එංගලන්තය හිතාමතාම පන්දුව පළුදු කළා ද?

ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

590

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ සිව්වන දිනය අවසානයේ දී තරමක ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් රාවයක් සමාජ මාධ්‍ය ජාලා පුරා පැතිර ගියා. ඒ තරගය අතරතුර දී එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් පන්දුව පළුදු කිරීමේ යම් උත්සාහයක නිරත වූවා ද යන්න සම්බන්ධයෙන් පැන නැඟුනු ගැටළුකාරී තත්වයත් සමඟින්. 

ඉන්දීය දෙවන ඉනිමේ 34 වැනි පන්දුවාරය දියත් වන අවස්ථාවේ දී අදාළ ක්‍රීඩකයින් දෙදෙනා ඔවුන්ගේ ක්‍රීඩා පාවහන්වල සවිකොට ඇති තියුණු දැති (Spikes) උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කිරීමට උත්සාහ දැරූ බවට විවිධ පාර්ශවයන් විසින් මේ වන විට චෝදනා එල්ල කරමින් සිටියි. කෙසේනමුත් මේ පිළිබඳව දිනය අවසානයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව වෙත සහභාගී වෙමින් ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු Vikram Rathour පවසා සිටියේ එම ක්‍රීඩකයින් විසින් එවැන්නක් සිතා මතා සිදුකළා යැයි තමන් විශ්වාස නොකරන බවයි.  

“අපි ක්‍රීඩා පිටියෙන් එළියේ ඉන්න නිසා ඇත්තටම ඒ වෙලාවේ මොකක්ද වුනේ කියලා හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් තරගයෙන් පස්සේ දැකපු පුනරූපනයන් එක්ක මට දැනුන දේ තමයි ඒක අත්වැරදීමක් කියන එක. ඒ වගේ දෙයක් ඔවුන් හිතා මතා කළා කියලා නිගමනයකට එන්න අමාරුයි.” 

මෙම සිදුවීම දැක්වෙන වීඩියෝ පට කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දැකගන්නට ලැබුනු අතර හිටපු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් විචාරකයින් ද ඔවුන්ගේ පෞද්ගලික මතයන් ඍජුව පළකර ඇති ආකරය ද මේ වන විට කතාබහට තුඩු දෙන කාරණාවක් බවට පත්වී තිබේ.  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මේ අතුරින් මෙම චෝදනාවන් සම්බන්ධයෙන් හිටපු ඉන්දීය ආරම්භ පිතිකරු Virender Sehwag සහ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන Akash Chopra යන මහත්වරුන් දක්වා ඇති අදහස් බොහෝදෙනාගේ අවධානයට බඳුන් වී ඇති බව දක්නට ලැබුනා. 

තවද මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යයන්හි විකාශනය වන අවස්ථාවේ දී සජීව විස්තර විචාරනයෙහි නිරත වූ හිටපු දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායක Shaun Pollock සිය පුදුමය මෙන්ම නොසතුට පළකර සිටි ආකාරය පිළිබඳව ද දැනටමත් සමාජ මාධ්‍ය තුළ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. 

මෙහිදී ඔහු දැඩිව ප්‍රකාශ කර සිටියේ තරග තීරකවරයා විසින් මෙම ක්‍රියාව පිළිබඳව නැවත වරක් විමසා බලන්නේ නම් එය වඩාත් උචිත බවයි. නමුත් මෙලෙස එල්ල වන චෝදනාවන් හට කෙටි පිළිතුරක් ලබාදෙමින් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Stuart Broad සිය twitter ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබුනේ මේ අයුරින්. 

“මෙසේ සංසරණය වන අසම්පූර්ණ වීඩියෝව වෙනුවෙට එම අවස්ථාවේ ඔවුන්ගේ හැසිරීම හරි හැටි නිරීක්ෂණය කළ හැකි නම් ඕනෑම අයෙකුට තේරුම් ගත හැකියි එය උවමනාවෙන් සිදුකළ දෙයක් නොවන බවට. කථාව එතනින් අවසන්.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<