පිට පිට වසර දෙකක දී Dialog 4G සම්මාන දිනූ බුද්ධිල

762

Dialog 4G school boy cricketer of the year සම්මාන උළෙලේ 2017 සහ 2018 වසර ද්විත්වයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබුවේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ වමතින් පා දඟපන්දු යැවූ හරීන් බුද්ධිල වීරසිංහ ය. මේ වන විට 22 වැනි වියේ පසුවෙන බුද්ධිල ගැන ThePapare.com තබන සටහනකි මේ. 

හරීන් බුද්ධිල ක්‍රිකට් ආරම්භ කරන්නේ තමන් නොදන්නා කාලයේ සිට. ඒකට හේතු වෙන්නේ බුද්ධිලගේ පියා, පරාක්‍රම වීරසිංහ මහතා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ක්‍රිකට් විනිසුරුවරයෙක් මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවෙක් ද වූ නිසා බුද්ධිලගේ කුඩා කාලය ආරම්භ වෙන්නේම ක්‍රිකට් ක්‍රීඩාවෙන්. 

“මම දන්න කාලයේ සිටම තාත්තගෙ එකම ආසාව වුනේ මාව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිරීම. ඒ වෙනුවෙන් තාත්තා විශාල කැපවීමක් කළා. අද වෙන විට තාත්තගෙ ඒ කැපවීමට මට කෘතගුණ දැක්වීමට හැකි වුනා කියලා මම විශ්වාස කරනවා. මටත් වඩා මම අද ඉන්න තැන ගැන සතුටු වෙන්නේ තාත්තා. ඒ ගැන මට ඇත්තේ අහිංසක සතුටක්” බුද්ධිල ThePapare.com සමඟ කතා බහට එක්වෙමින් පැවසුවා. 

බුද්ධිලගේ පළමු පාසල අම්බලන්ගොඩ, මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය. පාසල කිට්ටුවම පදිංචිය නිසා බුද්ධිල කුඩා කාලයේ සිටම වැඩි කාලයක් ගත කළේ පාසල් ක්‍රීඩා පිටියේ. ඊට තවත් හේතුවක් වුනේ පියා, පරාක්‍රම ද වැඩි කාලයක් ක්‍රීඩා පිටියේම ගත කිරීම. පියාට ක්‍රිකට් හැරෙන්න වෙනත් කිසිම දේක උවමනාවක් තිබුණේ නැහැ. 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ පරාක්‍රම 1985 වසරේ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායකත්වය ද උසුලනවා. අම්බලන්ගොඩ සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය තුනකට සහභාගී වෙන ඔහු පළමුවෙන් සහභාගී වූ 1983 වසරේ දක්ෂතම පිතිකරු ලෙසින් ද සම්මාන දිනූ ක්‍රීඩකයෙක්. 

ඊට අමතරව 1985 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයේ අවසන් 25 දෙනා අතර ද ඔහුගේ නම තිබුණා. එමෙන්ම අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයෙක් ලෙසින් ද පරාක්‍රම තම දක්ෂතාවන් ලබා දුන්නා. 

මේ තාත්තගේත් පුතාගේත් ක්‍රිකට් ඇම්ම නිසා බුද්ධිලට හැකි වෙනවා දෙවැනි පන්තියේ සිටිද්දීම වයස අවුරුදු 13න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කරන්න. “මේ මොන විකාරයක් ද?” බොහෝ දෙනෙක් බුද්ධිල පිටියට පිවිසෙද්දී කතා වුනා. ඊට හේතු වූයේ බුද්ධිල ඉතා කුඩා ශරීරයකින් හෙබි වීම නිසා, පා ආවරණවලින් ඔහුගේ ඉණ ද ආවරණය වී තිබූ බැවින්. ඒ වගේම පන්දු යැවීමේ දී ද බොහෝ දෙනෙක් ඒ ආකාරයෙන්ම බුද්ධිල දෙස බලන්න වුනා. නමුත් ක්‍රියාවේ දී බුද්ධිල ඔවුන්ව විශ්මයට පත් කළා. 

“පුතා යන්තම් දණ ගාගෙන නැගිට්ටෙත් බැට් එක අල්ලගෙන. මොකද පුතාගෙ සෙල්ලම් බඩු අතර තිබුණෙ ක්‍රිකට් උපකරණ විතරයි. බෝල, බැට් ඒ අතර විශේෂයි. දකින දකින පැතිවල තිබුණෙත් ක්‍රිකට් බඩුම තමයි. අපි ගෙදර වැඩි හරියක් කතා වුනෙත් ක්‍රිකට් ගැන. මේ පරිසරය මම හිතාමතාම හදාපු එකක්. මොකද මට ගොඩක් දුරට ක්‍රිකට් ගහන්න ලැබුණෙ නැහැ. විවිධ හේතු නිසා අපිට ක්‍රිකට් අතහරින තැනට එන්න වුනා. ඒ නිසා, මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා, මට යන්න බැරි වූ ඒ ගමන පුතා යවන්න. අද මම සතුටු වෙනවා, පුතා මේ ආපු ගමන ගැන. ඒත් මේ ඒ ගමනේ එක් සංධිස්ථානයක් විතරයි. තව දුර යන්න තියෙනවා” බුද්ධිලගේ පියා පරාක්‍රම පැවසුවා. 

