2021 T20 ලෝක කුසලානයේ නිල තරග කාලසටහන නිකුත් වෙයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

2145

7 වැනි වරටත් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) දී සහ ඕමානයේ දී පැවැත්වීමට ICC තීරණය කර තිබෙනවා. අද (17) ICC විසින් එහි නිල තරග කාලසටහන මාධ්‍ය වෙත නිකුත් කළා.

පවතින COVID-19 වාතාවරණය නිසාවෙන් තරගාවලිය කුමන රටක පැවැත්වුවද එහි සංවිධාන කටයුතු සහ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එක්සත් අරාබියේ දී පැවැත්වීමට නියමිත අතර එය අවසන් වී දින කිහිපයකින් ලෝක කුසලානය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. කොරෝනා නිසාවෙන් අතර මඟ නවතා දැමුණු IPL තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ තරග පිළිවෙළින් ඕමානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනු ඇති අතර එහි දී ශ්‍රී ලංකාව අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමඟින් තරග වැදීමට නියමිතයි.

පළමු වටයේ තරග කාණ්ඩ දෙක:

A කාණ්ඩය – ඕමානය, පැපුවා නිව් ගිනියාව, බංග්ලාදේශය , ස්කොට්ලන්තය 

B කාණ්ඩය – ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව

සුපිරි 12 වටයේ කාණ්ඩය දෙක,

පළමු කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, A කාණ්ඩයේ පළමු ස්ථානය, B කාණ්ඩයේ දෙවන ස්ථානය

දෙවන කාණ්ඩය – ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, A කාණ්ඩයේ දෙවන ස්ථානය, B කාණ්ඩයේ පලමු ස්ථානය

කණ්ඩායම් 8ක් පළමු වටයේ දී තරග කරන අතර ඉන් කණ්ඩායම් 4ක් (කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක) සුපිරි 12 වටය වෙත සුදුසුකම් ලබා ගන්නා අතර සුපිරි 12 වටය සඳහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්.

ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන සුපිරි 12 වටය සඳහා තරග 30ක් ඇතුළත් වෙනවා. එහි දී කාණ්ඩ දෙකකට කණ්ඩායම් 6ක් ඇතුළත් වන පරිදි තරග පැවැත්වෙන අතර සියලු තරග ඩුබායි, අබුඩාබි සහ සාජාහී දී පැවැත්වීමට තරග සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

එක් කාණ්ඩයක සිටින සෑම කණ්ඩායමක්ම එහි අනෙක් කණ්ඩායම් සමඟ එක තරගය බැගින් ක්‍රීඩා කරන අතර අවසානයේ දී ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එහි පළමු අවසන් පූර්ව තරගය (නොවැම්බර් 10) අබුඩාබි හිදී පැවැත්වෙන අතර එහි දෙවැනි අවසන් පූර්ව තරගය (නොවැම්බර් 11) Dubai හිදී පැවැත්වෙනවා. එම තරගවල දී ජය ගනු ලබන කණ්ඩායම් දෙක නොවැම්බර් 14 වැනිදා Dubai හිදී මුණගැසීමට නියමිතයි.

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන පහත පරිදි වෙනවා,


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<