බන්ධනාගාරය රාජ්‍ය සේවයේ පළමුවැනියා වේ

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය 2023

1301

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් දෙපාර්තමේන්තු පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා.

බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මග
1 දුම්රිය දෙපාර්තමේන්තුව බන්ධනාගාර කණ්ඩායමට ලකුණු 25ක ජයක්.
2 රේගු දෙපාර්තමේන්තුව රේගු කණ්ඩායමට ලකුණු 13ක ජයක්.
3 රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය බන්ධනාගාර කණ්ඩායමට ලකුණු 59ක ජයක්.
4 පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් කණ්ඩායමට ලකුණු 87ක ජයක්.
5 දකුණු පළාත් සභාව බන්ධනාගාර කණ්ඩායමට ලකුණු 63ක ජයක්
6 සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය කණ්ඩායමට ලකුණු 45ක ජයක්.
7 කොළඹ නගර සභාව බන්ධනාගාර කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
8 පේරාදෙණිය විශ්වවිද්‍යාලය වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.
අවසන් පූර්ව තරගය
9 රේගු දෙපාර්තමේන්තුව බන්ධනාගාර කණ්ඩායමට ලකුණු 8ක ජයක්.
අවසන් මහා තරගය
10 පොලිස් දෙපාර්තමේන්තුව බන්ධනාගාර කණ්ඩායමට ලකුණු 20ක ජයක්.

කණ්ඩායම් 9ක් අතර පැවති මෙම තරගාවලියේ පළමු වටයේ දී බන්ධනාගාර ක්‍රීඩකයෝ රේගු, පොලිස් සහ සෞඛ්‍ය කණ්ඩායම් හමුවේ පරාජය වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමඟ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරගයක් සේ අවසන් කළා. එම තරග ප්‍රතිඵලත් සමඟ ඔවුන්ට එම වටයේ හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානය රේගු දෙපාර්තමේන්තුවට හිමි වූ අතර දෙවැනි ස්ථානය පොලිස් දෙපාර්තමේන්තුවටත්, තෙවැනි ස්ථානය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටත් හිමි වුනා.

ඒ අනුව පැවති අවසන් පූර්ව තරගයේ දී බන්ධනාගාර කණ්ඩායම විසින් රේගු කණ්ඩායම පරාජය කරමින් ද, පොලිස් කණ්ඩායම විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ කණ්ඩායම පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහ තරගය

කොළඹ Ace Capital ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් පොලිස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩකයන් සතු කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් ඩිල්ශාන් එදිරිසිංහ පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින්  ලකුණු 50ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

කඩුලු ලබා ගැනීමේ දී සුජාන් මයුර, ලහිරු ද සිල්වා සහ මංජුල ජයවර්ධන කඩුලු 2 බැගින් බොදා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පොලිස් කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැතුම් පලිහවඩන (16) සහ සුජාන් මයුර (29) ලකුණු 45ක සබඳතාවක් එක් කරමින් කදිම ආරම්භයක් ලබා ගත්ත ද, එවැනි සබඳතා දිගින් දිගට ම පවත්වා ගෙන යෑමට පොලිස් ක්‍රීඩකයෝ අසමත් වීම බන්ධනාගාර ක්‍රීඩකයන්ට වඩාත් වාසි සහගත වුනා.

මැදපෙළින් පිටියට පිවිසි අසිත ජයවර්ධන පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින්  ලකුණු 63ක් ලබා ගත්ත ද, එය පමණක් ඔවුන්ගේ ඉනිමට ප්‍රමාණවත් වූයේ නැහැ. අසිත එක් අන්තයක සිර වී සිටිය දී නලින් ශ්‍රියංකර එක් පන්දුවාරයක් තුළ පොලිස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වූ නායක මලිත් ද සිල්වා සහ මංජුල ජයවර්ධන පිටියෙන් ඉවත් කිරීමට සමත් වීමත් සමඟින් තරගයේ වාසිය බන්ධනාගාරය වෙත නතු වුනා.

