රොෂේන් සිල්වා අන්තර් පළාත් පළමු දිනය වර්ණවත් කරයි

1486

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් 4 අතර පැවැත්වෙන තරගාවලියේ තීරණාත්මක අවසාන සතියේ පළමු දිනය නිමාවේ දී, ගාල්ල කණ්ඩායම නියෝජනය කරන රොෂේන් සිල්වා නොදැවී ශතකයක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත්විය.

මීට අමතරව දිනයේ අර්ධ ශතක 4ක් වාර්තා වූ අතර ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් මාධව වර්ණපුර සහ දසුන් ශානක ද, කොළඹ කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ ලසිත් අබේරත්න ද එකී දක්ෂතාවේ නිරත වූහ.

ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු සටනට එක්වන්නේ කවුද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරුවන් හා පුහුණු ව්‍යුහය ප්‍රතිසංවිධානය……

පන්දු යැවීමේ දී වඩාත් කතාබහට ලක් වූයේ දඹුල්ල කණ්ඩායමේ ලහිරු මධුශංක ලබා ගත් කඩුලු 5 යි.

කොළඹ සහ දඹුල්ල අතර පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ දිනය අවසාන වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියහ.

පැවති අනෙක් තරගයේ දී නුවර ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 344ක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත්ව සිටියහ.

රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරග ලෙසින් පැවතියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තිරණය කළහ. ඒ අනුව පිටියට පිවිස ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ දිනය අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියහ.

පළමු ඉනිම ආරම්භ කළ කෞෂාල් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කළේ ලකුණු 28ක් පමණි. ලහිරු මදුශංකගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ෂෙහාන් ජයසූරිය දැවී යද්දී, ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 23කි.

අනතුරුව පිටියට පිවිසියේ ධනංජය ද සිල්වා ය. කෞෂාල් සහ ධනංජය අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 5ක් එක් වෙද්දී අනෙක් ආරම්භක පිතිකරුවා වූ කෞෂාල් සිල්වා ද ක්‍රීඩා විවේකාගාරය වෙත ගියේය. කෞෂාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 7කි.

කොළඹ ඉනිමේ වඩාත් බලාපොරොත්තු තබා සිටි ලහිරු තිරිමාන්න (00) සහ නායක දිනේෂ් චන්දිමාල් (00) ලකුණු නොලබා ඉනිම හැර යෑම මහා අභාග්‍යයක් විය. නමුත් හය වැනි කඩුල්ලට එක්වු වනිඳු හසරංග සහ ලසිත් අබේරත්න ලකුණු 75ක සබඳතාවක් එක් කරමින් ගරා වැටෙමින් තිබූ ඉනිම ගොඩ ගත්හ. වනිඳු හසරංග පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය.

ලසිත් අබේරත්න වඩාත් වගකීම් සහිතව ඉනිම ගොඩ නගමින් සිටිය ද, ඔහුට සහායක් ලබා දීමට අනෙකුත් පිතිකරුවන් සමත් වූයේ නැත. ඒ අනුව තිසර පෙරේරා (02), තීක්ෂිල ද සිල්වා (08), ලක්ෂාන් සඳකැන් (15) සහ ඩිලේශ් ගුණරත්න (00*) අඩු ලකුණු ලබා ගනිමින් තම ඉනිම් නිමා කර ගත්හ.

ඉනිමේ අවසාන කඩුල්ල ලෙසින් ලසිත් අබේරත්න පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී ලහිරු මධුශංක ලකුණු 43කට කඩුලු 5ක් ලබා ගනිමින් වැඩි දක්ෂතා දැක්වූ අතර අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් (24) සහ දිමුත් කරුණාරත්න (19) ගේ ඉනිම් පළමු දිනයේ දී ම නිමා කිරීමට ප්‍රතිවාදී කණ්ඩායමේ ඩිලේශ් ගුණරත්න සමත් විය. ඔහු දිනය අවසානයේ දී තම පන්දු යැවීම ලකුණු 29කට කඩුලු 2ක් සේ සටහන් කර ගත්තේය. දිනයේ අවසාන පන්දු වාරයේ දී අශාන් ප්‍රියංජන් ලකුණු 05කට දවා ගැනීමට තීක්ෂිල ද සිල්වා සමත් විය.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වෙද්දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 13ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටි.

කොළඹ කණ්ඩායම : පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (64.2) ෂෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, අසිත ප්‍රනාන්දු 2/46, ලහිර මධුශංක 5/43

දඹුල්ල කණ්ඩායම : පළමු ඉනිම කඩුලු 3ක් දැවී 73 (14.4) කුසල් මෙන්ඩිස් 24, ඩිලේශ් ගුණරත්න 2/29

ආදරවන්තයන්ගේ කෝඩුකාර වීරයා “දිලුම් සුධීර”

දිලුම් සුධීර ගාලු ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වෙන්නේ…..


සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ වාර තමන්ම සතු කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් දිනය අවසාන වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 344ක් ලබා සිටියහ.

මෙම ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ රොෂේන් සිල්වා ය. ඔහු පන්දු 165ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 100ක් ලබා මේ වන විට ද පිටියේ නොදැවී රැඳී සිටී.

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස ලහිරු මිලන්ත (09) සහ අනතුරුව පිටියට පිවිසි උපුල් තරංග (02) අඩු ලකුණු ප්‍රමාණයක දී පිටිය හැර යද්දී, ඉනිම ගොඩ නැගීමේ වගකීම බාර ගත්තේ මාධව වර්ණපුර සහ සධීර සමරවික්‍රම ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවක් ගොඩ නැගූහ.

සධීර සමරවික්‍රම පන්දු 65ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය. සධීරගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ සිව්වැනි පන්දුවේ දී පන්දු 119ක දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටි මාධව වර්ණපුර ද ඉනිම හැර ගියේ ලකුණු පුවරුව 129ක්ව පවතිද්දී ය.

නිදහස් කුසලානයේ ආදායම බිලියනය පනී

මාර්තු මස 6 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ නිදහස් …

එතැන් සිට නැවත ඉනිම ගොඩ නැගීමට රොෂේන් සිල්වා සහ නායක දසුන් ශානක කටයුතු කළේ නුවර ක්‍රීඩකයන් පීඩාවට පත් කරමිනි. දසුන්ගේ ඉනිම පන්දු 145කට සීමා කිරීමට ඔවුන් සමත් වූහ. ඒ වෙද්දී ඔහු හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා සිටියේය. ඔහු දැවී යන විට ලකුණු පුවරුව 296 රැඳී තිබුණි.

එතැන් සිට චතුරංග ද සිල්වා (00) සහ නිසල තාරක (04) අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු පුවරුව මන්දගාමී කිරීමට නුවර ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් රොෂේන් සිල්වා තව දුරටත් පිටියේ නොදැවී රැඳී සිටීම ඔවුන් හිසරදයක්ම වන්නේය. ඔහු සමඟින් අනෙක් අන්තයෙන් ධම්මික ප්‍රසාද් (03) නොදැවී පිටියේ රැඳී සිටිමින් දෙවැනි දිනයේ දී පිටියට පිවිසීමට නියමිත ය.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු සමරකෝන්, ෂෙහාන් ජයසූරිය සහ චරිත් අසලංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක ය.

ගාල්ල කණ්ඩායම : පළමු ඉනිම කඩුලු 7ක් දැවී 344 (90.0) මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා නොදැවී 100, දසුන් ශානක 90, ලහිරු සමරකෝන් 2/81, ෂෙශාන් ජයසූරිය 2/89, චරිත් අසලංක 2/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<