ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ පළමු තරගය අද (27) පස්වරුවේ Durban හි දී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් තීරණය කිරීමේ තීරණාත්මක තවත් එක් තරගාවලියක් ලෙසින් හැඳින්වෙන බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට සේ ම දකුණු අප්‍රිකාවට ද අතිශය තීරණාත්මක වී තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් සැකසුණ ප්‍රසාද ලකුණු පුවරුවේ මේ වන විට පළමු ස්ථාන ද්විත්වය පිළිවෙළින් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ලබා සිටින අතර ශ්‍රී ලංකාව 3 වැනි ස්ථානයට පත් ව සිටිනවා. දකුණු අප්‍රිකාව මේ වන විට එම ලැයිස්තුවේ හිමිකර ගෙන සිටින්නේ 5 වැනි ස්ථානයයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 5
Teams | M | W | L | T | D | N/R | PT | PCT | |
1 | ඉන්දියාව | 15 | 9 | 5 | 0 | 1 | 0 | 110 | 61.11 |
2 | ඔස්ට්‍රේලියාව | 13 | 8 | 4 | 0 | 1 | 0 | 90 | 57.69 |
3 | ශ්‍රී ලංකාව | 9 | 5 | 4 | 0 | 0 | 0 | 60 | 55.56 |
4 | නවසීලන්තය | 11 | 6 | 5 | 0 | 0 | 0 | 72 | 54.55 |
5 | දකුණු අප්‍රිකාව | 8 | 4 | 3 | 0 | 1 | 0 | 52 | 54.17 |
(M: තරග, W: ජයග්‍රාහී තරග, L: පරාජිත තරග, T: ලකුණු සම වූ තරග, D: විසඳුමක් නොමැතිව අවසන් වූ තරග, N/R: අත්හැර දැමුණ තරග, PT:PTC: ප්‍රතිශතය)
එවන් තත්ත්ත්වයක් මත තරගාවලියට එක් වෙන දකුණු අප්‍රිකානුවන්ගේ 1889 තරම් ඈතට දිවෙන ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ එරට දී තරගාවලියක් ජයග්‍රහණය කළ එක ම ආසියානු කණ්ඩායම ලෙසයි.
එම තරග ඉතිහාසයේ මේ දක්වා ඉන්දියාව සමඟින් තරගාවලි 11ක්, ශ්‍රී ලංකාව සමඟින් තරගාවලි 8ක්, පාකිස්තානය සමඟින් තරගාවලි 6ක් සහ බංග්ලාදේශය සමඟින් තරගාවලි 5ක් තම සත්කාරකත්වයෙන් පවත්වමින්, ඒ අතුරින් 2019 වසරේ දී ශ්‍රී ලංකාව වෙතින් පමණක් පරාජයට පත් වෙනවා.
පරාජිත 2019 වසරේ තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ Faf du Plessis අද එරට කණ්ඩායමේ නැති නමුත් එදා තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න තම කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තරගාවලියට ද එක් වෙනවා.
එමෙන් ම එදා ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කණ්ඩායමේ සිටි ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය මෙවර ද මෙම කණ්ඩායම හා එක් වීමේ බලාපොරොත්තු සහගතව වත්මන් සංචිතය හා එක් ව සිටීම විශේෂත්වයක්.
එමෙන් ම එදා දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ Temba Bavuma අද දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙසත් සහ ඊට අමතර ව Aiden Markram, Wiaan Mulder, Keshav Maharaj සහ Kagiso Rabada ද සත්කාරක සංචිතය හා එක් ව සිටිනවා.
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරග පුරාණය
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- ටෙස්ට් ලෝක වාර්තා පොත් පෙරළූ ඒ අසහාය තරගය
- අපට හමුවෙන දකුණු අප්‍රිකානුවෝ
- ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සහයට දකුණු අප්රිකානුවෙක්
ශ්‍රී ලංකා කණ්ඩායම
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට පිතිකරුවන් 7 දෙනෙක්, වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ එක් දඟ පන්දු යවන්නෙක්ගෙන් සුසැදිව තරගයට පිවිසෙනු ඇතැයි සිතිය හැකියි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධාන බලාපොරොත්තු දිමුත් කරුණාත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් යන පිතිකරුවන්ගේ ක්‍රියාත්මක විය යුතු පිති මත රැඳී තිබෙනවා.
දකුණු අප්‍රිකා වේගවත් තණතිලි පාලනය කිරීම සඳහා වේග පන්දු යවන්නන් 5 දෙනෙක් කැටිව ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයට එක් වූව ද ඒ අතුරින් දෙගිඩියාවකින් තොරව අද තරගයේ දී මිලාන් රත්නායකට අසුනක් හිමි කර දිය හැකියි. එහි දී ඔහුගේ තෝරා ගැනීම වෙනුවෙන් පෙර තරගවල දී පිතිකරුවෙක් මෙන් ම පන්දු රකින්නෙක් ලෙසින් ද දැක් වූ දක්ෂතා ඉවහල් වන අතර එක හුස්මට වැඩි පන්දුවාර ප්‍රමාණයක් යැවීමේ ඇති හැකියාව ද ඊට එක් වෙනු ඇතැයි සිතිය හැකියි.
එසේ වෙන්නේ නම් ඉතිරි වේග පන්දු යවන්නන් දෙදෙනා තෝරා ගැනීම සඳහා අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු සැලකිල්ලට ගනු නියතයි. කණ්ඩායමට එක් වෙන එක ම සුවිශේෂී දඟ පන්දු යවන්නා ලෙසින් ප්‍රභාත් ජයසූරිය එක් කර ගැනීමේ වැඩි ඉඩකඩ පවතී.
එසේ වීමේ දී තරගයේ වැඩි පන්දු වාර ප්‍රමාණයක් යැවීමට ඔහුට සිදු වෙන අතර කමිඳු මෙන්ඩිස් සේ ම නායක ධනංජය ද සිල්වාට ද දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට අමතර සේවයක් සලසන බැවින් ඉහත ක්‍රීඩකයන් අද තරගයේ දී දකුණු අප්‍රිකාවන්ට එරෙහි ව පිටියට පිවිසෙතැයි සිතිය හැකියි.
ශ්‍රී ලංකා සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ කසුන් රාජිත.
දකුණු අප්‍රිකා කණ්ඩායම
දකුණු අප්‍රිකානුවන්ගේ මේ වන විට ප්‍රධානත ම තුරුම්පුව වී ඇත්තේ 34 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Keshav Maharaj වන බැවින් ඔවුන් ඒ අනුව තම කණ්ඩායම පෙළ ගස්වනු නියතයි.
ඒ පෙළ ගැස්වීමේ දී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවට තර්ජනයක් කළ හැකි ආකාරයේ නම් කිරීමකට ඔවුන් ඉදිරිපත් විය හැකි අතර එහි දී Aiden Markram, Tony de Zorzi, Tristan Stubbs වැනි පිතිකරුවෝ ද Kagiso Rabada, Marco Jansen වැනි පන්දු යවන්නෝ ද නායක Temba Bavuma ගේ ප්‍රමුඛ තේරීම විය හැකියි.
දකුණු අප්‍රිකානු සංචිතය:
Temba Bavuma (c), David Bedingham, Gerald Coetzee, Tony de Zorzi, Marco Jansen, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Senuran Muthusamy, Dane Paterson, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton, Kyle Verreynne
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<