ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ලෝක කුසලාන ගමන් මග

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

232

8 වැනි වරටත් පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා රටවල් 10ක් එක් වන අතර ශ්‍රී ලංකාව මෙවර ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ගමන් මග
පැවති රට කාලය ජයග්‍රාහකයන්
1 එංගලන්තය 2009 එංගලන්තය
2 බටහිර ඉන්දීය කොදෙව් 2010 ඕස්ට්‍රේලියාව
3 ශ්‍රී ලංකාව 2012/13 ඕස්ට්‍රේලියාව
4 බංග්ලාදේශය 2013/14 ඕස්ට්‍රේලියාව
5 ඉන්දියාව 2015/16 බටහිර ඉන්දීය කොදෙව්
6 බටහිර ඉන්දීය කොදෙව් 2018/19 ඕස්ට්‍රේලියාව
7 ඕස්ට්‍රේලියාව 2019/20 ඕස්ට්‍රේලියාව

2009 තරගාවලිය

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන මංගල තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ B කාණ්ඩයෙන්. ඒ සඳහා සත්කාරක එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් ඇතුළත් වෙනවා.

චමරි පොල්ගම්පොළගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ මුහුණ දුන් මංගල තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. පාකිස්තානය සමඟ වූ එම තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ඒෂානි ලොකුසූරිය තරගයේ වීරයා සම්මානයෙන් පුද ලැබීමට ද සමත් වුනා.

නමුත් ඊට පසුව පැවති එංගලන්තය හා තරගයේ දී ලකුණු 71ක පරාජයක් සහ ඉන්දියාව සමඟ පැවති තරගයේ දී කඩුලු 5ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා

ICC Women's World Cup

තරගාවලිය නිමා වන විට  මෙරට පිතිකාරිනියන් අතරින් පළමු ස්ථාන ත්‍රිත්වයට පත් වීමට ඉනෝකා ගලගෙදර (58), දීපිකා රසාංගිකා (46) සහ ඩිලානි මනෝදරා (39) සමත් වෙනවා.

පන්දු යවන්නියන් අතරින් පෙරමුණ ගන්නේ දකුණතින් වේගපන්දු යැවූ ඒෂානි ලොකුසූරිය. ඇය ඉන්දියාවට එරෙහිව ලකුණු 18කට දවා ගත් කඩුලු 4ක් සමඟින් කඩුලු 8ක් ලබා ගන්නවා. ඊට පසුව උදේශිකා ප්‍රබෝධනි කඩුලු 5ක් ලබා ගනිමින් ද සහ චමරි පොල්ගම්පොළ සහ රෝස් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් ලබා ගෙන ලැයිස්තුවට එක් වෙනවා

2010 තරගාවලිය

මෙම තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නැවත වතාවක් තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයෙන්. එවර පෙර වසරේ දී හමුවූ ඉන්දියාව සහ පාකිස්තානය නැවත වතාවක් එම කාණ්ඩයට ඇතුළත් වූ අතර එංගලන්තය වෙනුවෙන් නවසීලන්තය එක් ව සිටියා.

චමනි සෙනෙවිරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේ දී ද තමන් මුහුණ දුන් පළමු තරගයේ දී තියුණු අවසානයකින් පසුව ලකුණක ජයග්‍රහණයක් ලබා ගන්නවා. පෙර වසරේ දී මෙන් ම මෙම වසරේ දී ද ඔවුන්ගේ ප්‍රතිවාදිනියන් වූයේ පාකිස්තානයයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් නවසීලන්තය සමඟ තරගයේ දී ලකුණු 47ක පරාජයක් ද සහ ඉන්දියාව හා සමඟ තරගයේ දී ලකුණු 71ක පරාජයකට ද මුහුණ දුන්නා.

තරගාවලිය නිමා වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව පිතිකාරිණියන් අතරින් තරග 3ක දී ලකුණු 52ක් ලබා ගත් සුවිනි ද අල්විස් සහ පන්දු යවන්නියන් අතරින් නවසීලන්තයට එරෙහිව ලකුණු 21කට කඩුලු 4ක් සමඟින් කඩුලු 5ක් දවා ගත් චමනි සෙනෙවිරත්න ද පෙරමුණ ගත්තා.

පිතිකාරිණියන් අතරින් දීපිකා රසාංගිකා (39) සහ දේදුණු සිල්වා (34) ඉන් අනතුරුව ලැයිස්තුගත වූ අතර පන්දු යවන්නියන් අතරින් ශ්‍රීපාලි වීරක්කොඩි, සුවිනි ද අල්විස්, ඒෂානි ලොකුසූරිය සහ දීපිකා රසාංගිකා කඩුලු 2 බැගින් දවා ගනිමින් ලැයිස්තුගත වුනා

2012/13 තරගාවලිය

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගාවලියේ මෙරට නායිකාව වූයේ ශෂිකලා සිරිවර්ධන.

නැවතත් සුපුරුදු ලෙසින් ම B කාණ්ඩයෙන් තරගාවලියට එක් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. මෙවර එම කාණ්ඩයට අයත් වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන්, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් වෙතින් කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වුනා.

ICC Women's World Cup

අනතුරුව ශ්‍රී ලංකාව හා තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්. ඔවුන් සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. එම තරගයේ දී ප්‍රතිවාදී කඩුලු 2ක් ලකුණු 2කට බිඳ හෙළූ චමනි සෙනෙවිරත්න තරගයේ වීරවරිය ලෙසින් නම් කෙරෙනවා.

නවසීලන්තය සමඟ පැවති තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වන්නේ කඩුලු 8ක පරාජයකට මුහුණ දීමටයි.

එම තරගාවලියේ දී 2014 වසරේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයකට එක් වීමට A කාණ්ඩයෙන් සිව්වැනියා වූ ඉන්දියාව සමඟ B කාණ්ඩයෙන් තෙවැනියා වූ ශ්‍රී ලංකාවට සිදු වුනා. එම තරගයේ දී කඩුලු 9ක පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව හමුවේ පිට පිට ම තරග ත්‍රිත්වයක පරාජයකට මුහුණ දෙනවා.

මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකා Ekta Bisht තමන් විසින් යැවුණ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ පිට පිට පන්දු 3ක දී ඩිලානි මනෝදරා, යශෝධා මෙන්ඩිස් සහ ඒෂානි ලොකුසූරිය දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගාවලිය අවසන් වන විට පිතිකාරිණියන් අතරින් ශෂිකලා සිරිවර්ධන තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 62ක් ද, චමරි අතපත්තු ලකුණු 47ක් ද සහ ඩිලානි මනෝදරා සහ ඉනෝකා ගලගෙදර ලකුණු 45ක් බැගින් ලබා ගන්නවා.

කඩුලු ලබා ගැනීමේ දී ඉනෝකා රණවීර කඩුලු 5ක් සහ චමනි සෙනෙවිරත්න කඩුලු 3ක් දවා ගනිමින් පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ ඉහළ ස්ථාන අතරට එක් වෙනවා.

2013/14 තරගාවලිය

මෙවර තරගාවලිය සඳහා ප්‍රථම වරට කණ්ඩායම් 10ක් එක් වන අතර ශ්‍රී ලංකාව ඊට සහභාගී වෙන්නේ නැවතත් B කාණ්ඩයෙන්. ඊට එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ බංග්ලාදේශය ද ඇතුළත් වෙනවා.

නැවත වතාවක් කණ්ඩායම් නායකත්වය ශෂිකලා සිරිවර්ධන සතු වෙන අතර මෙම තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණයි. එය ලෝක කුසලාන තරගවල පිට පිට තරග ත්‍රිත්වයක් පරාජය වූ ඉන්දියාවට එරෙහිව වීම විශේෂත්වයක්.

https://www.thepapare.com/harshitha-samarawickrama-named-in-icc-100-cricket-superstars-translation-sinhala/

අනතුරුව 2016 වසරේ සුදුසුකම් ලබා ගැනීමේ වටයට එක් වූ ශ්‍රී ලංකාව එහි දී නවසීලන්තය සහ පාකිස්තානය සමඟ වූ තරග ද පරාජයට පත් වෙනවා. කෙසේ වෙතත් කණ්ඩායම් ලබා ගත් ප්‍රසාද ලකුණු මත ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින් ඊළඟ තරගාවලියේ ද අසුනක් වෙන් කර ගනිමින්.

