ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දීවත් වෙනසක් කරයි ද?

896
Sri Lanka vs England 5th ODI

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයගන්නට සංචාරක එංගලන්ත කණ්ඩායම පසුගිය සෙනසුරාදා (20) සමත් වූයේ ශ්‍රී ලංකාවට තවත් අමිහිරි මතක රැසක් එක්කරමිනි.

කෙසේ නමුත් එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව ඇති අතර එය හෙට (23) කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය වැසි නියැදිය අභිබවා තරගාවලිය ජය ගනී

තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළ ද ප්‍රතිවාදීන්ගේ දක්ෂතා..

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් එක්දින තරග 73ක් පවත්වා ඇත. ඒ අතරින් එංගලන්ත කණ්ඩායම තරග 36ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ සිටින අතර ශ්‍රී ලංකාව තරග 34ක් ජයග්‍රහණය කරමින් එංගලන්තයට වඩා පසුපසින් සිටී. එසේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

තවද එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරවල දී පැවැත්වූ එක්දින තරගාවලි අතරින් 2007 වසරේ පැවති තරගාවලිය හා 2018 මේ පැවැත්වෙමින් තිබෙන මේ තරගාවලිය හැර අනෙක් තරගාවලි පහම සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්

දිනේෂ් චන්දිමාල් හා ජෝ රූට්

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හා 27 හැවිරිදි එංගලන්ත ටෙස්ට් කණ්ඩායම් නායක ජෝ රූට් සිය කණ්ඩායම්වල මැදපෙළ සවිමත් කරන ප්‍රබල පිතිකරුවන් ලෙස හැඳින්වීමට හැකි නමුත් චන්දිමාල් පසුගිය දා පැවති තරග කිහිපයේ දී ම අනෙකුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාපේක්ෂව කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වීමට අවස්ථාව ලබා ගත්තේය.

චන්දිමාල් එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා තිබෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 19ක දී ඉනිම් 17කට පිතිකරණයෙන් දායක වෙමින් ලකුණු 622ක් ලබාගෙන ඇත. එක් ශතකයක් හා අර්ධ ශතක හයක් රැස්කර ගෙන සිටින චන්දිමාල් 40කට ආසන්න ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ. ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 2ක පිතිකරුගේ වගකීම චන්දිමාල් විසින් බොහෝ දුරට මෙම තරගයේ දී ඉටු කරනු ඇත.

ජෝ රූට් ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 23ක දී ඉනිම් 21කට ක්‍රීඩා කරමින් ශතක දෙකක් හා අර්ධ ශතක හයක් ලබා ගෙන ඇත්තේ ලකුණු 961ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 121 වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 60කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන යමින් සිටියි.

අකිල දනංජය හා අදිල් රශීඩ්

දකුණතින් පිතිකරණයේ නිරත වන ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් හට නිමා වූ තරග දෙකේ දී ම ප්‍රබල අභියෝගයක් වූ දඟපන්දු යවන්නා වූයේ අදිල් රශීඩ්ය. ඔහු අවසන් වරට පැවති තරග දෙක තුල කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෑත කාලයේ බිහි වූ සාර්ථකම එක්දින දඟපන්දු යවන්නා වන්නේ අකිල දනංජයයි, ඒ බව මේ වසරේ මෙතෙක් පවත්වා තිබෙන එක්දින තරග දත්තයන් පිරික්සා බැලූ විට හොඳින්ම පෙනේ.

දකුණතින් දඟපන්දු යවන රශීඩ් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 77කට සහභාගී වෙමින් කඩුලු 118ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු 11ක් තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ක්‍රිකට් තරග 9ක් පමණි. එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ පසුපෙළ සවිමත් කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අකිල හා රශිඩ් පිතිකරුවන් ලෙස පිටියට පැමිණ නිමා වූ එක්දින තරගාවලි කිහිපය තුල දී යම් පිබිදීමක් පෙන්නුම් කර තිබේ.

එක්දින ක්‍රිකට් දිවියේ ආරම්භක අදියරේ තවමත් පසුවන අකිල ජාත්‍යන්තර එක්දින තරග 29කට ක්‍රීඩා කරමින් කඩුලු 42ක් දවාගෙන ඇත්තේ 29.04ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

නිරෝෂන් දික්වැල්ල හා ජෝස් බට්ලර්

මේ තරගාවලියේ දෙරට අතර මෙතෙක් පැවැත්වූ එක්දින තරගවල දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුම දෙනා පාහේ යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ නමුත් පසුගිය 20 වැනිදා පැවති තරගයේ දී දික්වැල්ල සිය සුපුරුදු පිතිකරණ රිද්මයට පිවිසියේ තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කර ගත් පළමු අර්ධ ශතකය සිය නමට ඉදිරියෙන් සටහන් කරගෙනයි.

වමතින් පිත්ත හසුරුවන දික්වැල්ල හා දකුණතින් පිත්ත හසුරුවන පිතිකරුවෙක් වන ජෝස් බට්ලර් යන දෙදෙනාම කඩුලු රකින්නන් ලෙස ද කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය දක්වනු ලැබේ. මේ එක්දින ක්‍රිකට් තරගාවලිය පුරාවටම දෙපිලේම පන්දු යවන්නන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් ද වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ සාමාන්‍ය එක්දින ක්‍රිකට් තරගාවලිවල තුල දී ඔවුන් ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් ලකුණු රැස්කරන නිසාවෙනි.

බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව 47.00ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ඇත. ඔහු තරග 23ක දී ඉනිම 17කට සහභාගි වෙමින් ලකුණු 564ක් රැස්කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.

දික්වැල්ල එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග 4කට පමණක් ක්‍රීඩා කර තිබුනත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රිකට් තරග 45කට සහභාගී වී ලකුණු 1329ක් ලබාගෙන ඇත්තේ ශතක දෙකක් හා අර්ධ  ශතක 7ක් සමඟ ලකුණු 32කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. තවද පන්දු රැකීමෙන් ද යම් අකාරයක පීඩනයක් එලල කිරීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස දික්වැල්ල හා බට්ලර් කැපී පෙනෙන ක්‍රීඩකයින් වේ.

පස්වැනි හා අවසන් එක්දින තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකා කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය,  කසුන් රාජිත, ලසිත් මාලිංග, අමිල අපෝන්සු.

එංගලන්ත කණ්ඩායම: ජේසන් රෝයි, ඇලෙක්ස් හේල්ස්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ටොම් කර්න්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්

>> සිව්වැනි එක්දින තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින මතකයන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බලද්දී 1993 වර්ෂයේ සිට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 9කට සහභාගී වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාව තරග 8ක් ජයග්‍රහණය කරන විට, එංගලන්තය ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

ආර්. ප්‍රේමදාස තණතීරුව, කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණ තත්වය

මේ දිනවල කොළඹ අවට කාලගුණ තත්වය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හොඳ තත්වයක පවතින නමුත් සෙල්සියස් අංශක 29ත් – 35ත් අතර තරමක උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය. සවස් කාලයේ වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇති අතර මේ තරගය වෙනුවෙන් අතිරේක දිනයක් වෙන්කර තිබේ. ප්‍රේක්ෂකයින් 40,000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට දෙවනුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය දෙස බැලූ විට හා ශ්‍රේණිගත කිරීම්වලින් බැලූ විට එංගලන්තයට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ පළමුවැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් මේ තරගය  සඳහා අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (23) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට දිවා/රාත්‍රි තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ. එහි තොරතුරු, එසැණ තොරතුරු, විශේෂ වීඩියෝ පට හා සේයාරූ,  ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<