තවත් විශේෂාංග ලිපි:

 

 

පරාක්‍රම ක්‍රිකට් විනිසුරුවරයෙක්ට අමතරව පාසල් කිහිපයකම ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කර මේ වන විට මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයට තම සේවය ලබා දෙනවා. 2006 වසරේ සිටම ඔහු මේ සේවය එම පාසලට ලබා දෙන්නේ නොමිලේ වීම විශේෂත්වයක්. ඒ අනුව බුද්ධිලගේ ආරම්භක පුහුණුකරු වන්නේ තම පියා, පරාක්‍රම. එමෙන්ම වර්තමානයේ ඔහුගේ අඩු-පාඩුවක් වේ නම් එය දකින පළමු තැනැත්තා ද වන්නේ පරාක්‍රම ය. ඊටත් වඩා අද වන විට බුද්ධිල දක්ෂ දඟපන්දු යවන්නෙක් වී සිටින්නේ ද තම පියා පරාක්‍රමගේ ඉගැන්වීම් හේතුවෙන්.  

“ඇත්තටම තාත්තා තමයි මම මේ ඉන්න තැනට ගේන්න මටත් වඩා වෙහෙස වුනේ. බැට් එක අල්ලන තැන සිටම  ක්‍රිකට්වල හැම දෙයක්ම කියල දුන්නේ තාත්තා. ඒ දවස්වල අනික් ක්‍රීඩකයන්ට නැති වාසියක් මම ඒකෙන් ලැබුවා. අදටත් මම ඒ වාසිය ලබනවා. ඒ තාත්තා පුහුණුකරුවෙක් පමණක් නෙමේ හොඳ ක්‍රිකට් රසිකයෙක් ද වෙන නිසා.”

මෙරට පාසල් ක්‍රිකට් වංශ කතාවේ අවුරුදු 7ක්, වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළා නම් ඒ හරීන් බුද්ධිල පමණක් වන්නට ඇතැයි අප විශ්වාස කරමු. එම වයස් කාණ්ඩයේ අවසන් වසර ද්විත්වයේ දී වයස අවුරුදු 19න් පහළ මාදම්පා කණ්ඩායම නියෝජනය කිරීමට ද බුද්ධිල සමත් වෙනවා. 

“ඔය කාලයේම මම වයස අවුරුදු 15න් පහළ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම වගේම දකුණු පළාත් කණ්ඩායම ද නියෝජනය කිරීමටත් අවස්ථාව ලැබුණා. දිගින් දිගටම එම කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්න නොලැබුනත් ලැබුණ හැම තරගයක දී ම දක්ෂතා දක්වන්නට මට හැකි වුනා”, බුද්ධිල පවසනවා. 

බුද්ධිලට කණ්ඩායමක තැනක් නොලැබුණා නම් ඒ ඔහුගේ දක්ෂතා ගැන අවතක්සේරුවක් හෝ ඔහුට යමක් කළ හැකි දැයි යන අවිශ්වාසය මත පදනම්ව වූ දෙයක්. නමුත් මේ තත්ත්වය වෙනස් කරන්න බුද්ධිලට හැකි වෙනවා. ඒ ඉහත කී 2014 අන්තර් පළාත් තරගාවලියේ දී. බුද්ධිල එම තරගාවලියේ තරග 5කට සහභාගී වෙමින් එහි තරග දෙකක දී තරගයේ වීරයා බවට ද පත් වෙමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ද සමත් වෙනවා. ඒ කඩුලු 15ක් ලබා ගනිමින්. 

මේ දක්ෂතා බුද්ධිලගේ ක්‍රිකට් ජීවිතයේ තවත් සංධිස්ථානයකට මඟ පාදනවා. මාදම්පා විද්‍යාලයෙන් පසුව බුද්ධිලගේ දක්ෂතා ගොනු වෙන්නේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට. එම කණ්ඩායමේ සිටි ප්‍රධානම පන්දු යවන්නා වෙන්නේ බුද්ධිල. ඊට අමතරව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීමට බුද්ධිල සමත් වෙනවා. 

බුද්ධිල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් වූ පළමු වසරේ දී ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දී කඩුලු 49ක් ලබා ගනිමින් කාගේත් අවධානය දිනා ගන්නවා. එතෙක් මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ දී දැක්වූ දක්ෂතාවන්ට වඩා මේ දක්ෂතා කාගේත් කතා බහට ලක්වෙනවා. එය තවත් කතා බහට ලක්වෙන්නේ ඊට පසු අවුරුද්දේ ඔහු කඩුලු 65ක් ද, අනතුරුව අවුරුද්දේ දී තරග 12ක දී කඩුලු 96ක් ද ලබා ගැනීමත් සමඟයි. 

