MI අසාර්ථකත්වය ගැන ‘Mastermind’ මහේල නිහැඬියාව බිඳී!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2334
Mumbai Indians' coach Mahela Jayawardene

ජයග්‍රහණ ඉඩෝරයෙන් හෙම්බත්ව සිටින Mumbai Indians කණ්ඩායම මේ වන විට TATA IPL 2022 ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා අසීරු අඩියකට ඇද වැටී තිබෙන්නේ මෙවර තරග වාරයේ තුල දී මෙතෙක් මුහුණ දුන් තරග සියල්ලක්ම පරාජිතයින් ලෙස අවසන් කරමින් වීම ක්‍රිකට් ලොව පුවත් මවන සිදුවීමක් බවට පත් වී හමාරය.

ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හොඹවන හිටපු ශ්‍රී ලංකා නයක මහේල ජයවර්ධන තරග වාරයේ ඉතිරිව ඇති තරග කිහිපය සඳහා තම පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල පිතිකරුවන්ගෙන් මෙන්ම Ishan Kishan, Dewald Brevis වැනි ප්‍රහාරාත්මක යොවුන් ක්‍රීඩා තරු රැසකගෙන් සන්නද්ධ MI පිතිකරණ බලඝනය නොසිතූ අයුරින් අසාර්ථක වීම මෙම පරාජයන් රැල්ලට ප්‍රධාන ලෙසම හේතුපාදක වී ඇති බව බැලූ බැල්මට පෙනී යන කාරණාවකි.

LSG කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් අනතුරුව පැවති හමුව සඳහා එක්වෙමින් මහේල ජයවර්ධන මහතා අවධාරණය කර සිටියේ පිතිකරණ ලැයිස්තුවේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව විස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කිරීමට කිරීමෙන් අනතුරුව මීළඟ තරගයේ සිට සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට කටයුතු කිරීමේ සැලසුමක් පවතින බවයි.

“පිතිකරණ අංශය ගැන කතා කළොත් අපේ අඩුපාඩුකම් රැසක් දැනටමත් හඳුනා ගෙන තියෙනවා. සමහරක් අවස්ථාවල පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල දී පවා අපේ ක්‍රීඩකයින් අපොහොසත් වුනා තරගකාරී ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න. තරග ජයග්‍රහණය කිරීමට නම් ඉදිරි තරග කිහිපයේ දී කණ්ඩායමේ විශේෂ වෙනස්කම් කිහිපයක් විය යුතුයි. විශේෂයෙන්ම පිතිකරණ ලැයිස්තුවේ.”

“අපි මේ වෙනකම් සුළු අත්හදා බැලීම් කිහිපයක් කරන්න උත්සාහ කළත් ඒ කිසිවක් අපේක්ෂා කරපු තරම් සාර්ථක වුනේ නැහැ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නත්, ලකුණු සංඛ්‍යාවක් හඹා ගියත් අපේ පිතිකරුවන් කඩුල්ලට ගියාම ලොකු අවිනිශ්චිතතාවයකින් එහෙම නැත්නම් ලොකු පීඩනයකින් තමයි පන්දුවට පහර දුන්නේ. බලාපොරොත්තු වුන ස්ථාවරත්වය ගොඩනඟා ගන්න ඔවුන් අපොහොසත් වුනා.”

මෙවර IPL තරග වාරයට ප්‍රථමයෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කාගේත් අවධානය දිනා ගනිමින් වාර්තාගත මිලකට අලෙවි වූ යොවුන් ප්‍රහාරාත්මක පිතිකරු Ishan Kishan MI කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස මෙන්ම ආරම්භක පිතිකරුවා ලෙස ද ඔහුගේ රාජකාරිය අකුරටම ඉටු කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද, ඔහු දිගින් දිගටම අසාර්ථක වීම මේ වන විට කණ්ඩායමේ ඉදිරි ගමනට තදබල ලෙස බලපෑ ඇති බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

“මම තවමත් ඔහුට පෞද්ගලිකව මේ ගැන කතා කළේ නැහැ. නමුත් දැන් කාලය හරි ඔහුත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න. Ishanට ඔහුටම ආවේණික වුන පිතිකරණ රටාවක් තියෙනවා. අපිට ඕනෑ උනා ඔහුට නිදහසේ ඔහුගේ තරග රටාව දියත් කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙන්න. ඒත් ලබා දුන්න අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්න ඔහුට නොහැකි වෙලා තියෙනවා.”

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<