ශ්‍රී ලංකාව පාකිස්තානයට යන එක ස්ථිරයි

103

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නියමිත පරිදිම පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (19) දැනුම් දුන්නේය.

ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තානයට යන නිල ශ්‍රී ලංකා සංචිත

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත…

පසුගිය 11 වැනිදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කරන ලද අනතුරු ඇඟවීමකට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට රජයෙන් ඉල්ලා තිබුණි. 

එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ආරක්ෂක අංශ විසින් එරට ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලීමට තීරණය කළ අතර ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන් එරට ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බලා සෑහීමකට පත්ව තිබේ. ඒ බව ඔවුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේය. 

“පසුගිය මාසයේ දී මම ඇතුළු අපේ කණ්ඩායම් පාකිස්තානයේ ආරක්ෂක තත්වය සොයා බලන්න එහාට ගියා. එහේ ආරක්ෂක තත්වය ඉතාමත් හොඳට තියෙනවා. ඔවුන් අපිට පැවසුවා අපේ කණ්ඩායමට උපරිම ආරක්ෂාව දෙනවා කියලා. කොහොම වුනත් පසුගිය දා ලැබිච්ච තොරතුරු නිසා අපිට නැවතත් එරට ආරක්ෂක තත්වය සොයා බලන්න ඕන වුනා. ඔවුන් ඒ පිළිබඳව බලලා අපේ කණ්ඩායම සඳහා එහි හොඳ ආරක්ෂක වාතාවරණයක් තිබෙන බව කිව්වා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා AFP සමඟ පවසා තිබේ.

කෙසේ නමුත් පසුගිය 10 වැනිදා පාකිස්තානයේ ආරක්ෂක තත්වය පිළිබඳ තමන් හට සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනෙකු මේ තරග සංචාරය සඳහා සහභාගී නොවේ.

“ඉන්දියාව අපිට කිසිම බලපෑමක් කළේ නැහැ” – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට…

2009 වසරේ දී ලාහෝර් නුවර පැවති ටෙස්ට් තරගයක් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සහ ඒ හා බැඳුණු අමිහිරි මතක සටහන් ගොන්නක් තවමත් ක්‍රීඩකයින්ගේ සිත් තුල රැඳී තිබෙන බැවින් මෙවැනි දැඩි තීරණයක් ගැනීමට එය ප්‍රධානවම බලපාන්නට ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

පාකිස්තාන තරග සංචාරය සඳහා පිටතව යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. එක්දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත පාකිස්තාන තරග සංචාරය මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – සැප්තැම්බර් 27 වැනිදා කරච්චි නුවර දී
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 29 වැනිදා කරච්චි නුවර දී
  • තෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 2 වැනිදා කරච්චි නුවර දී
  • පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 5 වැනිදා ලාහෝර් නුවර දී
  • දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 7 වැනිදා ලාහෝර් නුවර දී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 9 වැනිදා ලාහෝර් නුවර දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<