දකුණු පළාත අවසන් සටනට ගෙන ගිය රවිශ්ක ගේ ප්‍රහාරය

1085
SLC

සුපිරි පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරඟාවලියේ දකුණු පළාත් කණ්ඩායම හා වයඹ පළාත් කණ්ඩායම අතර අද (5) නිමාවූ  දෙවන අවසන් පූර්ව තරඟයෙන් දකුණු පළාත් කණ්ඩායම ඩක්වර්ත් හා ලුවිස් නියායට අනුව ලකුණු 42ක ජයග්‍රහණයක් ලබාගත් අතර ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත් විය.

බස්නාහිර දකුණ අවසන් සටනට

අනාගතයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සමත් නව දක්ෂයින් සොයා යාම වෙනුවෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ…

 කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වුණු මෙම තරඟයේ කාසියේ වාසිය දකුණු පළාත ජයග්‍රහණය කළ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

පළමුව පිටියට අවතීර්ණ වූ ධනංජය ලක්ෂාන් හා හංසික වැලිහිඳ ලකුණු 52ක හොඳ ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර එහිදී ධනංජය 4 පහර 6ක් හා එක් 6 පහරක් තම ඉනිමට අන්තර්ගත කරවමින් ලකුණු 38ක් අත් කරගන්නා ලදි.

ආරම්භයේදී හොඳ ගොඩනැංවීමක් සහ සැලකිය යුතු ලකුණු මට්ටමක් පෙන්වූ නමුත් ඔවුන්ගේ ඉනිම ලකුණු 165ක් වන විට කඩුලු 6ක් දැවී එක් වරම ඉතා අසරණ තත්ත්වයකට පත්වූයේ වයඹ කණ්ඩායමේ පන්දු යැවීමේ දක්ෂතා නිසාවෙනි. එවන් දුරකට හෝ ඉනිම ගොඩනැංවූ රවීන් යසස් කඩුල්ල රැකගෙන ලකුණු 42ක් ලබාගත් අතර, ඔහුගේ ඉනිමට 4 පහර 2ක් අන්තර්ගත විය.

අනතුරුව පිටියට පිවිසි රවිශ්ක විජේසිරි හා එක්වූ අවිඳු තීක්ෂණ 7 වන කඩුල්ලට ලකුණු 75ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. වේගවත් පිතිකරණයක නිරත වෙමින් කඩා වැටී තිබූ තම කණ්ඩායමේ ලකුණු පුවරුවට නව ජවයක් එක් කරවූ රවිශ්ක, පන්දු 67ක් තුල ලකුණු 78ක් රැස්කරගත්තේ, 4 පහර 3ක් හා 6 පහර 6ක් එල්ල කරවමිනි. අවසානයේ ඔහුගේ එම වර්ණවත් ඉනිමට තිත තැබීමට රන්දීර රණසිංහ සමත් විය.

 ඔහුට සහය වූ අවිඳු 4 පහර 3ක් හා 6 පහර 2ක් සමගින් ලකුණු 40ක් රැස්කරගන්නා ලදි.

පන්දු යැවීමේ දී වයඹ කණ්ඩායම වෙනුවෙන් රන්දීර රණසිංහ ලකුණු 46කට කඩුලු 3ක් දවාලන විට, නිපුන් ධනංජය ලකුණු 40කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

ලකුණු 261ක ඉලක්කයක් හඹායාම සඳහා දෙවනුව පිටියට පැමිණි වයඹ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී දස්කම් දැක්වූ නිපුන් තම පිතිකරණ දක්ෂතා මැනවින් උපයෝගී කරගෙන  ලකුණු 45ක් ලබාගෙන සවිමත් අඩිතාලමක් සකස් කර දුන් නමුත්, එය දිගටම පවත්වාගෙන යාමට වයඹ කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් සමත් වූයේ නැත. දුලාජ් රණතුංග හා වනිත වන්නිනායක මැදපෙළ සවිමත් කරවමින් පිළිවෙළින් ලකුණු 38ක් හා 32ක් ලබාගැනීමට සමත් වූයේය. අවසානයේ අයහපත් ආලෝක තත්වය නිසා තරඟය නවතාලීමට විනිසුරුවරුන් තීරණය කළ අතර, අවසානයේ තරඟයේ විනිශ්චය ඩක්වර්ත් හා ලුවිස් නියායට අනුව ලබාදෙන ලදි.

පන්දු යැවීමේ දී තිසර ඩිල්ශාන් විසින් කඩුලු 2ක් දවාලූ අතර, තුන් ඉරියව් දස්කම් දැක්වූ රවිශ්ක ලකුණු 22ක් තුළ කඩුලු 2ක් දවාලමින් මෙම තරඟයේදී කැපී පෙනෙන දස්කම් දක්වන ලදි.

බස්නාහිර දකුණ හා දකුණු පළාත අතර පැවැත්වෙන, මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (7) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනු ඇති.

දකුණු පළාත – සියල්ලන්ම දැවී 260 (පන්දු වාර 49.5): රවිශ්ක විජේසිරි 78, රවීන් යසස් 42, අවිඳු තීක්ෂණ 40, ධනංජය ලක්ෂාන් 38, රන්දීර රණසිංහ 3/46, නිපුන් ධනංජය 2/40

වයඹ පළාත – 207/09 (පන්දු වාර 44): (D/L) නිපුන් ධනංජය 45, දුලාජ් රණතුංග 38, වනිත වන්නිනායක 32, සමිත ඩිල්ශාන් 24, රන්දීර රණසිංහ 22*, තිසර ඩිල්ශාන් 2/21, රවිශ්ක විජේසිරි 2/22

HIGHLIGHTS