තියුණු සටනකට පසුව පළමු Legends කිරුළ ඉන්දියාවට

2020-21 Road Safety World Series

214

2020-21 Road Safety World Series තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (21) දින ඉන්දියාවේ මුම්බායි නුවර දී පැවැත්වුනු අතර එම තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඉන්දීය Legends කණ්ඩායම සමත් වුනා. 

මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගත් ඉන්දියාව සහ දෙවන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරග වලදී පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව පරාජය කරමින් මේ සුපිරි සහ තියුණු අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා Legends නායක තිලකරත්න ඩිල්ශාන් පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා. 

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් Virender Sehwag සහ නායක Sachin Tendulkar පළමු කඩුල්ල සඳහා ලකුණු 19ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය සඳහා ඉතාමත් ඉක්මණින් තිත තැබීමට රංගන හේරත් සමත් වුනා. ඒ තරගාවලිය පුරාවට සාර්ථක වූ Virender Sehwagගේ කඩුල්ල ලකුණු 10කට දවා ගනිමින්. Sachin Tendulkar ලකුණු 30කට දැවී යද්දී Subramaniam Badrinath ලකුණු 7කට දැවී ගියා. 

ලකුණු 78කට ඉන්දීය කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය මැදපෙළ පිතිකරුවන් වුනු Yuvraj Singh, Yusuf Pathan සහ Irfan Pathanගේ කඩුලු දවා ගැනීම තරමක් අපහසු වුනු නිසාවෙන් මැදපෙළ සහ අවසන් පන්දුවාර කිහිපය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් උදුරා ගැනීමට ඔවුන් තිදෙනා සමත් වුනා. 

ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වන විට ඉන්දීය ඉනිම පාලනය කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අවස්ථාව ලැබුනු නමුත් මේ තරගාවලිය පුරාවට ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වුනු Yuvraj Singh සහ Yusuf Pathan එක්ව සිව්වන කඩුල්ල සඳහා පන්දු 47ක් තුළ ලකුණු 85ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු පුවරුව තර්ජනාත්මක ලකුණු මට්ටමක් දක්වා ඔසවා තැබීමට අවශ්‍ය අඩිතාලම සකස් කළා. 

අවසානයේ දී Yuvraj Singh හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 40ක් තුළ ලකුණු 60ක් වාර්තා කරගත්තා. කෞශල්‍ය වීරරත්නගේ පන්දුවක් හමුවේ අවසන් මොහොතේ දී Yuvrajගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නට හැකියාව ලැබුනා. 

ඉන්දීය ලකුණු සටහන සාර්ථක අවසානයක් වෙත රැගෙන ගිය පතාන් සහෝදරයෝ (Yusuf Pathan සහ Irfan Pathan) අවසන් පන්දු 10 තුළ ලකුණු 18ක් රැස්කර ගත් අතර එම ලකුණු 18 ඉන්දීය ඉනිම සඳහා ඉතාමත් තීරණාත්මක ලකුණු 18ක් වුනා. ඉනිම අවසානය දක්වා නොදැවී ක්‍රීඩාකළ Yusuf Pathan හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් පන්දු 36ක දී වේගවත් ලකුණු 62*ක් රැස්කර ගත් අතර Irfan Pathan පන්දු තුනක් තුළ නොදැවී ලකුණු 8*ක් රැස්කර ගත්තා. 

පන්දු යැවීමේ දී රංගන හේරත්, ෆර්වීස් මහරූෆ්, සනත් ජයසූරිය සහ කෞශල්‍ය වීරරත්න අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා. 

ලකුණු 182ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා Legends ආරම්භක පිතිකරුවන් යුගලය වුනු තිලකරත්න ඩිල්ශාන් සහ සනත් ජයසූරිය පළමු පන්දුවාර 6 තුළ සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු 58ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් කළා. 

ඉන්දීය පන්දු යවන්නන් තිලකරත්න ඩිල්ශාන් වෙත යම් සැලැස්මකට අනුව පන්දු යැවීම යොමු කරන ආකාරයක් දැකගන්නට ලැබුනු අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට ඩිල්ශාන් හට හැකියාව ලැබුනත් අවසන් මහා තරගයේ දී ලකුණු 21කට දැවී යාමට සිදුවුනා. 

පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදුකරමින් චාමර සිල්වා පිතිකරණ ස්ථානයක් ඉදිරියෙන් පැමිණි නමුත් ඔහුගේ ඉනිම ලකුණු 2කට සීමාකිරීමට Irfan Pathan සමත් වුනා. තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා වුනු තරංග හට මේ අවසන් මහා තරගයේ දී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 13ක් වුවත් අවසන් මහා තරග වලදී වැඩි දස්කම් දක්වන සනත් ජයසූරිය සිය ආබාධයන් සහ වයස පසෙක තබා පන්දු 35ක් තුළ ලකුණු 43ක් රැස්කර ගැනීමට සමත් වූයේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කරමින්.  

අවසානයේ දී චින්තක ජයසිංහ වාර්තා කරගත් වේගවත් ලකුණු 40 සහ කෞශල්‍ය වීරරත්න (ලකුණු 38) දියත් කළ යම් ප්‍රහාරාත්මක පිතිකරණය නිසාවෙන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනත් ඉන්දියාව ලබාදුන් ඉලක්කය හඹා යාමට අවස්ථාවක් ලැබුනේ නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව තුළදී ඉන්දීය ප්‍රේක්ෂකයින් රැසක් මැද මේ ලබාදුන් සටන ඉතාමත් ප්‍රශංසනීයයි. 

පන්දු යැවීමේ දී Yusuf Pathan සහ Irfan Pathan කඩුලු 2ක බැඟින් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

India Legends – 181/4 (20): Yusuf Pathan 62*, Yuvraj Singh 60, Sachin Tendulkar 30, රංගන හේරත් 1/11, ෆර්වීස් මහරූෆ් 1/16, සනත් ජයසූරිය 1/17, කෞශල්‍ය වීරරත්න 1/23.

Sri Lanka Legends – 167/7 (20): සනත් ජයසූරිය 43, චින්තක ජයසිංහ 40, කෞශල්‍ය වීරරත්න 38, Yusuf Pathan 2/26, Irfan Pathan 2/29.

  • තරගයේ වීරයා – Yusuf Pathan (ඉන්දියාව)
  • තරගාවලියේ වීරයා – තිලකරත්න ඩිල්ශාන් (ශ්‍රී ලංකාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <