ආසියානු කුසලානයට යන ඇෆ්ගනිස්තාන සංචිතය නිකුත් කරයි

ආසියානු කුසලානය 2022

265

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළ 17 දෙනෙකුගෙන් යුත් ඇෆ්ගනිස්ථාන සංචිතයට 34 වියැති Samiullah Shinwari පිතිකරුවෙකු ලෙස නැවතත් එක් කර තිබෙනවා.

Rashid khan ප්‍රධානතම තුරුම්පුව ලෙස පසෙකින් තබා ගනිමින් Mohammad Nabi විසින් ඇෆ්ගන් කණ්ඩායම මෙහෙයවනු ඇත.

“මේ ආසියානු කුසලානය අපිට ගොඩක් වැදගත් තරගාවලියක්, ඒ නිසාවෙන් අපිට සිටින වටිනාම ක්‍රීඩකයින් කණ්ඩායමට තෝරා ගත්තා,” ඇෆ්ගන් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික Noor Malikzai තේරීම් සම්බන්ධයෙන් තම අදහස එලෙස පවසා සිටියා.

තවදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, Samiullah Shinwari ආසියානු කුසලානය වෙනුවෙන් නැවතත් කණ්ඩායමට තෝරා ගත්තා. ඔහු ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා, ඒ නිසා Ibrahim Zadran, Hashmatullah Shahidi, Najibullah Zadran and Mohammad Nabi ප්‍රමුඛ අපේ පිතිකරණ අංශය තවත් ශක්තිමත් කිරීමට ඔහුට හැකි වේවි.”

තම මංගල විස්සයි විස්ස තරගයට 2010 වසරේ දී ක්‍රීඩා කළ Shinwari මේ වන විට ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 64ක් ක්‍රීඩා කර තිබෙනවා. නමුත් ඔහු 2020 මාර්තු මාසයෙන් පසුව තවම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

පසුගිය දා පැවැත්වුණු Shpageeza Cricket League (SCL) තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් Shinwariව නැවත කණ්ඩායමට කැඳවා තිබෙනවා. එම තරගාවලියේ දී ඔහු ඉනිම් අටක් ක්‍රීඩා කරමින් ලකුණු 202 රැස් කරන්නේ ලකුණු 33.66ක සාමාන්‍යයක් සහ 122.42ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමිනුයි. මේ අතර ඔහු එම තරගාවලියේ හත්වැනියට වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වීමට සමත්කම් දැක්වූවා.

මේ අතර අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට Mujeeb Ur Rahaman වෙනුවට ආදේශ කළ වමත් චයිනාමන් පන්දු යවන Noor Ahamad ද ආසියානු කුසලානය වෙනුවෙන් ඇෆ්ගන් සංචිතයට කැඳවුම් ලබා තිබෙනවා. ඒ අතර Ibrahim zardan, Hashmatullah Shahidi සහ Naveen Ul Haq යන අය සංචිතයේ තමන්ගේ ස්ථාන ආරක්ෂා කරගැනීමට ද සමත් වී තිබෙනවා.

Ibrahim Zardan සහ Hashmatullah Shahidi විසින් SCL තරගාවලියේ දී දැක්වූ විශේෂ දස්කම් හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය ස්ථීර කර ගැනීමට සමත් වී තිබෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට Shahidi සමත් වෙන්නේ 58.71ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ලකුණු 411ක් ලබා ගනිමිනුයි. ඒ අතර Ibrahim විසින් ලකුණු 53ක සාමාන්‍යයක් රඳවා තබා ගනිමින් ලකුණු 318ක් රැස් කර ගැනීමට සමත් වෙනවා.

Leicestershire ප්‍රාන්තය නියෝජනය කරමින් T20 Blast තරගාවලියට සහභාගී වූ වේගපන්දු යවන Naveen Ul Haq තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලූ ලාභියා බවට පත් වන්නේ තරග 14කින් කඩුලු 24ක් බිඳ හෙලමිනුයි.

මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයින් ලෙස වේගපන්දු යවන Nijat Masood, දඟපන්දු යවන Qais Ahmad සහ තුන් ඉරියව් ක්‍රීඩක Sharafuddin Ashraf යන තිදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කණ්ඩායම සමඟ පිටත්ව යනු ඇත.

නමුත් පසුගිය දා සිම්බාබ්වේ සමඟ පැවති තරගාවලියේ දී විස්සයි විස්ස වරම් හිමි කර ගත් Ihsanullah Janatට ආසියානු කුසලානය සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ වන විට අයර්ලන්තය සමඟ තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වෙමින් සිටින අතර පළමු තරග දෙකේ දී ඔවුන්ට පරාජය වන්නට සිදු වුනා.

නමුත් ඊළඟ තරග දෙක ජයග්‍රහණය කරමින් තරගාවලිය සම තත්වයට ගෙන ඒමට සමත් වූ ඇෆ්ගනිස්තානුවන් තරගාවලියේ තීරණාත්මක සහ අවසන් තරගය අද (17) Belfast හිදී ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යාමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයට අයත්ව සිටින ඇෆ්ගනිස්තානය, ඔවුන්ගේ පළමු තරගය ලෙස අගෝස්තු 27 වැනිදා ඩුබායි හිදී ශ්‍රී ලංකාව මුණ ගැසීමට නියමිතයි. ඉන්පසුව ඔවුන් අගෝස්තු 30 වැනිදා සාජා හිදී බංගලාදේශය මුණ ගැසෙනු ඇත.

ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම: Mohammad Nabi (C), Najibullah Zadran (VC), Afsar Zazai (WK), Azmatullah Omarzai, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Mujib ur Rahman, Najibullah Zadran, Naveen ul Haq, Noor Ahmad, Rahmanullah Gurbaz (WK), Rashid Khan සහ Samiullah Shinwari.

  •  අතිරේක – Nijat Masoud, Qais Ahmad සහ Sharafuddin Ashraf.

ආසියානු කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<