සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුට ලෝක කුසලානය අහිමි වෙයි

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය 2022

882

ලබන මාසයේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු කණ්ඩායම නිල වශයෙන් නම් කර තිබෙනවා.

එංගලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයට ලක් වූ දකුණත් පිතිකරු Rassie van der Dussenගේ ආබාධය සුව නොවීම නිසා ඔහු මෙම සංචිතයට ඇතුළත් නොවීම විශේෂත්වයක්.

එම ආබාධය සඳහා ඔහුට සැත්කමකට මුහුණ දීමට සිදු වන අතර එම සැත්කමින් පසුව ඔහුට සති හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වනු ඇත.

එමෙන්ම මීට පෙර ආබාධයට ලක් ව සිටි දකුණු අප්‍රිකානු නායක Temba Bavuma සුවය ලබා නැවතත් කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර මෙම සංචිතයේ ද නායකත්වය දරන ඔහු ලෝක කුසලානයක කණ්ඩායම මෙහෙයවන්නේ දෙවැනි වතාවටයි.

ඔහුට අමතරව වසර හයකට පසුව නැවතත් ජූලි මාසයේ දී දකුණු අප්‍රිකානු සංචිතයට පැමිණි ප්‍රහාරාත්මක පිතිකරු Rilee Rossow ද ලෝක කුසලානයට නම් කළ සංචිතයට ඇතුළත්ව තිබෙනවා.

ලෝක කුසලානය සඳහා නම් කළ මෙම සංචිතය මෙම මාසය අවසානයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් සඳහා ද සහභාගී වන බව දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරීන්  ප්‍රකාශ කර සිටියා.

මෙම සංචිතය පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු තේරීම් කමිටු නිලධාරි Victor Mpitsang ප්‍රකාශ කළේ,

“මෙම සංචිතය තෝරා ගැනීම ඉතා අපහසු වුනා. අවසන් කාලසීමාවේ බොහෝ ක්‍රීඩකයින් ඉහළ දස්කම් අතර සිටිය නිසා අපිට ඔවුන් පිළිබඳව අවධානය දෙන්න වුනා.

උදාහරණයක් විදියට ගත්තොත් පසුගිය වසර කිහිපයේ අපේ සැලසුම්වල නොසිටි Tristan Stubbs වැනි ක්‍රීඩකයින් එක් වරම පැමිණ දැක්වූ දස්කම් නිසා අපිට ඔහු ගැනත් බලන්න වුනා. ඒ වගේම අපේ නායකයා නැවත කණ්ඩායමට පිළිගන්නවා වගේම අපි දන්නවා ඔහු සිය උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දෙනවා කියලා.“

  • දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය: Temba Bavuma (captain), Quinton de Kock, Heinrich Klaasen, Reeza Hendricks, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Dwaine Pretorius, Kagiso Rabada, Rillee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.
  • අතිරේක: Bjorn Fortuin, Marco Jansen and Andile Phehlukwayo.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<