නායකත්වයේ ගැටුම් අවසන්, ලෝක කුසලාන නායකයා තීන්දුයි

1838

එළඹෙන මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (17) තීරණය කර ඇත.

එක්දින කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබඳව…

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්, ඇතුළුව මුළු ලොවක් අවධානයෙන් සිටි ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙය වනු ලබන නායකයා ලෙස වමතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්නව නම් කර ඇති අතර මේ සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමතිය ද හිමිව ඇති බව වාර්තා වේ.

දිමුත් ශ්‍රී ලංකා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ 23 වැනි නායකයා වන අතර ඔහු අවසන් වතාවට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නියෝජනය කර ඇත්තේ 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීයි. නිරන්තරයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පමණක් ක්‍රීඩා කළ දිමුත් මේ දක්වා ජාත්‍යන්තර මට්ටමේ එක්දින තරග 17ක දී ලකුණු 190ක් වාර්තා කරගෙන තිබෙන්නේ 15.83ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

2015 වසරේ සිට මේ දක්වා එකම එක්දින තරගයකටවත් ක්‍රීඩා කර නොමැති වුවත් පසුගිය දා (11) අවසන් වූ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ දිමුත්, ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55ක් ලෙස රඳවා තබා ගනිමින් ලකුණු 165ක් රැස් කරමින් පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පැමිණියේය. එපමණක් නොව මීට පෙර පැවති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ හෙට (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<