එළඹෙන මාර්තු 3 වැනිදා සිට ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න එහි එක්දින සංචිතයේ නායකයා ලෙසත් දසුන් ශානක විස්සයි විස්ස සංචිතයේ නායකයා ලෙසත් කටයුතු කරනු ලබනවා.

මේ සංචිතය තුල පසුගිය සංචිත කිහිපයක් තුල දිගින් දිගටම ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නොමැති නමුත් නවක යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීමට නොහැකි වුනු දිල්රුවන් පෙරේරා, භානුක රාජපක්ෂ (Skin-fold test), කුසල් ජනිත් පෙරේරා, සන්තුෂ් ගුණතිලක (Skin-fold test) සහ ආබාධවලට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන, අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් මේ සංචිතය සඳහා නම් කර නැහැ.

මේ සංචිත තෝරාගැනීමට පෙර එක්දින පුහුණු තරගයක් සහ විස්සයි විස්ස පුහුණු තරග දෙකක් ද පැවැත්වුනා, ඒ සඳහා සහභාගී වූයේ කොදෙව් තරග සංචාරය සඳහා මූලික සංචිතයේ සිටි සහ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වුනු ක්‍රීඩකයින් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

එම තරගවල දී දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, පැතුම් නිස්සංක දනුෂ්ක ගුණතිලක, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් හට වැඩි දස්කම් දැක්වීමට හැකියාව ලැබුණා.

මේ සීමිත පන්දුවාර සංචිතය සඳහා පිතිකරුවන් 8 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් 5 දෙනෙක්, වේගපන්දු යවන ක්‍රීඩකයින් 5 දෙනෙක් සහ දඟපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

වමතින් වේගපන්දු යවන 20 හැවිරිදි ඩිල්ශාන් මදුසංක, මැදපෙළ පිතිකරු අශේන් බණ්ඩාර, දකුණත් පිතිකරු පැතුම් නිස්සංක සහ තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතයක් සඳහා නම් වුනු පළමු අවස්ථාව මෙය වන අතර පැතුම් නිස්සංක ශ්‍රී ලංකා සංචිතයක් සඳහා කැඳවා තිබෙන පළමු අවස්ථාව මෙයයි. අකිල දනංජය සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමෙන් පසුව ශ්‍රී ලංකා සංචිතයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි.

එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කර නොමැති නමුත්, කොදෙව් සංචාරය සඳහා යන ශ්‍රී ලංකා සංචිත තෝරාගැනීම වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන්ගෙන් සමන්විත තාවකාලික කමිටුවක් පත් කර තිබෙන බව ද දැනගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය – දිමුත් කරුණාරත්න (එක්දින නායක), දසුන් ශානක (විස්සයි විස්ස නායක), දනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, තිසර පෙරේරා, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුසංක, ලක්ෂාන් සඳකැන්, අකිල දනංජය.

**ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් මෙය නිල වශයෙන් මාධ්‍යට නිකුත් කර නොමැත.

මේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ මස 23 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටින අතර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ද ඊට පෙර නම් කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<