ගෙවුනු දවස මැයි 05 – කළකිරීම නිසා අරවින්ද ගෙදර යයි?

797

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

අරවින්ද කමිටුවෙන් ඉවත් වෙයි

Aravinda

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුවෙන් ඉවත්වීමට අරවින්ද ද සිල්වා මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑත දී ගනු ලැබූ තීරණ කිහිපයකට ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මේ තීරණය ගෙන ඇත්දැයි සැක පළවන්නේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවල දී අදහස් දැක්වීමට ද ඔහු සහභාගී නොවුනු බැවිනි.

.

සම්පූර්ණ ලිපිය: අරවින්ද, ක්‍රිකට් කමිටුවෙන් ඉවත් වෙයි


දකුණු පළාතත් අවසන් පූර්ව වටයට

SLC U19 Semi Final

සුපිරි පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දකුණු පළාත් කණ්ඩායම හා වයඹ පළාත් කණ්ඩායම අතර ඊයේ (5) නිමා වූ දෙවන අවසන් පූර්ව තරගයෙන් දකුණු පළාත් කණ්ඩායම ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 42ක ජයග්‍රහණයක් සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

දකුණු පළාත – සියල්ලන්ම දැවී 260 (පන්දු වාර 49.5): රවිශ්ක විජේසිරි 78, රවීන් යසස් 42, අවිඳු තීක්ෂණ 40, ධනංජය ලක්ෂාන් 38, රන්දීර රණසිංහ 3/46, නිපුන් ධනංජය 2/40

වයඹ පළාත – 207/09 (පන්දු වාර 44): (D/L) නිපුන් ධනංජය 45, දුලාජ් රණතුංග 38, වනිත වන්නිනායක 32, සමිත ඩිල්ශාන් 24, රන්දීර රණසිංහ 22*, තිසර ඩිල්ශාන් 2/21, රවිශ්ක විජේසිරි 2/22

තරග වාර්තාව: දකුණු පළාත අවසන් සටනට ගෙන ගිය රවිශ්කගේ ප්‍රහාරය


   රග්බි   

ජයග්‍රහණය මහනුවරට

SJC vs TC

සිංගර් පාසල් රග්බි ලීගයේ දෙවන වටයේ දෙවන සතිය අරඹමින් ඊයේ (05) මහනුවර ත්‍රිත්ව විදුහලත් මරදාන සාන්ත ජෝසප් විදුහලත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණි. එහි දී ලකුණු 30-25ක් ලෙස ජය ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි. ජෝසප් විද්‍යාලය තරගය තුළ දී පන්දුව හැසිරවීමේ වැරදි 18ක් සිදු කර තිබූ අතර ඒ  සියල්ලෙහි වාසිය ත්‍රිත්වයන් විසින් ලබා ගන්නා ලදි.

.

ThePapare.com තරගයේ වීරයා – රිශේන් මාදෙන. (ත්‍රිත්ව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ත්‍රිත්ව – රිශේන් මාදෙන 1T, නේදන් චෑන් 1T, අනුක බෝයගොඩ 1T, අකිත සකලසූරිය 1T, වොරන් වීරකෝන් 1T, ලශේන් විජේසූරිය 1C 1P.
  • ජෝශප් – චතුර සෙනවිරත්න 1T, සචිත් සිල්වා 1T 2C 2P, විනුල් ප්‍රනාන්දු 1T.

සම්පූර්ණ වාර්තාව: නොනැවතුණු වැරදිවලින් ජෝසප්වරුන් පරාජයට


 වොලිබෝල් 

වොලිබෝල් සභාපතිත්වය සියඹලාපිටියට

Ranjith Siyambalapitiya

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා වොලිබෝල් සම්මේලනයේ සභාපතිත්වයට තේරී පත් වී ඇත. ඔහු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 16 වැනි සභාපතිවරයායි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිසිසුවකු වන ඒ මහතා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකත්වයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකත්වයත් දරා ඇති ‘විශ්ව විද්‍යාලයීය වොලිබෝල් වර්ණලාභියෙකි’.

සම්පූර්ණ වාර්තාව: අමාත්‍ය සියඹලාපිටිය, වොලිබෝලය අතට ගනියි


 සවි එසවීම 

රන්සිළුට රන් පදක්කමක්

Ransilu

ජාත්‍යන්තර සහ ආසියානු බර එසවීමේ සංගම් එක්ව සංවිධානය කරනු ලබන “ආසියානු බර එසවීමේ ශූරතාවලියේ දී”, ඩෙඩ් ලිෆ්ට් අංශයෙන් කි.ග්‍රෑ. 322ක බරක් එසවූ ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා නුවර දී යි.

.

සම්පූර්ණ වාර්තාව: රන්සිළු කි.ග්‍රෑ. 322ක් ඔසවයි

දිනයක අවසානය