Russell නවසීලන්තයට යන්නේ නැතුව LPL ආවේ ඇයි?

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

1899

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවේගකාරී පිතිකරු Andre Russell මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන විදෙස් ක්‍රීඩකයෙකි. කෙසේවෙතත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන අතරතුර නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී වීම බොහෝදෙනාගේ අවධානයට යොමුව තිබිනි. 

නවසීලන්තය තරගාවලිය සඳහා Russell සහභාගී නොවීමත් සමඟින් ඔහු පිළිබඳව පළවූ වාර්තා පිළිබඳව Russell පසුගියදා අදහස් දක්වා තිබිනි. ඒ SportsMax සමඟින් එක්වූ සාකච්ඡාවක දීය. එහිදී ඔහු පවසා සිටියේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඔහුගේ ප්‍රමුඛතාවය වන බවයි.

තමන් නවසීලන්තය තරගාවලිය පිළිබඳව දැනගත් වහාම එයට සහභාගී වීමට හැකි බව කොදෙව් තේරීම් කමිටු ප්‍රධානියා වන Roger Harper වෙත දැනුම් දුන් බවත්, ඒ වන විට සංචිතය තෝරා අවසන් හෙයින් තමන් කණ්ඩායමට එක්කර ගත නොහැකි බව ඔහු පැවසූ බවත් Russell පවසා තිබේ.

කෙසේවෙතත් Russell නවසීලන්තය තරගාවලිය පසෙකලා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට ගත් තීරණය තමන් පුදුමයට පත්කළ බව කොදෙව් පුහුණුකරු Phil Simmons පවසා තිබීම මෙම සිදුවීම කතාබහට ලක්වීමට හේතුවිය.

“හැමදාමත් මගේ ප්‍රමුඛතාවය වුනේ කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කිරීම. සමහර වෙලාවට ගොඩක් අය උත්සාහ කරන්නේ හැමවෙලේම ක්‍රීඩකයන් විනිශ්චය කරන්න. ඒක ලේසියි. නමුත් ක්‍රීඩකයන්ගේ ඇතුළත තියෙන දේවල් කිසිම කෙනෙක් දන්නේ නැහැ.” 

පසුගිය ඔක්තෝබර් මාසයේ දී Russell ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Kinght Riders කණ්ඩායම සඳහා ක්‍රීඩා කරමින් සිටිය දී Roger Harper තමන් සමඟින් සාකච්ඡා කළ බව Russell පවසා සිටියේය. එහිදී ක්‍රිකට් තරග සඳහා වන ජෛව ආරක්‍ෂිත වටපිටාවන් තුළ කටයුතු කිරීමෙන්, තමන් සහ කොදෙව් කණ්ඩායමේ නායක Kieron Pollard හෙම්බත් වී සිටි බවද Russell පවසා තිබේ.

“තේරීම් කමිටුවේ ප්‍රධානියා මට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර කතා කළා. ඊට කලින් මම Pollard එක්ක මේ ගැන කතා කරලා තිබුනේ. ඒ වෙලාවේ ඔහු මගෙන් ඇහුවා මම නවසීලන්තයට යන්න එනවා ද කියලා. ඒ වෙලාවේ මම ඔහුට කිව්වා Pollard, මට එන්න ඕනේ. ඒත් මගේ ඔළුව නිදහස් නැහැ. මේ තරගාවලියෙත් මට සාර්ථක වෙන්න බැරි වුනා. ලකුණු ලබා ගත්තෙත් නැහැ කියලා.” 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

“තවත් ක්‍රීඩකයෙක් විදිහට ඔහු මගේ තත්ත්වය තේරුම් ගත්තා. මම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරලා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ආවේ. මම මාස ගාණක් ඉඳන් පුහුණුවීම් වලට යනවා ආයෙත් හෝටලයට එනවා. වෙන කොහෙවත් යන්න හැකියාවක් නැහැ. මට ඒක එපා වෙලා තිබුනේ.”  

“පස්සේ Harper මට කතා කරපු වෙලාවේ මම ඔහුට මගේ තත්ත්වය කිව්වා. මම මගේ තාක්ෂණය වෙනස් කළා, මගේ stance එක වෙනස් කළා, මගේ ක්‍රීඩා රටාව වෙනස් කළා. ඒත් මට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු ගන්න බැරි වුනා. මම ලොකු පීඩනයකින් හිටියේ. මට ඕනේ වුනේ ඒ ඔක්කොම අමතක කරලා ආයෙත් මගේ සුපුරුදු රිද්මයට එන්න.”

“මම ඔහුට කිව්වා මේ පීඩනය එක්ක මට නවසීලන්තයට යන්න බැහැ කියලා. මට විවේකයක් ඕනේ වෙලා තිබුනේ.”  

කෙසේවෙතත් නවසීලන්තය තුළ පවතින ලිහිල් තත්ත්වය පිළිබඳව පසුව Andre Russell දැනගෙන තිබූ අතර නැවත තරගාවලිය සඳහා සහභාගී වීමට හැකි දැයි Harper ගෙන් විමසා තිබිනි. එහිදී සංචිතය තෝරා අවසන් බව Harper විසින් දන්වා තිබේ.

“මම ආයෙත් Harperට කතා කළා. මම ඔහුට කිව්වා මට කොදෙව් කණ්ඩායමට එන්න ඕනේ කියලා. මම හිතුවා මගේ පීඩනය අඩු කරගන්න පුළුවන් කියලා. ඒ වෙද්දී කණ්ඩායම තෝරාගෙන ඉවරයි කියලා ඔහු මට කිව්වා.”  

ජෛව ආරක්ෂක වටපිටාවක් තුළ සිටීම සිරගෙයක සිටිනවා වැනි බව Russell තවදුරටත් පවසා තිබේ.

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉවර වුනාට පස්සේ මම එළියට ගියා. ඩුබායි වලට ගියා. විනෝදයෙන් ඉන්න පුළුවන් වුනා. ඒකෙන් පස්සේ මට හිතුනා මම ආයෙත් ක්‍රීඩා කරන්න සූදානම් කියලා.”  

ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වීමට Russellට ආරාධනා කර තිබිනි. නමුත් ඒ වන විට Russell එය ප්‍රතික්ෂේප කර තිබිනි. පසුව මැතිව්ස් විසින් නැවතත් Russell හට ආරාධනා කර තිබූ අතර ඔහු එය පිළිගෙන තිබිනි.

“මම ඩුබායි ඉද්දී මට ආරාධනාවක් ලැබුනා. ඒ වෙලාවේ මම ආබාධයකට ලක්වෙලා හිටියේ. මම ඒ වෙලාවේ කිව්වා මට එන්න බැහැ කියලා. පස්සේ මැතිව්ස් මට ආයෙත් කතා කරලා පිතිකරුවෙක් විදිහට හරි තරගාවලියට එන්න කියලා කිව්වා. ඒ වෙලාවේ මම තීරණය කළා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එන්න.”  

“මට වයස 32ක් දැන්. මට පසුගිය අවුරුදු කිහිපයේ දීම ආබාධ ගොඩක් ආවා. මට ඕනේ 100%ක්ම කණ්ඩායමට දෙන්න. ආබාධ එක්ක මට ඒක දෙන්න බැරි නම් ක්‍රීඩකයෙක් විදිහට මම අසාර්ථකයි. කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන එක මගේ ප්‍රමුඛම දේ කියලා මම හිතනවා. ඒ නිසා මට ඕනේ, මට 100%ක් කණ්ඩායමට දෙන්න පුළුවන් වෙලාවේ කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන්න.”  

ESPNcricinfo ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<