වගකීමෙන් බැඳී සිටින්නේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා ද වෙමින්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 92කට සහභාගී වෙමින් කඩුලු 359ක් ලබා සිටිනවා.

එය නවසීලන්ත තරග ඉතිහාසයේ වර්තමාන පන්දු යවන්නන් අතරින් ඉහළින් ම දැක්වෙන දක්ෂතාවයි. මෙම ලැයිස්තුවේ ඔහුගේ දක්ෂතාවට පෙර අසුන් හිමි ව ඇත්තේ දෙදෙනෙක්ට පමණයි. ඒ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි (කඩුලු 431) සහ ඩැනියෙල් විටෝරි (කඩුලු 361) වෙතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව Southeeගේ දක්ෂතා අතර මෙතෙක් තරග 10ක ඉනිම් 19ක දී පන්දු යවමින් ලබා ගත් කඩුලු 53ක් ද ඇතුළත්. එය ඔහු එක් රටකට එරෙහිව පෑ ඉහළ ම දක්ෂතා අතර දෙවැනි ස්ථානයට ලැයිස්තු ගත වෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි ව ඔහුගේ හොඳම දක්ෂතාව බවට පත් වන්නේ 2018 වසරේ දී Wellington හිදී ලකුණු 68කට ලබා ගත් කඩුලු 6යි. එය ඔහුගේ පෞද්ගලික දක්ෂතා අතර 5 වැන්නේ රැඳී තිබෙනවා.

පිතිකරුවෙක් ලෙසින් Southee මේ දක්වා ඉනිම 132ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1950ක්.

Kane Williamson

නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා සිටින Kane Williamson මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හමුවෙන දරුණුත ම ප්‍රහාරකයා ලෙසින් හැඳින්විය හැකියි.

ඔහු මේ දක්වා තරග 92කට මුහුණ දෙමින් ඉනිම් 161ක දී ලකුණු 7787ක් ලබා සිටිනවා. ඊට ශතක 26ක් සහ අර්ධ ශතක 33ක් ඇතුළත්.

32 හැවිරිදි වියේ පසුවෙන් Williamsonගේ ලකුණු ලැයිස්තුවේ ද්විත්ව ශතක 5ක් ද ඇතුළත්. මේ අතරට 2015 ජනවාරියේ දී Wellington හිදී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 242ක් ද ඇතුළත්. එය ඔහුගේ තරග දිවියේ දෙවැනියට ගැනෙන දක්ෂතාවයි.

Williamsonගේ දක්ෂතා අතර ශ්‍රී ලංකාවට එරෙහිව මේ දක්වා තරග 10ක ඉනිම් 18කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු 992ක් ද තිබෙනවා. එහි සාමාන්‍ය 66.13ක් වන අතර ඊට ද්විත්ව ශතකයක්, ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් ඇතුළත්.

ඒ සියල්ලට ම වඩා ඔහුගේ දක්ෂතා අතර වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම් 10 දක්ෂතාවයි. ඔහු එහි දී පාකිස්තානයට එරෙහිව ද්විත්ව ශතක ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වෙමින් මේ දක්ෂතා අතරට පිවිසීමට සමත් වෙනවා.

ඇතැම් අවස්ථාවල දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන Williamson මේ දක්වා ටෙස්ට් කඩුලු 30කට ද හිමිකම් කියනවා.

Tom Latham

නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයා ලෙසින් 30 හැවිරිදි වමත් පිතිකරු Tom Latham හැඳින්විය හැකියි. ඔහු මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 8ක ඉනිම් 14කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 927ක්. එය ඔහුගේ තරග ලැයිස්තුවේ එක් රටකට එරෙහිව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වන අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77.25ක ඉහළ අගයක් ගන්නවා.

ඔහුගේ තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද සැලකෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ දී Wellington හී පන්දු 489ක් වැය කරමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින්  නොදැවී ලබා ගත් ලකුණු 264යි.

ටෙස්ට් තරග 72ක ඉනිම් 127කට මුහුණ දී සිටින Tom Latham  මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 5038ක්. ශතක 13ක් සහ අර්ධ ශතක 26ක් ඒ අතර තිබෙනවා.

අවසන් ටෙස්ට් තරග 5 ඉනිම් 10 තුල ඔහු රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින්  ලකුණු 491ක්. එහි සාමාන්‍ය 54.55ක්.

Tom Blundell

තවමත් ටෙස්ට් තරග 24කට පමණක් ක්‍රීඩා කර ඇති 32 හැවිරිදි වියේ පසුවෙන Tom Blundell නවසීලන්ත ඉනිම ශක්තිමත් කරන විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායම තුළ ප්‍රචලිතයි.

තමන් මුහුණ දුන් අවසන් ටෙස්ට් තරග 5ක ඉනිම් 9ක දී Blundell ලබා ගත් ලකුණු සංඛ්‍යාව 582ක්. ඊට තමන්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ද ඇතුළත් ව ශතකයක් සහ අර්ධ 5ක් වාර්තා කිරීමට සමත් වෙනවා. එම ඉනිම්වල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72.75ක්.

Matt Henry

දකුණතින් වේගපන්දු යවන 31 හැවිරිදි Matt Henry නවසීලන්ත පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන ප්‍රධානියෙක් ලෙස විශ්වාස කෙරේ. ඔහු තමන් ක්‍රීඩා කළ අවසන් තරග 5 දී කඩුලු 24ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට තම ටෙස්ට් තරග දිවියේ දී දක්වනු ලැබූ හොඳම දක්ෂතාව එක් කිරීමට ද ඔහු සමත් වෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 23කට දවා ගත් කඩුලු 7ක් ද සමඟින් .

Neil Wagner

36 හැවිරිදි වමතින් වේගපන්දු යවන Neil Wagner නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ මෙතෙක් ටෙස්ට් තරග 62ක දී කඩුලු 258ක් ලබා ගනිමින්. ඔහු තමන් දායකත්වය ලබා දුන් අවසන් ටෙස්ට් තරග 5 දී කඩුලු 20ක් දවා ගනිමින් තමන් ද අංක එකේ පන්දු යවන්නෙක් බවට ඔප්පු කර තිබෙනවා.

තරගාවලියේ දී මේ දේවල් ද සිදු විය හැකියි.

  • ශ්‍රී ලංකාව – මෙතෙක් ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 98ක් ජයග්‍රහණය කර ඇති අතර මෙම ටෙස්ට් තරග 2 ජයග්‍රහණය කරන්නේ නම් එය ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය බවට පත් වේ.
  • ඇන්ජලෝ මැතිව්ස් – ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වීමට අවශ්‍ය ව ඇත්තේ තවත් ලකුණු 21ක් පමණයි. එමෙන් ම ටෙස්ට් ලකුණු 7000 සමාජයට එක්වීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 47ක් පමණයි.
  • දිනේෂ් චන්දිමාල් – ටෙස්ට් ලකුණු 5000 සමාජයට එක් වීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 64ක් පමණයි.
  • රමේෂ් මෙන්ඩිස් – ටෙස්ට් කඩුලු 50 සමාජයට එක් වීමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • Kane Williamson – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1000 වාර්තා කිරීමට ඇත්තේ තවත් ලකුණු 8ක් පමණයි.
  • Tom Latham – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1000ක් වාර්තා කිරීමට ඇත්තේ තවත් ලකුණු 73ක් පමණයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – මාර්තු මස 9 සිට 13 දක්වා Christchurch හිදී.
  • දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු මස 17 සිට 21 දක්වා Wellington හිදී.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ උණුසුම් පුවත් හා එක් වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<