එම අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දක්ෂතම පාසල් පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන්නේ ද බුද්ධිල ය. එමෙන්ම එම වසරේ අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව මගින් පැවැත්වූ වර්ණ ප්‍රදානෝත්සවයේ පාසල් ක්‍රිකට් වරණ දිනා ගැනීමට ද ඔහු සමත් වෙනවා. ඉන් නතර නොවන ඔහු ඊට පසු වසරේ දී ශ්‍රී ලංකාවේ දක්ෂතම පාසල් පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලබනවා.

“ඒ දක්ෂතා මාව ගොඩක් දුර ගෙන ගියා. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2016 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට ද මම තේරුණා. එම තරගාවලියේ දී කඩුලු 27ක් බිඳ හෙළමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගත්තා. ඒ දක්ෂතාත් සමඟින් මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට ද එක්වෙනවා.” 

ඒ අනුව බුද්ධිල ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මෙරට දී පැවති ආසියානු කුසලානය තරගාවලියටත්, ඊට පසුව දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දීය සංචාරවලටත් එක් වුනා. අවසන් වරට බුද්ධිල සහභාගී වෙන්නේ නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියයි. මේ දක්වා යොවුන් ජාත්‍යන්තර එක්දින තරග 16කට ක්‍රීඩා කර ඇති බුද්ධිල ලබා ඇති කඩුලු සංඛ්‍යාව 24ක්. 

“පොඩි තැනක ඉඳල ඇවිත් කාගේත් කතා බහට ලක් වෙන මට්ටමේ දක්ෂතා දැක්වීමට ලැබීමට ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි,” බුද්ධිල පවසනවා. 

බුද්ධිලගේ ක්‍රිකට් නිර්මාතෘ, පියා පරාක්‍රම මෙන්ම මව ද මේ ගමනේ සුවිශේෂී දැක්වුවන් ලෙසින් හැදින්වෙනවා. සමන්තා මලේපතිරණ වන මව දකුණු පළාත් පරිසර අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් ලෙසින් භාරධූර කටයුත්තක් දරද්දීත්, බුද්ධිලගේ ක්‍රිකට් දක්ෂතා දැක බලා ගැනීමට අමතක කර නැහැ. බුද්ධිලට අවශ්‍ය පහසුකම් සේ ම නිදහස ද ලබා දීමට ඇය කටයුතු තිබේ.

“අම්මා මට පූර්ණ නිදහස ලබා දීල තිබුණා. මගෙන් අනන්ත පාසල් වැඩ අතපසු වෙන්න ඇති. ඒත් අම්මා ඒ කිසිම වෙලාවක මගේ හිත රිදෙන්න කිසිවක් කිව්වෙ නැහැ. මගේ පාසල් මිතුරන්ගේ පොත් ඉල්ල ගෙන ඇවිත් මඟ හැරුණ නෝට් පවා අම්මා ලියල තියෙනවා. ඒ වගේම අයියා සෙනුර ලක්මින් සහ අක්කා සචිනි ලක්නා දෙන්නත් මගේ ක්‍රිකට් වෙනුවෙන් ගොඩාක් උදව් කරනවා. විමසිල්ලෙන් ඉන්නවා.”

බුද්ධිල මේ වන විට හැව්ලොක් ටවුන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා එක්වෙමින් පළමු පෙළ ක්‍රීඩා පිටියේ පෙළහර පෑමට සූදානම් වෙමින් සිටිනවා. 

“ගොඩාක් දුර ගමනක් යන්න තියෙනවා. මටත් මගේ මගේ තාත්තා, අම්මා, පවුලේ අය මම කෙරෙහි තබා තිබෙන විශ්වාසය විශාලයි. ඒ බලාපොරොත්තු සමඟ මගෙත් බලාපොරොත්තු ඒකට එකතු වෙලා. කිසිම දෙයක් ලෙහෙසියෙන් ලබා ගන්න බැහැ. වෙනදට වඩා දැන් තරගකාරීත්වය වැඩියි. ලැබෙන පළමු අවස්ථාවේම දක්ෂතා දක්වන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන. ඒ වෙනුවෙන් ගොඩාක් වෙහෙස වෙනවා. කවදහරි දවසක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන බලාපොරොත්තුවෙන් මේ සියලු දේ කරන්නේ”, බුද්ධිල පැවසුවා.

දඟ පන්දුවෙන් පාසල් ක්‍රිකට් කැලඹූ මේ යෞවනයාට ක්‍රිකට් ලොවේ දීර්ඝ ගමනක් යන්න ThePapare.com හී ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<