ගෙවුණු දවස අප්‍රේල් 21 – රාජකීයයෝ බ්‍රැඩ්බි පලිහේ පෙරමුණ ගනී

259

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   ක්‍රිකට්   

රොෂේන් 100; දසුන් 90ට දැවී යයි

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් 4 අතර පැවැත්වෙන තරගාවලියේ තීරණාත්මක අවසාන සතියේ පළමු දිනය නිමාවේ දී, ගාල්ල කණ්ඩායම නියෝජනය කරන රොෂේන් සිල්වා නොදැවී ශතකයක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත්විය.

මීට අමතරව දිනයේ අර්ධ ශතක 4ක් වාර්තා වූ අතර ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් මාධව වර්ණපුර සහ දසුන් ශානක ද, කොළඹ කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ ලසිත් අබේරත්න ද එකී දක්ෂතාවේ නිරත වූහ.

පන්දු යැවීමේ දී වඩාත් කතාබහට ලක් වූයේ දඹුල්ල කණ්ඩායමේ ලහිරු මධුශංක ලබා ගත් කඩුලු 5 යි.

කොළඹ සහ දඹුල්ල අතර පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ දිනය අවසාන වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියහ.

පැවති අනෙක් තරගයේ දී නුවර ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 344ක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත්ව සිටියහ.

සම්පූර්ණ වාර්තාව: රොෂේන් සිල්වා අන්තර් පළාත් පළමු දිනය වර්ණවත් කරයි


   රග්බි   

ලකුණු 32ක වාසිය සමඟින් රාජකීයයන් පෙරමුණේ

බ්‍රැඩ්බි පලිහ කන්ද උඩරටට ගෙන යාමේ ත්‍රිත්ව විද්‍යාලයීය බලාපොරොත්තුව ඉතා දුර බැහැරට පලවා හරින්නට අගනුවර රාජකීයයන් සමත් විය.

74 වන බ්‍රැඩ්බි පලිහ සඳහා පැවති පළමු අදියරේ තරගය රාජකීය විද්‍යාල කණ්ඩායම පහසුවෙන් ජය ගත්තේ ලකුණු 39-07ක් ලෙසයි. මේ අනුව ඔවුන් දෙවන අදියර සඳහා ලකුණු 32ක වාසියක් ඉතිරි කර ගත් අතර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට අදාළ තරගයක් වූ මෙම අදියරේ ජයග්‍රහණයත් සමඟ සිය අපරාජිත වාර්තාව තව දුරටත් රඳවා ගන්නට ද සමත් විය.

සම්පූර්ණ වාර්තාව: සුපිරි රාජකීයයන් හමුවේ ත්‍රිත්ව සිංහයන් පසුබසී


සාන්ත පීතර ක්‍රීඩකයින් අපරාජිතව පළමු කොටස නිමා කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (21) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයෙන් ලකුණු 43-07 පහසු ජයක් හිමි කර ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයට අවතීර්ණ වූයේ පෙරළිකාර ඉසිපතන විද්‍යාලය ලකුණු 20-14ක් ලෙස පරාජය කරමිනි. එසේම සාන්ත පීතර විද්‍යාලයේ ප්‍රතිවාදීන් වූ ඩී. එස්. සේනානායක විද්‍යාලය ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 38-10ක් ලෙස පරාජය කරමින් මෙම තරගයට අවතීර්ණ වූ නිසා කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වූයේ ජයග්‍රාහී මානසිකත්වයක් සහිතවයි.

සම්පූර්ණ වාර්තාව: සාන්ත පීතර විද්‍යාලය අපරාජීතව පළමු වටයට තිත තබයි

දිනයක නිමාව