මුම්බායි සමඟ ගැටෙන්නට චෙන්නායි සුදුසුකම් ලබයි!

163

නම ගිය පිතිකරුවන් දෙදෙනෙක් වන ශේන් වොට්සන් සහ ඩු ප්ලෙසිස් ලබා දුන් සුපිරි ආරම්භයත්, පන්දු යවන්නන්ගේ සාමූහික දක්ෂතාත් නිසා මෙවරත් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (10) අවස්ථාව උදා විය. ඒ තරගාවලියේ මේ දක්වා පෙරළිකාර ගමනක් පැමිණි ශ්‍රෙයාස් අයර් නායකත්වය දරන දිල්ලි කැපිටල්ස් පිළ තරගාවලියෙන් ඉවත් කරමිනි.

දිල්ලියේ තරුණ ජවය සන්රයිසස් පළවා හරියි!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පැවති පිටුදැකීමේ (Eliminator) තරගයෙන් පරාජයට…

ඊයේ විශාකාපට්නම් හිදී පැවති තරගය මෙවර IPL තරගාවලියේ දෙවැනි පිටුදැකීමේ (Eliminator) තරගය වූ අතර එහි කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි නායක එම්. එස්. දෝනි සමත් විය. ඔහුගේ තීරණයට අනුව දිල්ලි පිලට සිදු වූයේ පිතිකරණය සඳහා මුලින් පිටියට පිවිසීමටයි. එහි දී පසුගිය තරගයේ දී සන්රයිසස් පිළ පරාජය කිරීමට සුපිරි ඉනිමකින් සහාය වුනු ප්‍රිත්වි ශෝට ඊයේ ආරම්භක පිතිකරණ ස්ථානයේ සාර්ථක වන්නට නොහැකි වීම දිල්ලි පිළට විශාල පාඩුවක් විය. පරිණත පිතිකරු ශිකර් ධවාන්ටත් ලකුණු 18 දී ඉනිම නිමා කරන්නට සිදු විය.

නායකත්වයේ වගකීම නිසාමදෝ තීරණාත්මක අවසන් තරග කිහිපයේ දී ම ලකුණු අතරට පිවිසෙන්නට නොහැකි වූ ශ්‍රෙයාස් අයර් ද ලකුණු 13දී දැවී ගියේය. ඉන් අනතුරුව රිශාබ් පන්ට් සහ කොලින් මන්රෝ අතරේ යම් සබඳතාවයක් ගොඩ නැගුණ ද ඒ වන විටත් “දැවැන්ත ලකුණු පුවරුවක” සිහිනය දිල්ලි පිළෙන් ඉවතට ගසාගෙන ගොස් තිබුණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිශාබ් පන්ට් පන්දු 25කින් ලකුණු 38ක් රැස් කළේය. ඒ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟිනි. මන්රෝගේ ලකුණු 27ට හතරේ පහර 4ක් ඇතුළත් විය.

පසුපෙළ පිතිකරුවන් ලෙස රදර්ෆර්ඩ් සහ ශර්මා ලකුණු 10 බැගින් රැස් කළ ද දිල්ලි ඉනිම ඊයේ නිමාව දුටුවේ ලකුණු 147කටයි. ඒ අතරතුරේ දී ඔවුන්ගේ කඩුලු 9ක්ම දවා ගන්නට චෙන්නායි පන්දු යවන්නන් සමත්ව තිබුණි. ඒ බ්‍රාවෝ, ජඩේජා, හර්බජාන් සහ චහාර් අතරේ කඩුලු 2 බැගින් බෙදා දෙමිනි. අනෙක් අතින් විශාකාපට්නම් තණතිල්ලේ ලකුණු 160කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම අපහසු කරුණක් නොවන නිසා මොවුන් කිහිප දෙනා දැක්වූ දස්කම් සැබවින්ම ඉහළ මට්ටමක තිබූ බව පිළිගත යුතුය.

රාමට් ෂාට නූලෙන් ගිලිහුණ වාර්තාව

ඇෆ්ගනිස්තාන දකුණත් පිතිකරු රාමට් ෂා වර්ෂාව නොතකමින් කළ සටනේ උපරිමය තරගයේ …

ඒ අනුව ලකුණු 148ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම මෙහෙයුමෙන් 75%ක්ම සපුරා දෙන්නට සමත් වීම ද ඔවුන්ට අවසන් තරගයේ ආසන වෙන්කර ගැනීමට ප්‍රබල රුකුලක් විය. ඒ දිල්ලි පිළේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කරමින් වොට්සන් සහ ප්ලෙසිස් අතරේ ලකුණු 81ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගුණු නිසයි. මුල්ම කඩුල්ල ලෙස දැවී ගිය ප්ලෙසිස් පවා පන්දු 39කින් අර්ධ ශතකයක් රැස්කර ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ඉනිමේ මුල් කොටසේ දී එතරම් පිතිකරණ අන්තය ලබා නොගත්ත ද තීරණාත්මක තරගයක දී සාර්ථක වූ ශේන් වොට්සන් ද ඊයේ පන්දු 32කින් ප්‍රවේගකාරී ලකුණු 50ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 3ක් සහ ඔහුටම ආවේණික ජවය කැටිවුණු දැවැන්ත හයේ පහර 4ක් සමඟයි. ඉන් අනතුරුව පිටියේ එක්වුණු රයිදු සහ බ්‍රාවෝ චෙන්නායි පිළ සුරැකිව අවසන් මහා තරගය දක්වා රැගෙන යන්නට සමත් වූහ. ඒ තවත් සම්පූර්ණ පන්දුවාරයක් ඉතිරිව තිබිය දීයි. තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස්ට හිමි විය.

ස්ටීව් ස්මිත් ලෝක කුසලානයට පෙර ඇඟ උණුසුම් කරගනී

නවසීලන්ත පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම…

මෙය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL තරගාවලියක අවසන් තරගයට පිවිසුණු සිව්වැනි අවස්ථාවයි. මීට පෙර 2010, 2013 සහ 2015 වසරවල දී මෙම කණ්ඩායම් දෙක IPL රන් කුසලානය වෙනුවෙන් වූ අවසන් සටනට එක්වී ඇති අතර අවස්ථා දෙකක දී මුම්බායි පිළත් එක් අවස්ථාවක දී චෙන්නායි පිළත් ජය ගෙන ඇත. ඒ අනුව හෙට දිනයේ මෙම සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් දෙදෙනා අතරේ සිදුවන ගැටුම දෙස ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයින් සියලු දෙනාගේම දෑස් යොමු වී පවතින බවට කිසිදු සැකයක් නැත.

දිල්ලි කැපිටල්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 147 (පන්දුවාර 20): රිශාබ් පන්ට් 38, කොලින් මන්රෝ 27, ශිකර් ධවාන් 18, ශ්‍රෙයාස් අයර් 13, ඉශාන්ට් ශර්මා 10*, ඩ්වේන් බ්‍රාවෝ 2/19, රවීන්ද්‍ර ජඩේජා 2/23, දීපක් චහාර් 2/28, හර්බජාන් සීන් 2/31.

චෙන්නායි සුපර් කිංග්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 151 (පන්දුවාර 19): ශේන් වොට්සන් 50, ෆැෆ් ඩු ප්ලෙසිස් 50, අම්බති රයිදු 20*, සුරේෂ් රයිනා 11, ට්‍රෙන්ට් බෝල්ට් 1/20, අමිත් මිෂ්රා 1/21, ඉශාන්ට් ශර්මා 1/24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<