අවිශ්ක ගුණවර්ධනට අලුත් තනතුරක්

411

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන මහතා එළඹෙන පාකිස්තානු තරගාවලියේ දී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ලෙස පත් කර තිබෙනවා.

ඒ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් ගිණුම හරහා ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකය විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනාවන් දෙකක් පැවති අතර පසුගිය මැයි මාසයේ දී ඔහුව එම සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ICC ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාව ඒකමතිකව තීරණය කළා. ඒ නිසාවෙන් ඔහුට මේ ආකාරයෙන් ක්‍රිකට් සම්බන්ධ තනතුරක් දැරීමට කිසිඳු ගැටලුවක් දැන් ඇති වන්නේ නැහැ.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කර තිබෙන අවිශ්ක ගුණවර්ධන මහතා අතිසාර්ථක ලෙස කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහෙයවන්නට සමත් වූ අතර, අයර්ලන්ත A කණ්ඩායමට එරෙහිව පැවති නිල නොවන ටෙස්ට් තරගාවලි 5-0 ක් ලෙස ඔවුන් ජය ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

තවත් ක්‍රිකට් පුවත්: 

ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කර තිබෙන අතර එක්දින තරග 61ක් ද ක්‍රීඩා කර තිබෙනවා.

ගුණවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා තවත් සුපිරි පලාත් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද ඔහු කිහිප වතාවක්ම කටයුතු කර තිබීම විශේෂත්වයක්.  

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාකිස්තානු කණ්ඩායමට එරෙහිවයි. ඒ අනුව එම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් 1 සිට 5 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ තරගාවලිය ICC සුපර් ලීගයේ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් වෙනවා.

තලෙයිබාන් සංවිධානය විසින් මේ වන විට ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන සිටින නමුත්, ඔවුන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කිසිඳු බලපෑමක් සිදු නොකරන බව දැනට පවසා සිටිනවා. නමුත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එරට සිට මෙරටට පැමිණීම සඳහා ගුවන්යානා නොමැතිව සිටින බව ද වාර්තා වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<