Neymar දින 981කට පසුව නැවතත් බ්‍රසීලය වෙනුවෙන් තරග බිමට

FIFA 2026

23
Football

2026 පාපන්දු ලෝක කුසලානයේ 14 වැනි දිනයට අදාළ ව තරග 06ක් අද (25) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරග වටය සඳහා තරග අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ අතර, අද පටන් මූලික වටයේ තරග නිමා වන තුරු තරග පැවැත්වෙන සෑම දිනකම එකම වෙලාවේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ස්විස්ටර්ලන්තය සහ කැනඩාව

B කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී ස්විස්ටර්ලන්තය විසින් සත්කාරක කැනඩාවට එරෙහිව ගෝල 2-1ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

මේත් සමඟම B කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ද ස්විස්ටර්ලන්තය සමත් වූ අතර, ඔවුන් මෙවර ද සමඟ අවසන් ලෝක කුසලාන තරගාවලි හතර තුළ ම මූලික වටයෙන් ඉදිරියට සමත් වී තිබීමත් විශේෂත්වයක්.

බොස්නියාව සහ කටාර්

B කාණ්ඩයේ අනෙක් තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් බොස්නියාව විසින් ගෝල 3-1ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒත් සමඟම ඔවුන් තම කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබා ගැනීමට ද සමත් වූ අතර, මූලික වටයේ දී එක් එක් කාණ්ඩවල තෙවැනි ස්ථානය හිමි වන කණ්ඩායම් අතරින් මුල් අට අතරේ ස්ථානයක් තහවුරු කර ගනිමින් මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට ද මෙහි දී බොස්නියාව විසින් සමත් වුනා.

මෙම තරගයේ දී ද කටාර් කණ්ඩායම පාර්ශවයෙන් Own Goal එකක් වාර්තා වූ අතර, එය මෙම තරගාවලියේ වාර්තා වූ 10 වැනි Own Goal එක ලෙසයි සටහන් වුනේ.

මොරොක්කෝව සහ හයිටි

මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙමින් ගෝල 2 බැගින් වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මොරොක්කෝව විසින් තරගයේ දෙවැනි අර්ධයේ 78 සහ 89 මිනිත්තුවල දී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

මෙම ජයත් සමඟ C කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට මොරොක්කෝව සමත් වූ අතර, 1986 සහ 2022 වසරවලින් පසුව ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබාගත් තෙවැනි අවස්ථාව ලෙස සටහන් වුනා.

බ්‍රසීලය සහ ස්කොට්ලන්තය

මෙම තරගයේ දී බ්‍රසීලය විසින් ඉතා පහසු ජයක් ලබා ගනිමින් C කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී බ්‍රසීලය වෙනුවෙන් Vinicius Junior ගෝල ද්විත්වයක් සහ Matheus Cunha විසින් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. ඒ අනුව ඔවුන් දෙදෙනා ම මේ වන විට තරගාවලියේ ගෝල 04 බැගින් ලබා ගැනීමට සමත් වී සිටිනවා.

එමෙන්ම බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන ඉතිහාසයේ මූලික වටයේ තරග තුනේ දීම ගෝල වාර්තා කළ පස්වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුනා.

මේ අතර මෙම තරගයේ සිදු වූ විශේෂතම සිදුවීම ලෙස සටහන් වුනේ Neymar තරග බිමට අවතීර්ණ වීමයි. 2023 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව (දින 981කට පසුව) බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වුනා.

දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව

මෙම තරගයේ දී දකුණු කොරියාවට අනපේක්ෂිත පරාජයක් උරුම කර දීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, ඒත් සමඟින් ම ඔවුන් A කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

මේත් සමඟින් ම ඔවුන් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් එවැනි දස්කමක් දැක්වීමට සමත් වුනා.

කෙසේ වෙතත් මේත් සමඟම දකුණු කොරියාව A කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වූ අතර, ඔවුන්ට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වේද යන්න යම් කිසි සැකයකට ලක් වී තිබෙනවා.

චෙක් සහ මෙක්සිකෝව

මෙම තරගයේ දී සත්කාරක මෙක්සිකෝව විසින් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟම මෙක්සිකෝව විසින් A කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

තරගයේ දී මෙක්සිකෝව විසින් ගෝල 3-0ක් ලෙස ජය ගැනීමට මෙක්සිකෝව සමත් වුනා.

මේ අතර තරගාවලියයේ 14 වැනි දිනය සඳහා තවත් තරග හයක් හෙට (26) පැවැත්වීමට නියමිතයි.

හෙට අලුයම 1.30

  • කුරසාඕ සහ අයිවරි කෝස්ට්
  • ඉක්වදෝරය සහ ජර්මනිය

හෙට උදෑසන 4.30

  • ටියුනීසියාව සජ නෙදර්ලන්තය
  • ජපානය සහ ස්වීඩනය

හෙට උදෑසන 7.30

  • තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය
  • පැරගුවේ සහ ඕස්ට්‍රේලියාව

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>