පොලිස් ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 4ක් පමණක් ලබා දී දවා ගැනීමට බන්ධනාගාර පන්දු යවන්නෝ සමත් වුනා.

එහි දී කසුන් රුබේරු ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර නලින් ශ්‍රියංකර ද ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව – කඩුලු 9ක් දැවී 187 (50) ඩිල්ශාන් එදිරිසිංහ 50, ප්‍රභාත් මංජුල 30, මලිත් ද සිල්වා නොදැවී 24, සුජාන් මයුර 2/23, ලහිරු ද සිල්වා 2/21, මංජුල ජයවර්ධන 2/40
  • පොලිස් දෙපාර්තමේන්තුව – සියලුම දෙනා දැවී 167 (43.1) සුජාන් මයුර 29, අසිත ජයවර්ධන 63, ධනුක ද සිල්වා නොදැවී 24, නලින් ශ්‍රියංකර 2/27, කසුන් රුබේරු 4/10

 බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමට ලකුණු 20ක ජයක්.

බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ දක්ෂතා

බන්ධනාගාර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ දී වඩාත් දක්ෂතා දැක්වූ පිතිකරු වූයේ ප්‍රභාත් මංජුල. ඔහු ඉනිම් 9ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 331ක්. ඔහුගේ එම දක්ෂතාව තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගැනීමට ද සමත් වෙනවා.

ඔහු දක්ෂතා දැක්වූ ඉනිම් අතරට කොළඹ නගර සභාවට එරෙහිව පන්දු 78ක දී වාර්තා කරන ලද ලකුණු 82ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව පන්දු 75ක දී වාර්තා කරන ලද ලකුණු 66ක්, දකුණු පළාත් සභාවට එරෙහිව පන්දු 68ක දී වාර්තා කරන ලද ලකුණු 50ක් සහ දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව පන්දු 85ක දී වාර්තා කරන ලද ලකුණු 52ක් ද ඇතුළත්.

ඊට අමතරව කසුන් රුබේරු ඉනිම් 9ක දී ලකුණු 301ක් ලබා ගනිමින් තම කණ්ඩායමේ මෙන් ම තරගාවලියේ ද පිතිකරුවන් අතර දෙවැනි අසුන වෙන්කර ගන්නවා. ඊට දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායමට එරෙහිව පන්දු 98ක දී ලබා ගන්නා ලද ලකුණු 138ක් ද ඇතුළත්. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

ඉන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතර පෙරමුණ ගන්නේ දිල්ශාන් එදිරිසිංහ. ඔහු තරග 9ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 208ක්. ඊට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට එරෙහිව පන්දු 85ක දී වාර්තා කරන ලද ලකුණු 71ක් සහ අවසන් මහා තරගයේ දී පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමට එරෙහිව පන්දු 107කට මුහුණ දෙමින් වාර්තා කරන ලද ලකුණු 50ක් ද ඇතුළත්.

පන්දු යැවීමේ දී බන්ධනාගාර කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතා දක්වන්නේ මලිත් ද සිල්වා. දකුණතින් මද වේගපන්දු යවන මලිත් ක්‍රියාත්මක තරග 9ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 19ක්. එය මෙවර තරගාවලියේ පන්දු යවන්නන් ලැයිස්තුගත කිරීමේ දී දෙවැනි අසුන වෙන්කර ගත් දක්ෂතාව බවට පත් වුනා. ඔහුගේ පන්දු යැවීමේ උපරිම දක්ෂතාව වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ලකුණු 29කට ලබා ගත් කඩුලු 5යි.