තරගාවලිය අවසන් වෙද්දී ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් පෙරමුණ ගැනීමට යශෝධා මෙන්ඩිස් සමත් වුනා. ඇය තරග 6ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 143ක්. ඊට අමතරව ඒෂානි ලොකුසූරිය ලකුණු 115ක් ද සහ චමරි අතපත්තු ලකුණු 110ක් ද ලබා ගනිමින් පෙරමුණ ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශෂිකලා සිරිවර්ධන කඩුලු 7ක් දවා ගනිමින් 1 වැනි ස්ථානයට පත් වෙද්දී, උදේශිකා ප්‍රබෝධනී කඩුලු 6ක් සහ ඉනෝකා රණවීර කඩුලු 3ක් දවා ගනිමින් පළමු ස්ථාන 3ට පත් වුනා.

2015/16 තරගාවලිය

ඉන්දියාවේ පැවති මෙම තරගාවලියේ දී චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ A කාණ්ඩයෙන්. ඔවුන් සමඟ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තයත් ඊට අයත් වෙනවා.

තරගාවලියේ දී ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව ලකුණු 14ක ජයග්‍රහණයක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නා අතර අනෙකුත් තරග 2 පරාජයට පත් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ A කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගනිමින්.

ICC Women's World Cupතරගාවලිය අවසන් වන ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් චමරි අතපත්තු තරග 4ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 141ක් ලබා ගන්නවා. දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් එම ලකුණු 52, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක වාර්තා කරන ලද මංගල අර්ධ ශතකය ද වුනා.

ඇයගේ එම ඉනිමට අමතර ව ඩිලානි මනෝදරා ලකුණු 85ක් සහ ඒෂානි ලොකුසූරිය ලකුණු 65ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථාන 3ට පත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී සුගන්ධිකා කුමාරි කඩුලු 5ක් දවා ගනිමින් පළමු ස්ථානයට පත් වෙද්දී ඉනෝකා රණවීර කඩුලු 3ක් ද උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2ක් ද ලබා ගනිමින් ඊට පසුව ලැයිස්තුගත වෙනවා.

2018/19 තරගාවලිය

චමරි අතපත්තුගේ නායකත්වය යටතේ නැවත වතාවක් තරග බිමට පිවිසි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී ද නැවතත් A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙනවා. බටහිර ඉන්දීය කොදෙව්වන්, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය එම කාණ්ඩයට අයත් අනෙක් රටවල් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ දී ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ බංග්ලාදේශය සමඟ තරගය පමණක් වන අතර එංගලන්තය සමඟ පැවති තරගය වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙනවා.

තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් පෙරමුණ ගැනීමට චමරි අතපත්තු සමත් වෙනවා. ඇය තරග 3ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 59ක්. ඊට අමතර ව ශෂිකලා සිරිවර්ධන ලකුණු 58ක් සහ ඩිලානි මනෝදරා ලකුණු 44ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවට එක් වෙනවා.

පන්දු යැවීමේ දී කඩුලු 4 බැගින් දවා ගත් ශෂිකලා සිරිවර්ධන සහ උදේශිකා ප්‍රබෝධනී පෙරමුණ ගන්නා අතර චමරි අතපත්තු කඩුලු 3ක් සහ ඕෂදී රණසිංහ කඩුලු 2ක් දවා ගනිමින් එම ලැයිස්තුවට එක් වෙනවා.

2019/20 තරගාවලිය

ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගාවලියේ දී නැවත වතාවක් ශ්‍රී ලංකාව තරග පිටියට එක් වෙන්නේ A කාණ්ඩයෙන්. ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංග්ලාදේශය තරග පිටියට පිවිසෙනවා.

එම තරග අතරින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙද්දී අනෙකුත් තරග පරාජයට වීමට සිදු වෙනවා.

ICC Women's World Cupමෙම තරගාවලියේ දී නැවත වතාවක් අර්ධ ශතකයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වීම කැපී පෙනෙනවා. ඇය ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

එම අර්ධ ශතකයත් සමඟින් ඇය තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 154ක් ලබා ගන්නවා. ඊට අමතරව හසිනි පෙරේරා ලකුණු 66ක් සහ අනුශ්කා සංජීවනි ලකුණු 57ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවට එක් වෙනවා.

පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය කඩුලු 7ක් ලබා ගත් ශෂිකලා සිරිවර්ධන සතු වෙද්දී, දෙවැනි ස්ථානය කඩුලු 3ක් ලබා ගත් උදේශිකා ප්‍රබෝධනී සතු වෙනවා. ඊට අමතරව කවිශා දිල්හාරි, චමරි අතපත්තු සහ අචිනි කුලසූරිය කඩුලු 2 බැගින් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ උණුසුම විඳ ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<