මෙහෙම ගියොත් කොහොමත් අවුල්

997
sri lanka v England

ජයග්‍රහණයේ පිපාසයෙන් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයේ දෙවැනි ඉනිමේදී පිබිදීමක්‌ ලැබීය. නමුත් ප්‍රතිඵලය පරාජයක්‌ ලෙස සටහන්වීමෙන් කණ්‌ඩායම මෙන්ම මෙරට ක්‍රිකට්‌ රසිකයන්ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ ජයග්‍රහණයක්‌ වෙනුවෙන් තවදුරටත් කල් මරති.

කණ්‌ඩායමක්‌ පරදින්නේ සාමුහික දක්‍ෂතාවයන් මොටවී ගිය විටය. දිනේෂ් චන්දිමාල් දෙවැනි ඉනිමේදී ශතකයක්‌ ලබා ගන්නා විට ඇන්ජලෝ මැතිව්ස්‌, කෞෂාල් සිල්වා සහ රංගන හේරත් අර්ධ ශතක වාර්තා කරමින් සාමුහික සටනක්‌ ලබාදුන්නේය. නමුත් එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 101 කට දැවී ගියේද මෙම පිතිකරු බල ඇණියම වේ.

පසුගිය ලිපි: එංගලන්තය නොසිතූ මාවතකින් තරඟය ජය ගනියි

පළමු ටෙස්‌ට්‌ තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු අනූ ගණනකට දැවී ගිය අතර දෙවැනි තරගයේ ලකුණු 116 කට දැවී ගියේය. එතැන් සිට ශ්‍රී ලංකා පිලේ නීරස ක්‍රීඩා විලාශය ඔප් නංවා ගැනීමට උත්සහ කළ යුතුව තිබුණද පෙර වැරදි මතින්ම දෙවැනි ටෙස්‌ට්‌ තරගයත් අනාගත්තේය. නමුත් උඩපන්දු අතහැරීම සහ පිතිකරුවන් අන්දමන්ද වීම දෙවැනි පරාජයේ ප්‍රධාන කරුණු බවට පත්විය. ඒ අවසරයෙන් එංගලන්තය 2011 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජය ගත්තේය.

එක්‌ ක්‍රීඩකයෙක්‌ දෙසීයක්‌ ගැහුවත් කණ්‌ඩායම පරාද නම් ඔහුගේ ශතකයේ පන්නරය ඇත්තේ ඔහුට පමණි. නමුත් කණ්‌ඩායමක දක්‍ෂතාව ඔසවා තබන්නට පුහුණුකරුවන් අපමණ වෙහෙසක්‌ සහ සැලැස්‌මක්‌ ඇතිකර ගත යුතුව ඇති කාලයක සැවොම නින්දෙන් ඇහුරානාක්‌ මෙන් සිටන සෙයකි. ට්‍රේවර් බෙලිස්‌ ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර බාරගෙන සිටියදී එංගලන්තයේ ආරාධනයෙන් එරට සහය පුහුණුකරුවා බවට පත්විය. දැන් ඔහු ප්‍රධාන පුහුණුකරුවා වී තිබේ. එබැවින් ඔහුගේ සැලැස්‌ම අපේ ක්‍රීඩකයන් හොඳින් දනිති. නමුත් තරග සැලැස්‌මට සරිලන ලෙස පිටියේදී ක්‍රීඩා නොකිරීමේ වදර නිසාම ශ්‍රී ලංකා කණ්‌ඩායම පරාජයට පත්විය.

ලබන වසරේ එංගලන්තයේදීම පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වන්නේ ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින කණ්‌ඩායම් අටයි. එම අට සඳහා ශ්‍රී ලංකාව අනු නවයෙන් රිංගා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව්වන්ටද එම ස්‌ථානය අහිමි විය. පළමු ලෝක ශූරතා දෙකම දිනා ගත් කොදව්වන්ට එම ස්‌ථානය අහිමි වුයේ පළමු වතාවටය. ඒ ඔවුන්ගේ රටේ ක්‍රිකට්‌ කොල්ලන් සහ පාලක මණ්‌ඩලය අතර ඇතිවන බහින් බස්‌වීම් සහ හිත් අමනාපකම් නිසා කණ්‌ඩායම ජාත්‍යන්තර ශ්‍රේණියේ පහලට ඇද වැටීම හේතුවෙනි.

පසුගිය ලිපි: එංගලන්තයට එදිරිව තවත් තුරුම්පුවක් ගිලිහේ

නමුත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතනය අතර ගැටලු නැත. තිබුණද ඒවා සාකච්ඡා කර විසද ගැනීමට හැකි ඒවාය. දැන් අපේ කණ්‌ඩායම පසුබසින විට අයි.පී.එල්. වලට ඉල්ලුමද නැත. කැරිබියන් වලටද ඉල්ලුමක්‌ නැත. ඒ තරමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල පසුගිය මාස කිහිපය තුළ පල්ලම් බැස තිබේ.

එංගලන්තයට ගොස්‌ සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තිදෙනකුම සංචිතයට මේ වන විට නැතිව තිබේ. දෙදෙනකු ආබාධ හේතුවෙන් කණ්‌ඩායමට අහිමි විය. ධම්මික ප්‍රසාද් කාලයක සිට ආබාධවලට ලක්‌වීම සාමාන්‍ය දෙයකි. “ටෙස්‌ට්‌ තරගයක්‌ ගැහුවාම ඇගට හරි අමාරුයි.” යනුවෙන් ප්‍රසාද් පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත් ටෙස්‌ට්‌ තරගයක්‌ අතරතුරදී පැවසීය.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම – පිවිසෙන්න ක්‍රිකට් පිටුවට

ඒ අනුව කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවද පවත්වා ගැනීමේ වැඩපිළිවෙල මොට වී තිබේ. ඉදිරියේදී පිටියට යවන ක්‍රීඩකයන්ගේ කායික සහ මානසික සුවය පිළිබඳවද තදින් කටයුතු කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.

පකිස්‌තාන් ක්‍රිකට්‌ කණ්‌ඩායම පසුගියදා යුද හමුදා පුහුණුවක නිරත විය. ඒ ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව අංක එකට සලකන බවට පකිස්‌තාන් ක්‍රිකට්‌ තේරීම් කමිටුව ප්‍රකාශ කිරීම හේතුවෙනි. ඒ අනූව ඉදිරියේදී ෆිට්‌ නැතිනම් දොට්‌ට යන න්‍යායද ජයග්‍රහණයට වැදගත් සාධකයක්‌ වනු ඇත. කෙසේ වෙතත් වැරදි නිවැරදි කර ගැනීමට ශ්‍රී ලංකාවට තවත් කාලයක්‌ අවශ්‍යද යන්න අපි නොදනිමු.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න