ඊට අමතරව දකුණතින් මද වේගපන්දු යවන්නන් වූ ගයාන් නිර්මාල් සහ කසුන් රුබේරු කඩුලු 13ක් බැගින් ලබා ගනිමින් බන්ධනාගාර ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක් වූවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම: විමන්ද රාධික (නායක) ගයාන් නිර්මාල් (උප නායක), ඉසුරු මධුශංක, දිල්ශාන් එදිරිසිංහ, චේතිය ප්‍රභාත්, ප්‍රභාත් මංජුල (කඩුලු රකින්නා) කසුන් රුබේරු, කෝසල ධනංජය, මලිත් ද සිල්වා, රොෂාන් චින්තක, නලින් ශ්‍රියංකර, විකුම් උදාර, සදීප් චතුරංග, දමිඳු ඉෂාර.

නිලධාරීන්: තුෂාර උපුල්දෙණිය මහතා (බන්ධනාගාර කොමසාරිස් ජනරාල්), චන්දන ඒකනායක මහතා (අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්), ජගත් වීරසිංහ මහතා (ක්‍රීඩා සහ විනෝද සංගංමයේ ක්‍රිකට් සභාපති), ගාමිණී බී. දිසානායක මහතා (ක්‍රීඩා සහ විනෝද සංගමයේ ක්‍රිකට් භාණ්ගාරික), ප්‍රබුද්ධ සිරිවර්ධන මහතා (ක්‍රීඩා සහ විනෝද සංගමයේ ක්‍රිකට් ලේකම්), මහරාජා කජතීපන් මහතා (පුහුණුකරු).

මේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තියෙන්නේ පුදුමාකාර සතුටක්. අපි මේ පැමිණි ගමනේ දී විශාල ලෙස මහන්සි වුණා. ලැබෙන් අවස්ථාවන්වල දී උපරිම ලෙස පුහුණුවීම් කරමින් තරගාවලියට මුහුණ දුන්නා. මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා සහ බන්ධනාගාර ක්‍රීඩා සහ විනෝද සංගමයේ නිලධාරීවරුන් දැක්වූ සහයෝගය අමතක කරන්න බැහැ. ඔවුන් හැකි සෑම පහසුකමක් ම අප වෙත ලබා දෙමින් මේ ගමන යෑමට මඟ සැලසුවා,” බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ උප නායක ගයාන් නිර්මාල් ThePapare.com සමඟ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව මීට පෙර ද බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම දිනා ගැනීමට සමත් වෙනවා. ඒ මීට වසර 6කට පෙර 2017 වසරේ දී. එම වසරේ ද බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ නායකත්වය දරන්නේ මෙවර ද ශූරතාව දිනා දීමට සමත් වූ විමන්ද රාධික වන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ද මෙවර එම තනතුර ම උසුලන ගයාන් නිර්මාල්.

එමෙන් ම එම වසරේ ජයග්‍රාහී කණ්ඩායමේ මෙන්ම මෙවර ද ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ ද කටයුතු කරනු ලබන්නේ මහරාජා කජතීපන් මහතා විසින්. ඔහු 2016 වසරේ සිට ම බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ කටයුතු කරන අතර ම ඇමෙරිකාවේ Pinner Farm ක්‍රිකට් සමාජයේ ද පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අපගේ ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වනවා වගේ ම සේවයක් කජතීපන් මහරාජා මහතා බන්ධනාගාර ක්‍රිකට් ක්‍රීඩාවට දක්වනවා. ඇත්තට ම අපේ ජයග්‍රහණයේ සුවිශේෂී මං සලකුණක් ලෙස ඒ මහතා හැඳින්විය හැකියි. ඒ වගේ ම මේ ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමේ සෑම කෙනෙක් දැක් වූ දායකත්වයට සේ ම සහ අප දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරී මණ්ඩලයේ සෑම කෙනෙක් ම දැක් වූ දායකත්වයටත් කණ්ඩායම වෙනුවෙන් මා ස්තූති වන්ත වෙනවා, ගයාන් නිර්මාල් නැවත පැවසුවා.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ පළමු පෙළ තරගාවලියේ ශූරතාව දිනාගත් බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<