දින්නොත් ලකුණු 12යි, සම වුනොත් 4යි!

Border - Gavaskar Trophy 2023

2975

ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී භාවිතා වුනු මතභේදකාරී තණතීරු වලට හේතුව ටෙස්ට් ලෝක ශූරතාව බව ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Dravid විසින් පවසනවා.

පසු ගිය කාලසීමාව පුරාවටම ඉන්දියාවේ දී පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරග පිතිකරුවන්ට එතරම් සුබදායී නොවූ අතර ඊට ප්‍රධානතම හේතුව වුනේ තරග සඳහා පන්දුවේ තියුණු දඟ කැවීමක් ඇති වන අන්දමේ තණතීරු නිර්මාණය කර තිබීමයි.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ ඉන්දු – ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් සූදානම් කළ Indore තණතීරුව ඉන්දියාවට ම පාරා වලල්ලක් වී තරගයේ දින තුනක් ගෙවී යාමටත් මත්තෙන් ඕස්ට්‍රේලියාව විසින් පහසු ජයක් ලබා ගැනීමයි.

තරගාවලියේ මෙතෙක් පැවැත්වුණු තරග තුනම උපරිම දින තුනකට යටත්ව ක්‍රීඩා කෙරුණු අතර, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලි ලකුණු සටහනේ ඉදිරියට ඒමේ බලාපොරොත්තුව සහිතව ඉන්දියාව විසින් මෙවැනි තණතීරූ නිර්මාණය කළ බව නොරහසක්.

මේ වන විට මෙවැනි තණතීරූ තරග සඳහා භාවිතා කිරීමේ හොඳ සහ නරක පිළිබඳ විවාද ද ඇති වෙමින් පවතිනවා.

එමෙන්ම තරගාවලියේ තෙවැනි තරගය පැවැත්වුණු Indore පිටිය දුර්වල මට්ටමේ එකක් බව ICC විසින් පසුගිය දා තීරණය කළා.

නමුත් ඉන්දීය පුහුණුකරු Rahul Dravid නම් කියන්නේ Indore තණතීරුව වැනි තණතීරූ ලෝකේ කොහෙත් දකින්නට ලැබෙනවා කියලයි. එමෙන්ම ඊට හේතුව කණ්ඩායම්වලට WTC (ටෙස්ට් ලෝක ශූරතාව) වෙනුවෙන් ලකුණු රැස් කිරීමට අවශ්‍ය වීම බවයි Dravid පවසන්නේ.

“මම ඒ ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ. තරග තීරකට අයිතිය තියෙනවා තීරණයක් ගන්න වගේම පිටිය පිළිබඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නත්. මම ඔහු සමග එකඟ වෙනවද නැද්ද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. මම කියන්නේ WTC ලකුණු එක්ක ඔබ සමහර විට තීරණයක් ලැබෙන තරග ක්‍රීඩා කරන්න යොමු වෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්, ඉන්දියාවේ විතරක් නෙවෙයි. මුළු ලෝකය පුරාම ඔබ මේ දේවල් දකිනවා. සමහර වෙලාවට ඔබට තරගයක හොඳ සමබරතාවක් ගන්න අසීරු වෙන්න පුළුවන්.”

ඉන්දීය කණ්ඩායම ඊයේ සහභාගී වූ පුහුණු සැසියකින් පසුව මාධ්‍ය හමු වූ පුහුණුකරු මෙසේ පවසා තිබුණා.

මෙම තත්වය පිළිබඳ කිසිදු පිතිකරුවෙකු පැමිණිලි කර නොමැති වුනත්, මෙම වාතාවරණය පිතිකරුවන්ගේ ක්‍රීඩා ජීවිත වලට විශාල බලපෑමක් එල්ල කරන බව නම් පැහැදිලියි. මෙම තරගාවලියේ තවමත් වාර්තා වී ඇත්තේ එක් ශතකයක් (Rohit Sharma විසින් තරගාවලියේ පළමු තරගයේ දී) පමණක් වීම මීට හොඳම නිදසුන ලෙස දැක්විය හැකියි.

“මගේ කෙටි කාලීන ධුර කාලය තුල පිතිකරුවන්ට ඉතාම අභියෝගාත්මක වාතාවරණයක් ඇති බව පෙනුණා. පසුගිය වසර හතර – පහ කාලය තුල පිතිකරුවන් ගොඩක් අසීරුවෙන් ලකුණු ලබා ගත් බව දත්ත වාර්තා වලින් සනාථ කරනවා. ඉන්දියාව තුල පමණක් නෙවෙයි මුලු ලෝකය පුරාම එහෙමයි.”

Dravid විසින් වර්තමානයේ පිතිකරුවන්ට ඇති අභියෝග පිළිබඳ එසේ පැවසූ අතර, ඔහු පැවසූ කරුණු වල සත්‍යතාවය ඉන්දීය පිතිකරු Ajinkya Rahane ට සිදු වූ අභාග්‍ය දෙස බැලීමේ දී තහවුරු වනවා. මෙවැනි තණතීරු වල ක්‍රීඩා කිරීමට සිදු වීම නිසාම දුර්වල ස්වභාවයක් පෙන්වූ Rahane ට කණ්ඩායමේ ස්ථානය අහිමි වුනා.

එමෙන්ම නැවත කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව ලැබුනත්, Cheteshwar Pujara හට ද එවැනි ම ඉරණමක් පසුගිය කාලයේ අත් වුනා.

නමුත් Dravid නම් පවසන්නේ මෙවැනි තණතීරුවල දී පිතිකරුවන්ට පැවරෙන්නේ වෙනස්ම වගකීමක් බවයි.

“ඇත්තටම ඒ වගේ අභියෝගාත්මක තණතීරුවක ක්‍රීඩා කරද්දී අපි තරමක් යථාර්ථවාදී විය යුතුයි. පහුගිය වසර 3-4 තුල ලොව පුරාම කඩුලු තරමක් අභියෝගාත්මක වුනා. එක හොඳ ඉනිමකින් තරගයක් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒක Rohitගෙන් දැක්කා. අපේ පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබඳ සංඛ්‍යා දත්ත විමසද්දී අපි යථාර්ථවාදී වෙන්න ඕන.

සමහර විට ඔබෙන් ද්විත්ව ශතකයක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඉනිමක වාර්තා වෙන ලකුණු 50-60, 60-70 සමහර විට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.”

තරගයක් වෙනස් වෙන්න ක්‍රීඩකයකුගෙන් ලැබෙන පොඩි දායකත්වය පවා වැදගත් බවයි Dravid අවධාරණය කරන්නේ. ඒ වගේම WTC නිසා හැම කණ්ඩායමක් ම ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙසෙන බව පවසන Dravid විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ ජයග්‍රහණයක් වෙනුවෙන් ලකුණු 12ක් හිමි වන අතරේ, තරග සම වීමක් වෙනුවෙන් හිමි වෙන්නේ ලකුණු 4ක් පමණක් බවයි.

Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<