T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට තවත් සංචාරයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන සංචාරය 2021

6229

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

එම තරග දෙක එළඹෙන ඔක්තෝම්බර් 7 සහ 9 දිනවල ඕමානයේ Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) දේශගුණ තත්ත්ව සහ තණතීරුවල හැසිරීම බොහෝ දුරට එක හා සමාන වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දෙකටම එය ඉතාමත් හොඳ පිටිවහලක් වනු නිසැකය. 

ඒ අනුව මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟ (සැප්තැම්බර් 2- 14) පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලිය අවසන් කර ඕමානය බලා පිටව යනු ඇත.

ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් අධ්‍යක්ෂක වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක දුලිප් මෙන්ඩිස් මහතා ඒ බව ඕමාන මාධ්‍ය වෙත තහවුරු කරමින් මෙසේ පවසා තිබෙනවා.

“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඕමානය එක්ක විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරන්න මෙහාට එන්න සූදානමින් ඉන්නවා. ඕමාන ක්‍රිකට් කණ්ඩායමට වගේම ශ්‍රී ලංකා කණ්ඩායමටත් මේ තරගාවලිය ගොඩාක් වැදගත් තරගාවලියක් වෙයි. මොකද මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ තණතීරුවල හැසිරීම සහ දේශගුණික තත්වයන් බොහෝ දුරට එක හා සමාන වෙනවා”, යැයි මෙන්ඩිස් මහතා එහි දී පවසා තිබෙනවා.

මෙම සංචාරය අවසන් වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යනු ඇත. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ තරග පිළිවෙළින් ඕමානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනු ඇත. එහි දී අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

පළමු වටයේ තරග කාණ්ඩ දෙක:

  • A කාණ්ඩය (තරග සියල්ලම ඕමානයේ දී) – ඕමානය, පැපුවා නිව් ගිනියාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය 
  • B කාණ්ඩය (තරග සියල්ලම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී) – ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<